ගැලවිය නොහැකි
සිදුරු
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
වරදක් කළ පසු සමාව ගැනීම හොඳයි. නැවත කරන්නේ නැහැ කියා සිතීම ද හොඳයි. නමුත් එසේ කළ
පමණින් කළ වරද නිවැරදි වන්නේ නැහැ. කළ පව පින බවට පත් වන්නේත් නැහැ. ඔබ කළ වරද නිසා
මිනිසුන්ගේ සිත්වල ඇති වුණු චිත්ත පීඩා, වේදනා හරියට මේ ලෑල්ලේ සිදුරු ඉතිරි වුණා
වගේ ඉතිරි වෙනවා.
එක්තරා ව්‍යාපාරික ආයතනයක් පාලනය කළ පිය පුතු දෙදෙනෙක් වූහ. මේ දෙදෙනාගෙන් පුතාට
නිතර කේන්ති යන ස්වභාවයක් විය. නමුත් එක් කරුණකින් පුතා ඇගයිය යුත්තෙකි. ඒ ඔහු
තමන්ට කේන්ති යන බවත්, එය නුදුසුසු දෙයක් බවත්, එය පාලනය කර ගත යුතු බවත් තේරුම්
ගෙන තිබීමයි.
අපගේ වැරැදි අප විසින් ම අවබෝධ කර ගන්නේ නැති තාක් කල් කිසි දිනෙක අපට නිවැරැදි විය
නොහැකිය. ලෝකයේ ම සිටින මිනිසුන් අප වට කර ගෙන ඔබ වැරැදියි කියමින් වැරැදි
පෙන්වූවත්, ඒ වැරැදි අප අතින් සිදු වූ වැරැදි වශයෙන් පිළිගන්නේ නැති තාක් අපට
නිවැරැදි විය නොහැකිය. එවිට අප සිතන්නේ අප කිසිදු වැරැද්දක් කරන්නේ නැතැයි යනුවෙනි.
එසේ නොමැති ව අප අතිනුත් වැරැදි විය හැකිය යන මානසිකත්වයෙන් කටයුතු කරන්නාට කිසියම්
කෙනෙක් වැරැද්ද පෙන්වා දුනහොත් එය තමන්ගෙන් වූ වරදක් බව පිළිගෙන නැවත එබඳු වැරදි
නොකර සිටින්නට අධිෂ්ඨානයක් කළ හැකිය. තමා නිවැරැදි කිරීමේ මාවතට අවතීර්ණ විය හැකිය.
ඉහත සඳහන් කරන ලද ව්‍යාපාරික පුත්‍රයා සිය පියාණන් අසලට ගොස් තමන්ට අධික ලෙසින්
කේන්ති යන බවත්, ඒ නිසාම තමන් බොහෝ මිනිසුන් සමඟ අඬදබර කර ගන්නා බවත්, ව්‍යාපාරික
කටයුතු දිනෙන් දින පිරිහෙන බවත්, පැවසීය. තම කේන්තිය පාලනය කර ගන්නා ක්‍රමයක් කියා
දෙන මෙන් ඉල්ලා සිටියේය. පියාද තම පුතුට කිසිවක් නොපවසා ඔහු අතින් අල්වා ගෙන එක්තරා
තැනකට රැගෙන ගියේය. එතැන යකඩ ඇණ රාශියක් තිබිණ. එය පෙන්වූ පියා සිය පුතු ඊළඟට රැගෙන
ගියේ යඩක මිටියක් ඇති තැනකටය. එයත් පුතාට පෙන්වූ පියා අවසානයේ ලෑල්ලක් තිබෙන තැනට
පුතාව රැගෙන ගොස් එය පෙන්වා "පුතේ ඔබට තරහා යන වෙලාවට වෙන මොනවත් කරන්නේ නැති ව අර
ඇණ ගොඩ ළඟට ගොස් ඇණයක් ගෙන, මිටිය ළඟට ගොස් මිටිය ගෙන, මේ ලෑල්ල ළඟට පැමිණ ඇණය
ගසන්න" යැයි උපදෙස් දුන්නේය. එවිට කේන්තිය පාලනය කළ හැකියැයිද පැවැසීය.
