UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලාංකේය බෞද්ධ ආගමික උත්සව පුරාණය

ශ්‍රී ලාංකේය බෞද්ධ ආගමික උත්සව පුරාණය

වසර 2500 කට වඩා පැරැණි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මේ සිංහල ද්වීපයෙහි, මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදුදහම ස්ථාපිත කිරීමෙන් පසු මෙන්ම ප්‍රාග් බෞද්ධ යුගය තුළද මහත් උත්සවයන් සැමරූ අවස්ථා පිළිබඳව හඳුනාගත හැකි වෙයි. ලිඛිත මුලාශ්‍රයක් ලෙස ලංකා ඉතිහාසය අඛණ්ඩව ගෙන හැර පාන මහාවංශයෙහි විජය රජු දවස පැවති උත්සවය මෙරට පවත්වන ලද වංශ කතා සාධක දක්වන ප්‍රථම උත්සවය ලෙසින් සැලකිය හැකිවෙයි.

එහිදී සිරසවත්ථුපුර යක්ෂයන්ගේ විවාහ මංගල උත්සවය සම්බන්ධ තොරතුරු වංශ කතාවේ දක්වා තිබෙයි. (ම.ව. 7.33 ගාථා) ලංකා නගරයෙන් සිරසවත්ථු පුරයට කුමාරිකාවක් රැගෙන ඒමේ උත්සවයක් පිළිබඳ දක්වා තිබෙන අතර නොයෙක් තූර්ය වාදන හා ගීත ඇතුළත්ව උත්සවය පැවත්වූ බව සඳහන් වෙයි. එමගින් තහවුරු වන ඉතිහාසගත කාරණයක් වන්නේ එකල්හි සිටම ලංකාව තුළ විවාහ මංගල උත්සවයන් උත්සවාකාරයෙන් පැවැත්වුණුු බවයි. එමෙන්ම මහා වංශ කතා සාධක තවදුරටත් ගෙනහැර දක්වන්නේ පණ්ඩුකාභය රාජ්‍ය සමයේ දී පවත්වන ලද උත්සවයන්හිදී දිව්‍ය මනුෂ්‍ය නාටක පවත්වන ලද බවයි. එය මහාවංශයේ සඳහන් වන්නේ මෙපරිද්දෙනි. ‘නැකත් කෙලිදවස්හි ඒ පණ්ඩුකාභය රජ තෙමේ චිත්ත රාජ සමඟ සම අස්නෙහි හිඳගෙන දෙව් මිනිස් නැටුම් කරවමින් රති ක්‍රීඩාවෙන් යුක්තව සිත් ඇලවී (ම.ව. 10:87 ගාථා) එමෙන්ම පණ්ඩුකාභය රජු තම මාමාවරුන් පරාජය කිරීමෙන් පසුව සිය රාජාභිෂේකය පිහිටි විලකින් ජලය ගෙන දොවා එම විලේ ජලයෙන්ම සිදුකළ බවත් මහාවංශයේ දක්වා තිබෙයි. (ම.ව. 10:77-78 ගාථා) එමෙන්ම තවදුරටත් මහාවංශය අධ්‍යනය කිරීමේදී

අභිෂේක මංගල්‍යයන් දෙකක් දේවානම්පියතිස්ස රජතුමා සිදුකොට ඇති බවද හඳුනාගත හැකිවෙයි. එහිදී දෙවෙනි අභිෂේක උත්සවය ඉන්දියාවේ අශෝක මහරජතුමා එවන ලද පංච කකුධ භාණ්ඩ උපයෝගි කොට ගෙන පැවැත්වු බවද එහි තවදුරටත් විස්තර කොට තිබෙයි. (ම.ව. 11:41-42 ගාථා) එම අභිෂේක මංගල්‍යයට අමතරව තවත් මංගල්‍යයක් ලෙස දේවානම්පියතිස්ස රජතුමා තමාගේ වැසියන්ට දියකෙළිය පවත්වන ලෙස දන්වා ඔහු දඩකෙළියෙහි නිරත වූ බවද එම දිනය පොසොන් දිනය බවද එහි දී රජුට මිහිඳු මහා රහතන්වහන්සේ හමුවු බවද මහාවංශයෙහි දක්වා තිබෙයි. (ම.ව. 14:1-2 ගාථා) එලෙස මෙරටට බුදු දහම පැමිණීමට පෙර පැවති උත්සව අවස්ථාවන් පිළිබඳව වංශ කතා සාධක හඳුනාගත හැකි වන අතර ලංකාවට බුදු දහම ලැබීමෙන් අනතුරුව ලංකා සමාජයෙහි විවිධ උත්සව අවස්ථාවන් රැසක් එක්වූ බවද හඳුනාගත හැකිවෙයි.

