ඇසළ පුර අටවක 2017.07.01
මවුපියවරුන්ගේ වටිනාම සම්පත
මවුපියන්ගේ වටිනාම සම්පත දරුවන්ය. ඔවුන් අගය තවත් වැඩි වන්නේ මානුෂීය ගුණ
ධර්මයන්ගෙන් පෝෂණය වූයේ නම් ය.එහි වැඩි වගකීම පැවරෙන්නේ මවුපිය දෙපළටය. රසවත් අහර
කවා පොවා දරුවන් පෝෂණය කළ පමණින්, පොත පත දැනුම ලබා දෙන්නට අඩුවක් නොපෙන්වා විය
හියදම් කළ පමණින්, සිත් සතුටු කරන්නට යැයි ඉල්ලන සියල්ල නොමසුරුව ලබා දුන් පමණින්
දරුවන් ආදරයෙන් රැක ගත්තා වන්නේ නැත. එමෙන්ම ඔවුන් කෙරෙහි ගුණ ධර්ම පිහිටන්නේ ද
නැත. නිවැරැදි ආදර්ශයද, මඟ පෙන්වීමද, නිරන්තර සොයා බැලීමද අත්‍යවශ්‍යය.
විශේෂයෙන් යොවුන් වියේ සිටින දරුවෝ කුතුහලය දනවන අත්දැකීම් ලබන්නට, අත්හදා බලන්නට
රුචි වෙති. සම වයස් මිතුරු මිතුරියන් පි‍්‍රය කරති. විශ්වාස කරති. මවුපියන්ගේ නිති
විමසිලිමත් බව මේ වයස් සීමාවේ දී අතිශයින් වැදගත් වන්නේ හරි යැයි සිතමින් වරදට
පෙළඹීමට ඉඩකඩ වැඩි බැවිනි. පාසල් දරුවන්, තරුණ කණ්ඩායම් මතට ගොදුරු කරගන්නට විවිධ
සමාජ බලවේග විවිධ වේශයන්ගෙන් කි‍්‍රයාත්මක වන අවස්ථා ගැන අසන්නට ලැබේ. ඉගෙනීමට ඉතා
දක්ෂ, ගුරුවර වැඩිහිටියන්ට කීකරු වී සිටි දරුවන් පවා ඒ බලවේගයන්ට හසු වී මතට ලොල්
වී ජීවිතය විනාශ කර ගන්නා අවස්ථා ගැනද අසන්නට ලැබේ.
දරුවන්ගේ පැහැබර අනාගතයක් වෙනුවෙන් මවුපියෝ දිවා රෑ වෙහෙසෙති. එය නොකළ බැරි දෙයක්
වුව දරුවන් පිළිබඳ නිති විමසිල්ලෙන් පසුවනවා නම් කිසිවකුට ඔවුන් අනිසිදේට පොළඹවා
ගන්නට අසීරුය. ඇසුරු කරන්නේ කවුද? යන්නෙ එන්නේ කොතැනටද, මහ මඟ හමුවන්නේ කවුද, යන වග
නිතර සොයා බැලීම සුදුසුය. දරුවෙකුගේ සුළු හෝ වෙනස් වීමක් සැණින් හඳුනාගත හැකි වන්නේ
අම්මාටය. එයට පොත පතේ දැනුම අවශ්‍ය වන්නේ නැත. ජීවත්වීමෙන් ලද අත්දැකීම්,
විමසිලිමත්බව, දාරක ස්නේහය ඊට හොඳටම ප්‍රමාණවත්ය. නිය පොත්තෙන් කඩන්නට තිබෙන දේ
පොරවෙන් කපන්නට සිදුවන තුරු බලාසිටීම කරදර පටලවා ගැනීමකි. කාර්යය දුරදිග යන්නකි.
දරුවා වරදකට පෙළඹී ඇත්නම් මුල් අවස්ථාවේම ඉන් මුදවා ගැනීමට ඉක්මන් විය යුතු වන්නේ
අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා පළක් නොවන හෙයිනි.
අවවාදයට වඩා ආදර්ශය උතුම් බව බුදුදහමේ ඉගැන්වේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන
සතර බ්‍රහ්ම විහරණ ගුණෝපේත මවුපියන්ගෙන් දරුවන්ට ලැබෙන ආදර්ශය ඔවුන් වරදින්
මුදවාලයි.
අම්මා, තාත්තා පන්සල ඇසුරු කරනවා නම්, පන්සලේ ස්වාමින් වහන්සේ ඇසුරු කරනවා නම්,
ආගමික පුද පූජාවන්හි මුල් තැන ගෙන කටයුතු කරනවා නම්, පෝ දින සිල් සමාදන් වනවා නම් ,
අඩුම තරමේ ආගමික පින්කම්වලට හෝ සහභාගි වෙනවා නම් දරුවන්ටද ඒ අවස්ථා මඟ හැරෙන්නේ
නැත. එවිට ඔවුන්ට නිතර ඇසුරු කරන්නට ලැබෙන්නේ සාධු චරිතය. ඇසෙන්නේ, පෙනෙන්නේ යහපත්
දේය. එවැනි පරිසරයක ජීවත්වන දරුවා වරදට බිය වන්නේය. ලජ්ජා වන්නේය.
ජීවිතයට ශක්තිමත්ව මුහුණ දුන් , ජීවිතය ජය ගත් බෝසත් චරිත කතා, පොඩි හාමුදුරුවන්ගේ
කතා බෞද්ධ සාහිත්‍යයේ අපමණ වේ. මේවායේ අන්තර්ගත වන්නේ ජීවිතය පිළිබද අපුර්ව
කියැවීම්ය. එවැනි දේ දරුවාට ග්‍රහණය කර දෙන්නට හැකි හොඳම තැන පන්සලය. ඒ වගේම
ජීවත්වන නිවසය.
සමහර තරුණ දරුවන්ට ඉවසීම අඩුය. දුක වේදනාව දරා ගන්නට අසීරුය. සුළු දේටද කෝප ගනී.
අන් මත නොඉවසයි. නිරන්තර ගැටුම් ඇති කරගනියි. ප්‍රශ්නයක් විසඳා ගන්නා හොඳම ක්‍රමය
නොදනියි. ඒ නිසාම ජීවිතය අවුල් කර ගනියි. දරුවා තුළ යහපත් මානසිකත්වයක් ඇති කළ යුතු
වන්නේ එහෙයිනි. අධ්‍යාත්මික සංවර්ධනය එහිදී සුවිශේෂීයි. ආගම දහම දරුවා ශික්ෂණය
කරයි. හැසිරීම් හසුරුවයි. එය ඉබේ සිදුවන්නක් නොවේ. ඒ සඳහා හොඳ පෙළඹවීමක් ඇවැසිය.
එහි හොඳම නියමුවන් විය යුතු වන්නේද මවුපිය දෙපළය. උත්සාහයත් ,උනන්දුවත්, ඕනෑකමත්
තිබේ නම් ඕනෑම සංකීර්ණ සමාජයක වුව ගුණ නැණින් පෝෂිත දරුවෙක් හදා වඩා ගැනීම, අනාගතයට
හොඳ පුරවැසියෙක් දායාද කිරීම අසීරු වන්නේ නැත. මේ ඒ ගැන සිතා බලන්නට කාලයයි.
|