පියාට කීකරු මේ පුත්‍රයා තර්ක කරන්නට ගියේ නැත. පියා කී පරිදි ම උපදෙස් පිළිපදින්නට
උත්සාහවත් විය. දින කිහිපයක් ඉක්ම ගියේය. ලෑල්ල ඇණ වලින් පිරුණි. ඒ කාල සීමාව තුළ
තරහ අඩුකර ගත යුතුය යන සිතිවිල්ලද ඇතිවුණි. ලෑල්ලේ ඇණ ගැසීම කේන්ති ගන්නවාට වඩා
අපහසු කාර්යයක් වූ බැවිනි. ඉන්පසු මේ පුතා කේන්තිය ආයාසයෙන්ම පාලනය කොට ඇණ ගසන
වාරයක් අඩුකර ගත්තේය. ඇණ ගසන්නට අවශ්‍ය නැති දවස් හෙවත් කේන්ති යන්නේ නැති දවස්
උදාකර ගන්නට තරම් මේ පුතා කැප වී කටයුතු කළේය. කේන්තිය සහමුලින්ම පාලනය කළ පුතා
සතුටු සිතින් පියා ළඟට ගොස් දැන් තමන්ට පෙර සේ කේන්ති යන්නේ නැති බවත් කාලෙකින්
තමන් ලෑල්ලේ ඇණ නොගැසූ බවත් දැන්වූයෙන් පියාගේ උපදෙස වුණේ කේන්ති යන්නේ නැති
දවස්වලට ලෑල්ල ළඟට ගොස් තමන් ගැසූ ඇණ දවසකට එක ගානේ ගළවන්න කියායි. පියාගේ අණ
පිළිගත් පුතා කාලයක් ගතකොට තමන් ගැසූ ඇණ දිනකට එක බැගින් ගැළවීය.
සියලු ඇණ ගැළ වූ පසු පියාට දැන්වූයෙන් පියා පුතාගේ අතින් අල්ලා ගෙන ලෑල්ල අසලට
පැමිණ කෝ පුතේ මෙහි තිබූ ඇණ යැයි විමසීය. තමාට දැන් කේන්ති නොයන බවත්, කේන්ති නොයන
දවස්වලට ඇණ ගළවන්නට යැයි පියා දුන් උපදේශය නිසා තමන් ඒ සියලු ඇණ ගැළ වූ බවත්
දැන්වීය. එවිට පුතාගෙන් පියා විමසූයේ ඇණ සියල්ල ගැළ වූ පසු ලෑල්ලේ ඉතිරි වී
තිබෙන්නේ මොනවාද කියායි. ඇණ ගැසූ තැන්වල ඇත්තේ ඇණ ගැසීම නිසා වූ සිදුරු බව පුතා
පැවසීය.
ඉන්පසු පියාගේ පැනය වූයේ ඒ සිදුරුත් ඔබට ගළවන්නට හැකිද? යන්නයි. එය නම් ගැලවිය
හැක්කක් නොවේ යැයි පුතා පියාට පැවැසීය.
එවිට පියා පුතාට කියා දුන් පාඩම සැමට ප්‍රයෝජනවත් ය. පියා පුතාට පැවසූයේ පුතේ ඔබට
කේන්තිය ආ පසු කයින් හෝ වචනයෙන් යම් වැඩක් කළොත් බොහෝ විට ඒ කටයුත්ත සාර්ථක වන්නේ
නැහැ. ඔබට කේන්ති ආ විට ඔබ කාට හෝ බණින්නට පුළුවන්. ගහන්නට පුළුවන්. නමුත් කළ
ක්‍රියාව වැරැදි යැයි තේරුම් ගිය පසු ඔබට සමාව ගන්නත් පුළුවන්. පුතේ, වරදක් කළ පසු
සමාව ගැනීම හොඳයි. නැවත කරන්නේ නැහැ කියා සිතීම ද හොඳයි. නමුත් එසේ කළ පමණින් කළ
වරද නිවැරදි වන්නේ නැහැ. කළ පව පින බවට පත් වන්නේත් නැහැ. ඔබ කළ වරද නිසා
මිනිසුන්ගේ සිත්වල ඇති වුණු චිත්ත පීඩා, වේදනා හරියට මේ ලෑල්ලේ සිදුරු ඉතිරි වුණා
වගේ ඉතිරි වෙනවා.
ඔවුන්ගේ සිත්වල යාන්තමින් හෝ මෙයා මට මෙහෙම කළා යන වේදනාබර සිතිවිලි රැඳෙනවා. එනිසා
ඔබ වඩාත් උනන්දු විය යුත්තේ සමාව ගැනීමට නොව සමාව ගන්නා ආකාරයේ ක්‍රියාවක් නොකර
සිටීමටයි.
නයනා නිල්මිණි |