එහිදී ලාංකේය බෞද්ධ සමාජය තම ශ්‍රද්ධාව හා භක්තිය දනවනු පිණිස එම බෞද්ධ උත්සවයන් සංවිධානය කරනු ලැබීය. එහිදී මුල්කාලීන හඳුනාගත හැකි මූුලිකම උත්සවයක් ලෙස ගිරිභණ්ඩ පූජාව හැඳීන්විය හැකි වෙයි. මිහින්තලේ කේන්ද්‍රස්ථානව පැවති එම පූජාව පිළිබඳ මහාවංශයේ දැක්වෙන්නේ මෙසේය. “සෑගිරිය අවට යොදුනක් මානය සරසවා හාත්පස මනා වීදි ඇති සතර දොරටුවක් යොදවා වීදි දැලයෙහි සල්පිල් අතුට කොඩි අග තොරණින් තන්හි තන්හි සරසවා හාත්පසින් පහත මාල ආලෝක කරවා නැට්ටුවන් ලවා නැටුම් හා ගීත වාදිතයන්ද කරවීය. කොළොම්හොය පටන් සෑගිරිය තෙක් මාර්ගයෙහි දෙවි පයින් යනු පිණිස ඇතිරිලි ඇතිරීමද කරවීය. නැටුම්, ගී, වැයුම් සහිත නෘත්‍යය ද එහි කරවීය. නුවර සතර දොර මහදනුත් දෙවීය. අතුරු ඇති පහත් මාලාවන් මුළු ලක්දිව්හිද, හාත්පසින් යොදුනක් මානයෙහි මුහුදු දියෙහි ද පැවැත්විය. ඒ රජුහු විසින් සෑ... පෙලහැරෙහි කවන ලද්දා වූ මහා වු උදාර වු ඒ පූජා තොමෝ මෙහි ගිරිභණ්ඩ මහා පූජායයි කියනු ලැබේ. රජතෙමේ ඒ පූජා සමාගමෙහි කැටි වූ භික්ෂුන්ට අටතැනක දන් තබ්බවා එහි තබ්බන ලද අමරන් බෙරක් ගස්වා සූවිසි දහසකට මහදන් පැවත්විය. ෂට්ප්‍රකාර සිවුරු දුන්නේය.” (ම.ව.34: 75-84 ගාථා) මෙහි සඳහන් සේ මුහුදු දියෙහි කරන ලද කටයුතු පූජාවලියෙහි විස්තර කොට තිබෙයි.

මෙම ගිරභණ්ඩ පූජාව පිළිබඳව “දීපවංශයෙන්” මහාවංශ ටීකාවවෙන් , රසවාහිනියෙන් සහ සද්ධර්මා ලංකාරයෙන් ආදි ග්‍රන්ථයන් හි දැක්වෙයි. ශ්‍රී ලංකා බුදු සසුනෙහි ආරම්භක ස්ථානය වන සෑගිරිය හෙවත් මිහින්තලාවේ පවත්වන ලද මෙම මහෝත්සවය මුළු සිංහල ද්විපය පුරාම පවත්වන ලද පූුජා සමාගමක්ද ප්‍රදීප පූජාවක්ද වූයෙන් එය එකල බෞද්ධ ආගමික උත්සවයක් සේම ජාතික උත්සවයක් වූ බවද පෙනීයයි. කෙසේ වුවත් මෙම සමයෙහි වසන්ත උත්සවයන්, සුර්ය උත්සවයන් මෙන්ම නැකැත් කෙළිද ශ්‍රී ලාංකේය සමාජ හඳුනාගැනීමට හැකියාව ලැබිණි.

