සසර මඟ කෙටි කරන නිවැරැදි දැකීම
අස්ගිරි මහා විහාර පාර්ශවයේ
මහා ලේඛකාධිකාරි
ආචාර්ය
මැදගම ධම්මානන්ද නා හිමි
යහපත් දැක්ම නැතහොත් යහපත් දැනීම සම්මා දිට්ඨිය නම් වේ. එමෙන්ම නිවැරදි දැක්ම,
නිවැරදි දැනීම ද සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය, ඇසින් දැක යමක ස්වභාවය නිවැරදිව
තේරුම් ගැනීමක් වැනිය. සම්මාදිට්ඨිය මනසින් දැක යමක ස්වභාවය නිවැරදිව දැන ගැනීමක්
වැනිය. ඊර්ෂ්‍යාව , වංචාව, මායාව ආදිය විසින් සත්ත්වයා නිරන්තරයෙන් මුවා කොට ඇති
සත්‍යය මෙයින් විවෘත වේ. බුදුසමයේ කේන්ද්‍රිය සංකල්පයක්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ
පළමුවැන්න වන සම්මා දිට්ඨිය බෞද්ධ ශික්ෂණ මාර්ග ප්‍රවේශයේ සදාචාරාත්මක ආකල්පය වේ.
එය පුද්ගල චර්යාව මෙහෙයවන ලෝක දෘෂ්ඨියයි. තෙරුවන් කෙරෙහි උපදවා ගත යුතු විශ්වාසයයි.
අනෙක් මාර්ගාංගවල පදනමයි. නිර්වාණගාමී පුද්ගලයා තුළ පැවැතිය යුතු, ඇතිකර ගත යුතු
නිවැරදි දැක්ම, නිවැරදි දැනීම හෙවත් සම්මා දිට්ඨිය දෙයාකාර වේ.
දස වස්තුක සම්මාදිට්ඨි, චතුසත්‍ය සම්මාදිට්ඨි වශයෙනි.
දස වස්තුක සම්මාදිට්ඨි නම් මෙසේය.
දන් දීමෙහි විපාක ඇත. (අත්ථි දින්නං)
උතුමන්ට පූජා කිරීමෙහි විපාක ඇත (අත්ථි යිට්ඨං)
ගුණවතුන්ට පුදපඬුරු පිදීමේ විපාක ඇත (අත්ථි හුතං)
හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත.
(අත්ථි සුකට දුක්කටකම්මානං ඵලං විපාකෝ)
පරලොව ගියවුන් මෙලොවට පැමිණීමක් ඇත.
අත්ති අයං ලෝකෝ)
මෙලොව සිටිනවුන්ට පරලොවක් ඇත.
(අත්ථි පරෝ ලෝකෝ)
මවට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත. (අත්ථි මාතා)
පියාට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත. (අත්ථි පිතා)
මව්පියන් නොමැතිව පහළ වන සත්වයෝ ඇත
(අත්ථි සත්තා ඕපපාතිකා)
යහපත් මාර්ගයට පිළිපන් මෙලොව පරලොව සත්‍යය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව
ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත. (අත්ථි ලෝකෝ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා
පටිප්නනා යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති) මෙසේ මෙලොව,
පරලොව, කර්මය කර්ම ඵලය, පින පව, කුසලය අකුසලය ආදිය පිළිබඳව නිවැරදි දැක්ම, නිවැරදි
දැනීම දසවස්තුක සම්මා දිට්ඨිය නම් වේ. චතුසත්‍ය සම්මා දිට්ඨි නම් මෙසේය.
දුක්ඛ සත්‍ය පිළිබද දන්නා ඥානය
(දුක්ඛෙ ඤාණං)
දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ දන්නා ඥානය (දුක්ඛ සමුදයේ ඤාණං)
දුක්ඛ නිරෝධ සත්‍යය පිළිබඳ දන්නා ඥානය
(දුක්ක නිරෝධ ඤාණං)
දුක්ඛ නිරෝධ මාර්ග සත්‍ය පිළිබඳ දන්නා ඥානය
(දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාය ඤාණං)
දුක, දුක හටගැනීම, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මඟ යනාදී චතුරාර්ය සත්‍යය පිළිබඳ
නිවැරැදි දැක්ම, නිවැරැදි දැනීම ,චතුසත්‍යය සම්මාදිට්ඨි නම් වේ. මිච්ඡාදිට්ඨිය යනු
සම්මා දිට්ඨිය යන්නෙහි ප්‍රතිවිරුද්ධ වචනයයි. මිච්ඡාදිට්ඨිය යන පදය හඳුනාගැනීම ද
මෙහිලා ප්‍රයෝජනවත් වේ. ඉහත දැක්වූ මෙලොව පරලොව කර්මය, කර්ම ඵලය, පින, පව, කුසලය,
අකුසලය ආදිය පිළිබඳව වැරැදි දැක්ම, වැරැදි දැනීම මිච්ඡාදිට්ඨිය නම් වේ. එසේම දුක,
දුක හටගැනීම, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මග යනාදී චතුරාර්ය සත්‍යය පිළිබඳ
වැරැදි දැක්ම, වැරැදි දැනීමද මිච්ඡාදිට්ඨිය නම්වේ. සම්මාදිට්ඨිය ගැඹුරු දාර්ශනික
අරුතක් ඇති බෞද්ධ සංකල්පයකි. මෙය ලෝකෝත්තර ප්‍රතිපදාවක පදනම වුවද සම්මාදිට්ඨිය
භෞතික ලෝකයේ සරල සංසිද්ධීන් විවරණය කිරීම පිණිසද උපයෝගි කරගත හැකිය.ආර්ය අෂ්ඨාංගික
මාර්ගය යනු මූලික බෞද්ධ ශික්ෂණ ප්‍රතිපදාවකි. එහි පළමු අංගය වන සම්මාදිට්ඨිය ලෞකික
නැතහොත් භෞතික පදනමක සිට විග්‍රහ කිරීම යනු සම්මාදිට්ඨිය පොදු ජන සමාජයට අදාළ කර
ගැනීමේ ප්‍රවේශයකි.
