පල්ලේගම හේමරතන නා හිමි
සේනපුර ඩී. නිශ්ශංක
දුටුගැමුණු මහ රජතුමා විසින් තනවන ලද අනුරාධපුර ස්වර්ණමාලි මහා චෛත්‍ය “ලෝක
උරුමයකි. “රුවන්වැලිසෑය”, “රන්වැලි සෑය” , “ස්වර්ණමාලි චෛත්‍යය” , “මහාථූපය” ආදි
නම්වලින් හඳුන්වන ලෝපතල මේ මහා චෛත්‍ය රාජයාණෝ ඈතට දිස් වන විට අපිට සිහිගැන්වෙන්නේ
රුවන්වැලි මහා සෑ සෙවනේ රැඳී එහි විහාරාධිකාරි ධූරය දරමින් මහා විහාර ශුද්ධ භූමියේ
පෙර පැවති ශ්‍රී විභූතිය යළි ඇති කරවන්නට වෙර දරන පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන්
වහන්සේය.
මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම නමැති රමණීය ගම්පියසේ කරඳගොල්ල වලව්වේ
කිරිබණ්ඩා නිලමෙ තුමාගේ හා කරුණා කුමාරිහාමි මහත්මියගේ එකම දරුවා ලෙස 1954 ජුනි මස
15 වැනි දින උපත ලද කරඳගොල්ල වලව්වේ නන්දසේන කුමරුවා කුඩාකල බුලාගල ප්‍රාථමික
විදුහල, පැල්වෙහෙර වැලිහේන විදුහල හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ මහ විදුහල යන
විදුහල්වලින් මූලික අධ්‍යාපනය ලබා 1968 වසරේ රුවන්වැලි චෛත්‍යාරාම විහාරයට පැමිණෙන
විට වයස අවුරුදු 14 කි.
එවකට අටමස්ථානාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ උදුරුව හල්මිල්ලෑවේ ශ්‍රී රේවත,
රුවන්වැලි චෛත්‍යාරාමාධිපතිව වැඩ විසු අපවත්වී වදාළ පල්ලේගම සිරිසුමන ධම්ම රක්ඛිත
නා හිමි සහ අපවත්වී වදාළ පල්ලේගම ඤාණරතන යන නා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් 1968 වසරේ
දීම නන්දසේන කුමරුවා පල්ලේගම හේමරතන යන නමින් සසුන් ගතවූහ.
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි ශාස්ත්‍රවේදී
පල්ලේගම හේමරතන නා හිමියෝ අනුරාධපුර ජේතවනාරාමාධිකාරි ලෙස වැඩ සිටිමින් සංස්කෘතික
ත්‍රිකෝණයේ ජේතවනාරාම ව්‍යාපෘතියේ භාරකාර අධ්‍යක්ෂවරයෙකු වශයෙන් නිහඩ මෙහෙවරක් සිදු
කළ හිමිනමකි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුරාධපුර මහාවිහාර ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමඟම හේමරතන
නාහිමියන් මේ සියලු කටයතු නිසි ලෙස අධීක්ෂණය කරමින් සම්බන්ධීකරණය කළහ. එමගින්
රුවන්වැලි මහා සෑයේ වැළිමළුව පිළිසකර කිරීම ආරම්භ කරන ලදී. චෛත්‍යයේ වැලි මළුව
සැකසීමේ කටයුතු නාහිමියන්ගේ අධීක්ෂණයෙන් දැන් ඉතා අලංකාර අයුරින් නිමකොට ඇත.
වැලිමළුවේ පිටත සීමා ප්‍රාකාරයේ කැණීම් සිදු කර පාදා තහවුරු කිරීම හේමරතන
නාහිමියන්ගෙන් සිදුවනු තවත් විශාල කටයුත්තකි. ඒ සීමා ප්‍රාකාරය හදා තහවුරු කිරීමේ
කැණීම්වල දී ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් පුරාවස්තූන් රැසක් හමුවිය. ඉතා මැනවින්
ආරක්ෂාවී තිබූ චීන බඳුන් මෙන්ම ශ්‍රී ලංකාවේ එකම තැනකින් හමුවූ වැඩිම බුදුපිළිම
ප්‍රමාණය ලෙස සැලකෙන පිළිම පනස් හයක් ඒවා අතර විය. ඒ සියල්ල මහාවිහාර වංශ කථාවට නව
පරිච්ඡේදයක් එකතු කිරීමට හේමරතන නාහිමියෝ සමත්වූහ. ඒ අතර අටමස්ථානාධිපති පල්ලේගම
සිරිනිවාස නාහිමියන් රුවන්වැලි මහා සෑයේ වැඩ සිටියදී ආරම්භකළ දුටුගැමුණු ප්‍රතිමාවේ
සියලු නිර්මාණ කටයුතු නිම කිරීමට උන්වහන්සේ සමත්වූහ.
2005 වසරේ ඉල් මහේ දී රුසියාවේ මොස්කව් නුවර බෞද්ධ මධ්‍යස්ථානය සඳහා ජයශ්‍රී මහා
බෝධි අංකුරයක් වැඩම කරවා ගෙන යාමේ වාසනාව හිමි වූයේ ද හේමරතන නා හිමියන්ටය.
අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහාවිහාර ව්‍යාපෘතිය ආරම්භ
කිරීමට පුරෝගාමී වූ හේමරතන නාහිමියෝ රුවන්වැලි මහා සෑ මළුවේ මහා ප්‍රාකාරය සංරක්ෂණය
කිරීම, මහා සෑ රදුන්ට විදුලි ආලෝකය ලබා ගැනීම, රුවන්වැලි මහා සෑය පිහිටි භූමිභාගය
වඩාත් අලංකාරවත් ලෙස පවත්වාගෙන යාම, සෑයට පිවිසෙන මාර්ගය නවීකරණය කිරීම ආදි ශාසනික
සේවාවන් රැසක් මහත් කැපවීමෙන් යුතුව සිදු කර තිබේ.
මෙම වසරේ ජුනි 15 වෙනි දිනට 64 වැනි වියට පා තැබු ප්‍රවීන ගීත රචක ශාස්ත්‍රවේදී
පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක ස්වාමින් වහන්සේ 1979 වසරේදී ශ්‍රී ලංකා
ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය හා සම්බන්ධව ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම යටතේ වඩාත්
පුළුල් ලෙස නිර්මාණ කරණයේ නිරතවූහ. 1988 දී ‘පහන නිවී දොළොස් මහේ” නමින් තම පළමු
ගීත සංග්‍රහය එළිදැක්වීමට හේමරතන නාහිමියෝ සමත්වූහ.
1989 වසරේදී අනුරාධපුර ජේතවනාරාමාධිකාරි ධූරයට පත් උන්වහන්සේ 1990 දී රජරට නුවර
කලාවියේ උප ප්‍රධාන සංඝනායක ධුරයට පත්වූහ. 1997 වසරේදී රුවන්වැලි
චෛත්‍යාරාජමාධිකාරි ධූරයට පත් හේමරතන නාහිමියෝ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක
ධූරයෙන්ද පිදුම් ලැබූහ. |