බුදුසමය හා බැඳුනු උත්සව රැසක් ද මෙරට ජනසමාජය තුළ හඳුනාගත හැකි වන අතර සිය අණ ලිපිවල පවසන පරිදි දිව්‍යානි රූපානි ද සහිත දර්ශන හා පෙරහරවල් සංවිධානය කළ අශෝක මහ රජුගේ ආභාසය ඔහුගේ පුත් වූ මිහිඳු හිමියන් මගින් මෙරටට ලැබෙන්නට ඇති බව සැලකිය හැකි වෙයි. මහාවංශයේ මුලින්ම වෙසක් උත්සවයක් පිළිබඳව සඳහන් වන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලයේ වුවත් ඊට පෙර දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ පටන් වෙසක් උත්සවය මෙරට පවත්වන්නට ඇතැයි අනුමාන කළ හැකි වෙයි. දුටුගැමුණු රජු තම රාජ්‍ය කාලයේ තුළදී වෙසක් උත්සව 24 ක් පැවැත්වූු බව මහාවංශයෙහි සඳහන් වෙයි. ඉන්පසු භාතිය රජු විසින් වෙසක් උත්සව 28 ක් පවත්වා තිබෙන බව මහාවංශය දීර්ඝව දක්වා තිබෙයි. වසභ රජ්ජුරුවන් තම රාජ්‍ය කාලය තුළ වෙසක් උත්සව හතළිස් හතරක් පවත්වා තිබෙයි. එමෙන්ම මහාවංශයෙහි වෝහාරතිස්ස රජුද තම රාජ්‍ය කාලය තුළ වෙසක් උත්සවය පවත්වා ලංකාවේ සියලුම භික්ෂුන් වහන්සේලාට තුන් සිවුරු පූජා කළ බව සඳහන් වෙයි. ගෝඨාභය රජතුමා වෙසක් උත්සවය උත්කර්ෂවත්ව පැවත්වූ බව මහාවංශයෙහි දක්වා තිබෙයි. ජේට්ඨතිස්ස රජුද වෙසක් උත්සවය පැවත්වූ බවත් තිස්දහසක් භික්ෂුන්වහන්සේලාට චීවර පූජා කළ බවත් මහාවංශයෙහි දැක්වෙයි. (ම.ව. 36:130) මහාවංශයෙහි දැක්වෙයි. මුගලන් රජතුමා ද තමාගේ රාජ්‍ය කාලය තුළදී චාරිත්‍ර වාරිත්‍රවලට අනුකූලව වෙසක් උත්සව පවත්වන ලද බව සඳහන් වෙයි. මෙම වංශ කතා තොරතුරු අනුව පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරමින් වෙසක් උත්සව පැවැත්වීමට නීති රීති මාලාවක් පැවති බවත් එමෙන්ම රාජ්‍යයට පත්වූු සෑම රාජ්‍ය පාලකයෙක්ම වෙසක් උත්සවයන් මෙරට පවත්වන්නට ඇති බවත්වය. නව වන සියවසේ රාජ්‍යත්වයට පත්වූු දෙවන සේන රජුගේ රාජ්‍ය කාලයේදී පැවත්වූ වෙසක් උත්සවය පිළිබඳ වංශ කතාව දීර්ඝ විස්තරයක් ගෙනහැර දක්වයි. ඒ අනුව වෙසක් උත්සවය හා බැඳි චාරිත්‍රයක් ලෙස දන්දීමද හඳුනාගත හැකි වෙයි. ලංකාවට බුදුදහම පැමිණිමෙන් පසුව පවත්වන ලද බෞද්ධ උත්සවය අතර වැදගත් උත්සවයක් ලෙස ‘අරියවංශ දේශනා උත්සවය’ හඳුනාගත හැකිවෙයි. අරියවංශ දේශනාව යනු අංගුත්තර නිකායේ සතරවන නිපාතයේ දේශනාවක් වන අතර මෙම සූත්‍රය උත්සවශ්‍රීයෙන් දේශනා කිරීම හේතුවෙන් පසුව ධර්ම දේශනාවන් සඳහා ආභාසය ලැබී තිබෙයි.

අනුරාධපුර යුගයේදී ලංකාවේ සැම ගමකම බණ මඩු පිහිටුවා එහි ධර්මය දේශනා කර ඇති අතර එම ධර්මය ශ්‍රවණය කිරිම සඳහා සිව්වනක් පිරිසම සහභාගි වී තිබෙයි. අතීත අනුරාධපුර යුගයේ දී පවත්වන ලද බෞද්ධ ආගමික උත්සව අතර ‘බෝධි පූජා’ උත්සවයටද විශේෂ ස්ථානයක් හිමි වන අතර ප්‍රථම වරට බෝධිපූජා උත්සවයක් පවත්වා ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. ඒ ඔහුගේ රාජ්‍ය සමයේදී සංඝමිත්තා තෙරණිය විසින් ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීමෙන් අනතුරුවය. පෙර රජ දවස පැවති උත්සව අතරින් මිහිඳු උත්සවයත් විශේෂ උත්සවයක් ලෙස හඳුනාගත හැකිවෙයි. සිවු වැනි සියවස ආරම්භයේදී සිරිමෙවන් රජු විසින් ආරම්භ කෙරුණුු මෙම උත්සවයේදී මිහිඳු මහ රහතන් වහන්සේගේ ජීව ප්‍රමාණයේ රන් ප්‍රතිමාවක් අනුරාධපුරයේ සිට මිහින්තලේ අම්බස්තලා චෛත්‍ය කරාද ආපසු අනුරාධපුරයේ ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ කරාද අවසන් හි රාජ මාලිගය අසල පිහිටි විශේෂ මන්දිරයකටද වැඩම කෙරිණි.


 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 08 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.16 ට ලබයි.9 වනදා සිකුරාදා අපරභාග 06.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 8 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජුනි 17 වනදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 08

Second Quarterඅව අටවක

ජූනි 17

Full Moonඅමාවක

ජූනි 23

First Quarterපුර අටවක

ජූලි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]