පොසොන් අවඅටවක 2017.06.17
දානය
සම්බුදු දහමින් සුපෝෂිත දැයක් නිර්මාණය කරන්නට ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකයාණන් වහන්සේ වූ
අනුබුදු මිහිඳු මා හිමි ගුණ සිහි කරමින් මෙවරද පොසොන්පුර පසළොස්වක පොහෝදා මිහින්තලා
පුණ්‍ය භූමිය, අනුරාධපුර අටමස්ථානය වැඳ පුදා ගන්නට දහස් ගණනින් ජනී ජනයා ඇදී ආහ.
කොපමණ දුෂ්කර කාල පැමිණිය ද ඈත අතීතයේ සිටම ලාංකීය බොදු ජනයා වන්දනාවේ යාමට ඒ
කිසිවක් බාධා කර ගත්තේ නැත. වෙසෙසින් පොහෝ දිනයන්හි සුදුවතින් සැරසුණු බොදු
දනන්ගෙන් පිරී ඉතිරී යන වෙහෙර විහාර ඊට නිදසුන් දෙයි. පුද බිම් වන්දනාමාන කරගන්නට,
දැක පහන් සංවේග උපදවා ගන්නට ඈත දුර කතර සිට ඇදී එන බොදුනුවන්ගේ සා පිපාසය සං
සිඳුවන්නට තවත් පිරිසක් පෙළ ගැසී සිටිති.
තැනෙක, ගිනි කාෂ්ඨක අව්වේ මහ මඟ අයිනේ සිසිලස බෙදමින් පිදෙන සිසිල් පැන් දන්සැල් ය.
තැනෙක කුසගිනි නිවන්නට තැනූ ආහාර දන්සැල්ය. තවත් තැනෙක ඔසු පැන් දන්සැල් ය. ගෙවී
ගිය කාලය පුරා උට්ඨාන වීර්යයෙන්, ධාර්මිකව උපයා ගත් මිල මුදලින්, ධන ධාන්‍යයෙන්
කොටසක් මෙසේ අනුන් වෙනුවෙන් වෙන් කරන්නට දයාර්ද සිත් ඇති, අපේ මිනිසුන්ගේ මේ
පරිත්‍යාගශීලි බව, දානමය සිත, එකමුතුබව මිහිඳු මාහිමි දහමින් පෝෂිත වූ සංස්කෘතික
දායාදයකි. ඒ ඉදිරිපත් වීම රටට ආඩම්බරයකි.
දින ගණන් ගෙවා වන්දනාමාන කොට ආපසු යන ගමනේ ද මේ දන්සල් ක්‍රියාත්මකය. ගමනේ
වෙහෙසින්, විඩාබර ගතින් පැමිණෙන විශේෂයෙන් දුම්රිය මගීන්ට, දන්සල් නිසා ලැබෙන සහනය
අපමණය. ආහාර රැගෙන දුම්රිය මැදිරි තුළ එහා මෙහා යන්නට වෙළෙන්ඳෙකුට පවා ඉඩක් නැති
ලෙස පිරී ඉතිරි යන මගීන්ගේ පිරුණු දුම්රිය ගමනේ අතරමග එසේ ලැබෙන ජලබෝතලයක ආහාර
පාර්සලයක, ඔසුපැන් බඳුනක අගය මිල කරන්නට නොහැකිය.
මේ සද්කාර්යයන්ට දායක වන්නෝ අවසන අපමණ සතුටක් ලබති. දීමේ, අත් හැරීමේ සුවය විඳිති.
ලබන්නෝ ද සතුටු වෙති. පින් දෙති. එසේද වුව කනගාටුදායක සිදුවීම් ද නැත්තේ නොවේ. අපමණ
වෙහෙස වී, කැපවී පරිත්‍යාග කරන ආහාරයක දවටනය, හිස් කළ ජල බෝතලය නිසි පරිදි ඉවත
දමන්නට තරම් ඉවසීමක් , සංවේදී සිතක් නැති අයද වෙති. දුම්රිය මැදිරියේ කවුළු අතරින්
බැහැර කළ එවැනි පොලිතින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය දුම්රිය මඟ පුරා විසිරී තිබෙන්නේ
එහි ප්‍රතිඵලයක් ලෙසටය. ඒවා පිරිසුදු කරන්නට සිදුවන්නේද දන්සල් කළ අයටමය. එසේ
නොවුණේ නම්, අපිරිසුදු පරිසරය නිසා වන ගැහැට විඳින්නට වන්නේද ඔවුන්ටමය. දුම්රිය
මැදිරියෙහි ද චකිතයක් නැතිව ඇතැමෙක් කසළ දමා යති. මේ අතර පරිසරය ගැන සිතන, අනුන්
ගැන සිතන අයද වෙති. ඉවතලන දෑ කවුළුවකින් විසි කර නොදමන්නට තරම් හික්මුණු සිත් ඇත්තෝ
ඒවා ගමන් මල්ලෙහිම බහා ගන්නේ සුදුසු තැන බැහැරලන්නටය.
අප වන්දනාමාන කොට ආපසු එන්නේ පිරිසුදු සිතිනි. ඒ සිත අපිරිසුදු සිතිවිලිවලින් පුරවා
ගන්නට හොඳ නැත. ඇවතුම් පැවතුම්වලින් හැසිරීමෙන් ද ඒ බව අන්‍යයන්ට පෙනෙන්නට තිබෙනවා
නම් අනගිය. කෘතවේදී වූ මිනිසුන්ට කෘතවේදී වන්නට, අප ජීවත්වන පරිසරය රැක ගන්නට
සංවේදී වනවා නම් බාල පරපුර ද ඒ ආදර්ශයෙන් ජීවන චර්යාවන් හසුරුවා ගනු ඇත.
|