UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දළදා පෙරහරේ ආරම්භය

දළදා පෙරහරේ ආරම්භය

මහනුවර සෙංකඩගල රාජධානිය ආරම්භ කරමින් ක්‍රි. ව. 1592 සිට 1604 දක්වා රාජ්‍ය කළ පළමු විමලධර්මසූරිය රජතුමා රාජ්‍ය උරුමය තහවුරු කරගැනීම සඳහා සබරගමුව දෙල්ගමු රජමහා විහාරයේ තැන්පත් කර තිබූ දළදා වහන්සේ මහනුවරට වැඩම වූයේය. එහෙත් එතුමා විසින් දළදා පෙරහරක් පැවැත්වූ බවට සඳහනක් නැත. පුදපූජාවන් පමණක් සිදුකළ බවට තොරතුරු සඳහන් ය.

එම කාලය ලංකාවේ බහුල වශයෙන් දේව සංකල්ප පැවතුන යුගයකි. එකල නගර ආරක්ෂක දේවතාවන් ලෙස සලකනු ලැබූ නාථ, විෂ්ණු,කතරගම,සහ පත්තිනි යන දෙවිවරුන් සඳහා ඇසළ පෙරහරක් පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වේ. ඇසළ පෙරහරේ ආරම්භය කවදා කොතැනදී ආරම්භ වුවා දැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි වුවද,එහි ආරම්භය පිළිබඳ විවිධ උගතුන් විසින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කර ඇත. අතීතයේදී ඉන්දියාවේ පවත්වන්නට යෙදුන ඉතාම පැරැණි උත්සවයක් වූ ආසාල්හ උත්සවය අනුව ලංකාවේත්, ඇසළ පෙරහර ආරම්භ කරන්නට ඇති බවට ඇතැමුන් අදහස් පළ කරයි. ඇසළ මාසයේ අමාවක පොහොය දින සුර අසුර යුද්ධය පැවැති අවස්ථාවේ දෙවියන්ගේ ජයග්‍රහණය සිහිකිරීම සඳහා ඇසළ පෙරහර ආරම්භ වූ බවට තොරතුරු සඳහන් වේ.

ගජබා රාජ්‍ය සමයේදී නීල මහා යෝධයා සමඟ සොළී රටට ගොස් ලංකාවෙන් රැගෙන ගිය සිරකරුවන් 12000ක් සහ ඉන්දියාවෙන් සිරකරුවන් 24000ක් පාත්‍රා ධාතුවද, නාථ, විෂ්ණු ,කතරගම, පත්තිනි යන සිව් දේවාලයන්හි රන් ආයුධ හා පත්තිනි දේවියගේ සළඹද රැගෙන පැමිණීමේ ජයග්‍රහණයේ සටන සිහිකිරීම සඳහාත්,ඇසළ පෙරහර පවත්වන්නට ඇතැයි ඇතැමුන් සඳහන් කරයි. විෂ්ණු දෙවියන්ගේ උපත හා අසුරයන්ගේ ජයග්‍රහණය අනුස්මරණය කිරීම පිණිස ඇසළ පෙරහර ආරම්භ වූ බවටද තොරතුරු සඳහන් වේ. ක්‍රි. ව.1634 සිට 1636 දක්වා රාජ්‍ය කළ දෙවන රාජසිංහ රජතුමාගේ රාජ්‍ය සමයේ ලංකාවේ සිරකරුවෙකු ලෙස සිටි රොබට් නොක්ස්ගේ වාර්තාවල මහනුවර යුගයේ ආරම්භ වූ ඇසළ පෙරහර පිළිබඳ තොරතුරු සඳහන් වේ.ඔහුගේ වාර්තාවට අනුව දේවාලයේ කපුරාළ විසින් අඩක් වැසීගිය පරිදි රෙදි පිළියකින් ඔතන ලද මල් මාලාවකින් සරසන ලද ලීයක් පෙරහරින් රැගෙන ගොස් ඇත. ජනතාව මාර්ගය දෙපස සිට ඊට වැඳ නමස්කාර කළහ. පසුව කපු මහතා මුඛවාඩම් ගලවා බැඳ තිබූ දඬුකඳ රැගෙන දෑලේ එක පිළිවෙළට සරසන ලද ඇතුන් සහිතව ස්වේත වර්ණයෙන් සරසන ලද හස්තියෙකු පිට නැග වීදි සංචාරය කර ඇත.සරසන ලද අලි ඇතුන් 40ක් 50ක් පමණ පෙරහරේ ගමන් කළ බව රොබට් නොක්ස්ගේ් වාර්තාවල සඳහන් වේ.