ලෞකික පදනමක සිට විග්‍රහ කිරීම යනු සම්මාදිට්ඨිය පොදු ජන සමාජයට අදාළ කර ගැනීමේ
ප්‍රවේශයක් වුවත් බුදු සමයෙහි සම්මාදිට්ඨිය සරල සංකල්පයක් නොවන බවද සිහිකට යුත්තකි.
මෙම සම්මාදිට්ඨිය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් භික්ෂු පිරිසක් විසින් සැරියුත් හිමියන්
සමඟ සිදු කොට ඇති බව මජ්ක්‍ධිමනිකායේ නවවන සම්මාදිට්ඨි සූත්‍රයෙහි දැක්වේ. එහි
කරුණු 16 ක් දක්වා ඒවායින් එකිනෙක පිළිබඳ විශ්ලේෂණාත්මක අවබෝධයක් ලැබීමෙන්
සම්මාදිට්ඨිය ඇතිවන අයුරු පෙන්වා දී ඇත. කුසල්, අකුසල්, ආහාර, සිවුසස්, වියපත්වීම,
හා මරණය ,උපත, භවය, උපාදාන, තෘෂ්ණාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය,
සංස්කාරය, අවිද්‍යාව, ආසව යනු එම කරුණුය.
කුසලය දැන ගැනීම හා කුසල මූලය දැන ගැනීම හෝ අකුසලය දැන ගැනීම හා අකුසල මූලය දැන
ගැනීම මගින් සම්‍යක් දෘෂ්ටිකයෙකු වන බව මෙහි මුලින්ම පෙන්වා දී ඇත. ඒවා පිළිබඳ
නිවැරදි දැක්මක් ඇති තැනැත්තා තෙරුවන් විෂයෙහි නොසැලෙන පැහැදීමක් ඇති නියම
බෞද්ධයෙකු වන බවත් සඳහන් වේ. මිනිසා පියවරෙන් පියවර සම්මාදිට්ඨිය ඇති කරගෙන නිවන්
මාර්ගයට ප්‍රවේශවීමට ඉහත සඳහන් කරුණු දහසය පිළිබඳව වෙන වෙනම නිවැරදි අවබෝධයේ
පිහිටිය යුතුය. ආහාරය යනු කුමක්ද? බෞද්ධ විග්‍රහයට අනුව ආහාර සතරක් ඇත.
කබලිංකාරාහාරය, ඵස්සාංගාරය, මනොසංචේතනාහාරය හා විඤ්ඤාණාහාරය යනුවෙනි.
කෙනෙකුගේ පැවැත්මට මෙම ආහාර වර්ග හතරම අවශ්‍යය. වඩා වැදගත් කරුණ වන්නේ මෙම ආහාර
වර්ග හතරෙන් තුනක්ම මනසට ලබා දිය යුතු ආහාර බවයි. ශරීරයට ලැබෙනුයේ කබලිංකාරහාරය
හෙවත් කැබලි වශයෙන් අනුභව කරන ආහාර පමණකි. මෙම ආහාර සමතුලිතව කයට හා මනසට ලබාදීම
කායික, මානසික සෞඛ්‍යයෙන් හෙබි ජන කොටසක් බිහිවීමට ඉවහල් වේ. වියපත්වීම සහ මරණය
පිළිබඳ ව සම්මාදිට්ඨිය වනාහි ඉතා සියුම්ව ඇති කරගත යුත්තකි. සත්ත්ව යනු ඇලෙන්නාය,
යන අරුත ඇති වචනයකි.
පුද්ගලයා හෙවත් මනුෂ්‍යයා භවගාමී සත්ත්වයකි. සත්ත්වයා භවයෙන් භවයෙහි රාග ද්වේශ
මෝහාදි ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත නොවන නිසා ඔහු මෙම අනවරථ සසරෙහි නැවත නැවත
ඉපදෙමින් ලෙඩ රෝගාදින්ට නිරතුරුවම ලක් වෙමින් මැරෙමින් ගමන් කරයි. සත්ත්වයා
ජාති(ඉපදීම) ජරා (දිරීම) ව්‍යාධි (ලෙඩවීම) මරණ (මරණයට පත්වීම) ආදි අනන්ත
දුක්ඛදෝමනස්සයන් ස්ථිර වශයෙන්ම නැවැත්විය හැක්කේ නිර්වාණය අවබෝධ කර ගැනීමෙන් පමණි.
ඒ සඳහා අවැසි මූලික පදනම වන්නේ සම්මාදිට්ඨියයි. සම්මාදිට්ඨිය නොමැත්තාට අනන්ත දුක්ඛ
දෝමනස්සයන් සපිරි මෙම සසර නිරන්තරයෙන් දීර්ඝ වේ. සම්මාදිට්ඨිය ඇත්තාට සසර කෙටි වන
අතර මිච්ඡාදිට්ඨිය ඇත්තාට සසර දිගු වේ. |