කිසිවෙකු හටත් නැති මුනිඳුට සනුවණෙක් ඇති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
අධිකරණ නායක
මීරිගම, මිණිඔලුව විද්‍යාවාස
පරිවේණාධ්යක්ෂ
ත්‍රිපිටක විශාරද,
ශාස්ත්‍රපති,
මකුලෑවේ විමල නා හිමි
" යමා මහ පෙළහර පෑමේ දී එක්වර ක්‍රියා දෙකක් පෙන්වයි. උඩුකයින් ගිනි කඳ පවතින විට
යටිකයින් දිය දහර පවතියි. වම් ඇසින් දිය දහර පිටවන විට දකුණු ඇසින් ගිනි කඳ
පිටවෙයි."
බුදුරජාණන් වහන්සේට පමණක් ඇති අන් කිසිම සත්වයෙකුට නොමැති, අන්‍ය සියලු
ශ්‍රාවකයන්ගේ ඤාණයන් හා සාධාරණ නොවූ ඤාණ හයක් ගැන ධර්මයෙහි සඳහන් වේ. ඒවා ෂඩ්
අසාධාරණ ඤාණ නමින් හැඳින්වේ. බුදුරජාණන් වහන්සේට විනා අන් කිසිම කෙනෙකුට නොමැති මේ
නුවණ සය, කිසිවෙකුට සාධාරණ නොවූ ඤාණ හයක් වූ බව වෑත්තෑවේ හිමියන් ද,
“කිසිවෙකු හටත් නැති
මුනිඳුට සනුවණෙක් ඇති
මෙලොව සැමටම ඇති
වාසනා ගුණ කිසිවෙකුත් නැති”
යැයි දක්වා ඇත. බුදුරජාණන් වහන්සේ තුළ ඇති ඤාණ ශක්තිය අනෙක් සියලුම ඤාණයන් පරදවා ජය
ගැනීමට සමත් ය. උන්වහන්සේගේ නුවණ සංඛත අසංඛත සියලු ධර්මයන් විෂයෙහි විනිවිද ගෙන
පැතිර පවතී. එබඳු ශ්‍රේෂ්ඨ වූ බුද්ධ ඤාණයන් ස්වල්ප වශයෙන් නමුත් සිහි කිරීම බෞද්ධ
අප කාහට වුවද ප්‍රයෝජනවත් වේ. බුදුරජාණන් වහන්සේට පමණක් සාධාරණ වූ ඒ ඤාණ සය මෙසේ ය.
ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය
ආසයානුසය ඤාණය
යමක පටිහාරිය ඤාණය
මහා කරුණා සමාපත්ති ඤාණය
සබ්බඤ්ඤුත ඤාණය
අනාවරණ ඤාණය යනුයි.
ෂඩ් අසාධාරණ ඤාණයන්ගෙන් පළමුවැන්න ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණයයි. මෙහි ඉන්ද්‍රියෝ
නම් ලෝකවාසී සත්වයන් තුළ පවතින ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන මේ ධර්ම
පහයි. (වෙනත් ස්ථාන වලදී ඉන්ද්‍රිය නාමයෙන් චක්ඛු, සොතාදිය දක්වා ඇතත් මෙහි
ඉන්ද්‍රිය වශයෙන් ගෙන ඇත්තේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ය.) මේ ඉඳුරන් කොතෙක් දුරට
මෝරා තිබේද? ශ්‍රද්ධාදී මේ ඉන්ද්‍රිය ධර්ම මොහුට මෙතෙක් වැඩිය. මෙතෙක් අඩුය. යනාදී
වශයෙන් හැම සතුන්ගේ උස් මිටිකම් දැන ගන්නේ මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය මෙහෙයවා
බැලීමෙනි. මේ ඤාණය මගින් මඳ කෙලෙස් ඇතියන් ද, බහුල කෙලෙස් ඇතියන් ද මාර්ග ඵලාවබෝධය
කළ හැකි පුද්ගලයන් ද නොකළ හැකි පුද්ගලයන් ද, විවිධ දෘෂ්ටීන්හි වෙළුණු ඒ ඒ
සත්ත්වයන්ගේ කර්ම විපාක, ක්ලේෂාවරණයන්ගේ තත්ත්වය යනාදිය ද මේ ඉන්ද්‍රිය පරෝපරියත්ත
ඤාණය මෙහෙයවා උන්වහන්සේ දැන වදාරති.