මීට අමතරව යක්බෙර වාදකයන්,දවුල් වාදකයන්,නැට්ටුවන් ආදී පිරිස්ද පෙරහරේ ගමන් කර තිබේ.එකිනෙකා අතිනත අල්වාගෙන අලංකාරවත්ව විවිධ නැටුම් ඉදිරිපත් කරමින් පෙරහරෙහි ගමන් කර තිබේ. අලුත් නුවර දෙවියන් වෙනුවෙන් පෙනී සිටි කපු මහතෙකු පෙරහරට සහභාගි වූ බවද සඳහන් වේ. අනතුරුව සෙසු දේවාලයන්හි සිටි කපු මහත්වරු ද, පත්තිනි දෙවියන් වෙනුවෙන් පෙනීසිටිමින් පෙරහරේ ගමන් කර ඇත. තවත් කපු මහත්වරුන් දෙදෙනෙකු ඇතුන් පිට නංවා පෙරහරේ ගමන් කළ බව සඳහන් වේ. එක් කපු මහතෙකු කතරගම දෙවියන් වෙනුවෙන්ද, අනෙක් කපු මහතා විෂ්ණු දෙවියන් වෙනුවෙන්ද පෙනී සිටි බව සඳහන් වේ.මේ පෙරහර පවත්වන අවස්ථාවලදී මුළු නගරයම ධජ පතාක ආදීන්ගෙන් අලංකාර කරමින් තොරණ ඉදිකරමින් පෙරහර පවත්වා තිබේ. රජතුමාගේ සහ සෙන්පතියන්ගේ හේවාභටයන් පෙරහරේ ගමන් කරඇති අතර දිවා රාත්‍රී වශයෙන් දවසකට දෙවතාවක් පෙරහර පවත්වා ඇත. මේ පෙරහර සංවිධානය කිරීමේදී ඒ ඒ දේවාලවල තිබූ රන් ආයුද , බෙරකරුවන් , නැට්ටුවන් , චාමර දරන්නන් ,විවිධ නිලතල දරන පුද්ගලයන්,කඩුගත් පුද්ගලයන්, හෙළ ආයුධ වශයෙන් හැඳින්වෙන රන් ආයුධ දරාගත් පුද්ගලයන්, විවිධ භාෂාවන් පිළිබඳ නිපුණතාවයක් සහිත පිරිස් ,රූමත් ස්ත්‍රීන් පෙරහර සඳහා යොදාගෙන තිබේ. ඉහතින් සඳහන් කළ ආකාරයට ඇසළ පෙරහර නුවර යුගයේදී ආරම්භ වුවත්,දළදා හාමුදුරුවන් වහන්සේ ඒ සඳහා වැඩමවා නැත. එම කාල වකවානුවෙහි පැවතුණ විදේශීය ආක්‍රමණ, රජවරුන් අතර පැවතුණ බල අරගල හේතුවෙන් දළදා වහන්සේ සුරක්ෂිත කිරීමේ අරමුණින් වීථි සංචාරය නොකළද, ඇතුළේ පෙරහර වශයෙන් හැඳින්වෙන අභ්‍යන්තර පෙරහර දළදා හාමුදුරුවන් වහන්සේ උදෙසා පවත්වා තිබේ.


ශ්‍රී දළදා පුරාණය:- 5 : දළදා වහන්සේ ආරක්ෂා කළ අයුරු

 

ඇසළ අමාවක පෝය


ඇසළ අමාවක පෝය ජූලි 22 වනදා සෙනසුරාදා අපරභාග 6.27 ට ලබයි. 23 වනදා ඉරිදා අපරභාග 03.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 23 වනදා ඉරිදාය.

 

මීළග පෝය ජූලි 30 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30

Full Moonපසෙලාස්වක

අගෝස්තු 07

Second Quarterඅව අටවක

අගෝස්තු 15


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]