ආසයානුසය ඤාණය නම් නිවන් අවබෝධයට සුදුසු සත්ත්වයන්ගෙන් ආසය, අනුසය පවත්නා හැටි
විමසා බලන නුවණයි. මෙහි ආසය නම් සිත් සතන්හි නිතර එක්රැස්ව පවතින, නවතින තැනයි.
ශාස්වත උචේඡදාදී විවිධ දෘෂ්ටීන් ද, කාම, ව්‍යාපාද, ථීන මිද්ධාදියද, සම්‍යග් දෘෂ්ටික
අදහස් වූ නෙක්ඛම්මාදී අදහස් ද, සත්ත්වයන්ගේ සිත් සතන්හි බෙහෙවින් ඇලුන, ලැගුණ
අදහස්ය යන තේරුමෙන් ආශය යයි කියනු ලැබේ.
අනුසය නම් අනුරූප කාරණයක් ලැබ ඉපිද මතු මත්තෙහි ලුහු බඳිමින් ශක්තිමත් බවට පැමිණ,
අවස්ථා පැමිණි කල්හි, සුදුසු අරමුණක් ලත් කල්හි නැවත නැවත ඉපදීමට සුදුසු අකුසල
ධර්මයෝයි. අනුසය ධර්ම හතෙකි. කාමරාග, භවරාග, පටිඝ මාන, දිට්ඨි, විචිකිච්ඡා, අවිජ්ජා
වශයෙනි. සත්වයන් තුළ පවතින ආශය චරිත ගතිගුණ අධිමුක්ති ආදියත් මේ අනුසය අවස්ථාවනුත්
බුදුරජාණන් වහන්සේට විනා අන් කිසිවෙකුට තත්ත්වාකාරයෙන් විමසා බැලිය නොහැකිය. බුදු
ඇසින් මේ ආසය, අනුසය විමසා දැනගන්නා නුවණ අන් අයට නැති නිසා අසායානුසය ඤාණය අසාධාරණ
ඤාණයක් වේ.
යමක පාටිහාරිය ඤාණය නම් යමාමහ පෙළහර පෑමේදී උදව් කරගන්නා නුවණයි. ප්‍රාතිහාර්යයෝ
සෘද්ධි ප්‍රාතිහාර්ය, ආදේසනා ප්‍රාතිහාර්ය, අනුසාසනා ප්‍රාතිහාර්ය යයි ත්‍රිවිධ වේ.
නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම ඉද්ධි පාටිහාරයයි. සිත් සතන් පවතින හැටි මේ යැයි
කියා පෑම ආදේශනා ප්‍රාතිහාර්යය යි. අවවාද අනුශාසනා ස්වරූප වූ ධර්ම දේශනා
පැවැත්වීමෙන් හා සීල, සමාධි, ප්‍රඥා යන පිරිසුදු ප්‍රතිපත්තීන් ආදර්ශයෙන් ද පෙන්වා
උපදෙස් දීම අනුශාසනා ප්‍රාතිහාර්ය යයි. යමා මහ පෙළහර පෑමේ දී එක්වර ක්‍රියා දෙකක්
පෙන්වයි. උඩුකයින් ගිනි කඳ පවතින විට යටිකයින් දිය දහර පවතියි. වම් ඇසින් දිය දහර
පිටවන විට දකුණු ඇසින් ගිනි කඳ පිටවෙයි. මෙසේ යමක පාටිහාරිය දැක්වීමේදී එක්වර ස්ථාන
දෙකකින් ක්‍රියා දෙකක් කිරීමේ නුවණ ශ්‍රාවකයින්ට අසාධාරණ බුදුරජාණන් වහන්සේට ම
සාධාරණ වූ නිසා අසාධාරණ ඤාණයක් වේ.
මහා කරුණා සමාපත්ති ඤාණය නම් දුකට පත් සත්වයන් ගැන මහා කරුණාව උපදවා ඒ දුකින් මුදවා
ගන්නා නුවණයි. බුදුරජාණන් වහන්සේ දිනපතා මහා කරුණා සමාපත්තියට සමවැද, සැම සතුන්
දුකින් මුදාලන්නට සිතා බලන සේක. එසේ බලන විට සත්ත්වයා රාගාදී ගිනි වලින් ද, පීඩා
ලබමින් දුක්වලට භාජනය වී ඇතැයි දකින බුදුරජාණන් වහන්සේට ඒ සත්වයින් කෙරෙහි මහා
කරුණාව පහළ වෙයි. එවිට උන්වහන්සේට මම මේ සියලු දුකින් මිදුනෙමි. ඒ නිසා මම මේ
සත්ත්වයින් සියලු සසර දුකින් මුදවාලන්නට සමර්ථ වෙමියි දකින බුදුරජාණන් වහන්සේට
සත්වයින් කෙරෙහි මහා කරුණාව ඇති වෙයි. මෙසේ සත්වයින් කෙරෙහි තත්වය දැන ඇතිවන මහා
කරුණාව මහා කරුණා සමාපත්ති ඤාණය නම් වේ.
සබ්බඤ්ඤුත ඤාණය නම් සංඛත – අසංඛත, සම්මුති – පරමාර්ථාදී දත යුතුතාක් සියලු දේ
දැනගන්නා නුවණයි. බෝධිසත්වයන් වහන්සේ දීපංකර පාද මූලයේ දී නියත විවරණ ලැබ අධිෂ්ඨාන
කෙළේ ද, සර්වඥ බවට පැමිණ දෙවියන් සහිත ලෝකයා සසරින් එතෙර කරවමි යන අධිෂ්ඨානයයි.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දසපාරමී සම්පූර්ණ කෙළේ ද මේ සබ්බඤ්ඤුත ඤාණය
ලැබීම සඳහායි. පිරූ පාරමී බලයෙන් අර්හත් මාර්ග ඤාණය සමඟම සවාසනා සකල ක්ලේශයන්
දුරුකොට සව්නේ දත් නුවණ හෙවත් සර්වඥතා ඤාණය අවබෝධ කරගත් සේක. ලෝකයේ දතයුතු යම් පමණ
දෙයක් ඇත්නම් එපමණටම බුදු නුවණ ද ඇත. බුදු නුවණ යම් පමණ ද දත යුතු දෙය ද එපමණය.
බුදු නුවණ දත යුතු දෙය කෙළවර කොට ඇත්තේ ය. දත යුතු දෙය බුදු නුවණ කෙළවරකොට ඇත්තේ ය.
මෙයට සබ්බඤ්ඤුත ඤාණයයි කියනු ලැබේ. නව අරහාදී බුදු ගුණයන් අතරෙහි සම්මා සම්බුද්ධ
පදයෙන් දැක්වූයේ ද මේ සර්වඥතා ඤාණයමයි. සියල්ල දන්නා බව සබ්බඤ්ඤුතායි. ඒ සඳහා පහළවන
නුවණ සබ්බඤ්ඤුත ඤාණයයි.
මේ සර්වඥතා ඤාණය හා අනාවරණ ඤාණය ද නම් වශයෙන් දෙකක් වුවද, අවස්ථා වශයෙන් බලන විට
එකක් කොට සලකනු ලැබේ. සියලු ලෞකික ලෝකෝත්තර ධර්මයන් නිරවශේෂයෙන් අවබෝධ කිරීම
සර්වඥතා ඤාණයයි. එහි නොපැකිල පවත්නා නුවණ අනාවරණය ඤාණයයි. අතීත, වර්තමාන, අනාගත යන
කාලත්‍රය පිළිබඳ සියල්ල දැනීම සර්වඥතා ඤාණයයි. එහි නොපැකිල පවත්නා නුවණ අනාවරණ
ඤාණයයි.
මේ කරුණු අනුව බුදුරජාණන් වහන්සේගේ නුවණ සැම දෙයක් ම, සෑම අයුරකින්ම විනිවිද
දකින්නට බලන්නට කොතරම් හැකියාවක් ඇද්දැයි පැහැදිලි වෙයි. මේ දැක්වූ බුදුරජාණන්
වහන්සේට පමණක් සාධාරණ අන්‍යයන්ට සාධාරණ නොවූ ෂඩ් අසාධාරණ ඤාණයන් පිළිබඳ තොරතුරු
විමසා දැනගැනීම අපේ ශ්‍රද්ධා ගෞරවය ආරක්ෂා වීමට මෙන්ම, බුදුගුණ හඳුනාගැනීමටත්
බෙහෙවින් ඉවහල් වේ. බුදුගුණ නිසි සේ දැන හඳුනා ගැනීම බුද්ධානුස්සති භාවනාව දියුණු
කරගැනීමට ද බෙහෙවින් ඉවහල් වේ. එම නිසා බොදුනුවන් විසින් තව තවත් මෙබඳු බුද්ධ
ඥාණයන් පිළිබඳව දැන, ඉගෙන තම ධර්ම ඥාණය වඩ වඩාත් දියුණු කර ගැනීමට අධිෂ්ඨාන කරගන්නා
ලෙස කරුණාවෙන් මතක් කරමු. |