මහින්දාගමනයෙන් උරුම වූ ශිෂ්ටත්වය අගයමු
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති
මහාචාර්ය
මැදගම්පිටියේ විජිතධම්ම හිමි
මෙයට අවුරුදු 2325කට පෙර මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය නිසා අපට මිහිඳු සංස්කෘතිය
හඳුන්වා දීම සුවිශේෂී භාග්‍යයක්. එය ලක්දිව මුල් බැසගත් සංස්කෘතියක් බවට පත්ව
සිංහල, බෞද්ධ , සංස්කෘතිය ලෙස විවිධ පැතිකඩ ඔස්සේ හෞතික හා අධ්‍යාත්මික වශයෙන්
දෙවදෑරුම් වෙයි.
මිහිඳු මහ රහතන් වහන්සේ අපට පෙන්වා දුන් මුල්ම සංස්කෘතික දායාදය වන්නේ කර්ම ඵලය
පිළිබඳ නව චින්තනයයි. මෙය සමාජයට අර්ථ කථනය කිරීමේදී පින සහ පව යනුවෙන් හඳුන්වයි.
එදා මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස අනුරපුර පින්බිමට වැඩම කර විමාන වත්ථු සහ
පේත වත්ථු දේශනාවන් වදාළා. එහි සඳහන් සේ මුගලන් හාමුදුරුවෝ අපායට සහ දෙව්ලොවට වැඩම
කර මනුෂ්‍යයන්ට අයහපත් දේ කිරීමෙන් අපායේ දුක් විඳින බවත්, යහපත් දේ කිරීමෙන් සැප
විඳින බවත් පෙන්වා දුන්නා. කුසල සහ අකුසලය නම් වූ මෙය සමාජයට බද්ධ කළ විට හොඳ සහ
නරක යනුවෙන් මිහිඳු හාමුදුරුවෝ අපට පෙන්වා දුන් මුල්ම සංස්කෘතික දායාදයයි.
නමුත් අද අපට හොඳ සහ නරක හඳුනාගැනීමට අවස්ථාව ගිලිහී යාම අභාග්‍යයක්. මේ කාරණාව අද
සමාජයට ගැළපීමේදී ශ්‍රව්‍ය, දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ හොඳ සහ නරක මිනිසුන්ගේ හදවත්වලට
කිඳා බසින පරිදි පහදා දිය යුතුයි. අප මුලින්ම කළ යුත්තේ ශිෂ්ටාචාරත්වයට නැවත
පරිවර්තනය වීමයි. ශිෂ්ට වීමට හොඳ දේ කිරීමත් නරක දේ අත් හැරීමත් කළ යුතු බවට අපට
අවශ්‍ය මූලික දැනුම ලැබුණේ මිහිඳු හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම නිසයි.
උන් වහන්සේ ඉදිරිපත් කළ බුද්ධ දේශනාවේ හරය අප සිතට ධාරණය කරගත යුතු ක්‍රමවේදයන්
සතරක් තිබේ. ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ සඳහන් පරිදි අත්තානුවාද භය යනුවෙන්
හැඳින්වූ ‘ මා කරන දේ, සිතන දේ, කියන දේ නිසා මට අවසානයේ දුක් විඳින්න සිදුවේදැ’යි
සිතමින් සංවිධානාත්මකව වැඩ කටයුතු කිරීමයි. දෙවැන්න පරානුවාද බයයි. තමන් කරන්න,
සිතන්න යන දේ නිසා අනුන්ගේ ඇනුම් බැනුම් දේෂාරෝපණයට ලක් වේදැ’යි සිතමින් වැඩ කටයුතු
කිරීමයි. තෙවැන්න දණ්ඩ බයයි. තමන් කරන කියන දේ නිසා තමන්ට නීතියෙන් දඬුවම් විඳින්න
සිදු වේයිදැ’යි කල්පනාවෙන් වැඩ කිරීමයි. සිව්වැන්න දුග්ගති භයයි. තමන් කරන කියන
දෙයෙහි ප්‍රතිඵලයක් වශයෙන් තමා මියගිය පසුව දුගතිගාමී වේදැ’යි සිතමින් කල්පනාවෙන්
වැඩ කටයුතු කිරීමයි. එසේනම්, මිහිඳු හාමුදුරුවෝ අපට මුලින්ම පෙන්වා දුන් සංස්කෘතික
දායාදය වන්නේ කර්මය හා කර්ම ඵලයයි. හොඳ දේ කිරීම සහ නරක දේ බැහැර කිරීම ශිෂ්ට
සංස්කෘතියක පැවැත්මයි. එය මිහිඳු මහ රහතන් වහන්සේ සම්බුදු දේශනා තුළින් පෙන්වා දුන්
මිහිඳු සංස්කෘතියයි. මෙය ස්ථාපනය කිරීම අධ්‍යාත්මික පැති කඩයි.
මහින්දාගමනයෙන් අපට ලැබුණු භෞතික පැතිකඩ කුමක්දැ’යි සඳහන් කිරීමේදී භාෂාව සහ
සාහිත්‍ය ප්‍රවේශය අගැයිය යුතුයි. එය දීඝ නිකායේ අට්ඨ කතාවේ ආරම්භක ගාථාවල සඳහන්
පරිදි පළමු, දෙවන, තෙවන සංගායනාවල දැක්වෙන බුද්ධ ධර්මය පිළිබඳ අර්ථකථනයකි. මිහිඳු
හාමුදුරුවන්ගේ ලංකාගමනයෙන් පැවිදි වූ අරිට්ඨ හිමියන් ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේ
සමඟින් සිංහල අට්ඨකතා නොහොත් හෙළටුවාව පරිවර්තනය කිරීම සිංහල සාහිත්‍යයේ ආරම්භක
ග්‍රන්ථ සම්ප්‍රදායයි. සිංහල සාහිත්‍යය, බ්‍රාහ්මීය අක්ෂර කලාව, සංස්කෘතිකාංග
මහින්දාගමනයෙන් අපට උරුම වූවා. හෙළටුවා නමින් ආරම්භ වූ සාහිත්‍ය අද දක්වාම දියුණු
කිරීම සුවිශේෂී කර්තව්‍යයක්. අනුරාධපුර යුගයේ දම්පියා අටුවා ගැටපදය, සිකවළඳ,
පොළොන්නරු යුගයේ ජාතක අටුවා ගැටපදය, අමාවතුර, බුත්සරණ වැනි සාහිත්‍ය කෘතීන් සහ
දඹදෙණි යුගයේ සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි සුවිශේෂී පොත පත බිහිවීම අප ලද
භාග්‍යයක්. මෙලෙස මිහිඳු හාමුදුරුවන්ගෙන් ආරම්භ වූ සාහිත්‍ය අද දක්වාම සෑම යුගයකදීම
වර්ධනය වී තිබේ. ගොඩනැඟිලි සමඟ බද්ධ වූ කැටයම් මූර්ති කලාව මිහිඳු හාමුදුරුවන්ගේ
වැඩම කිරීමෙන් දියුණු වූ බවත්, මහා විහාරය ගොඩනැඟීමට මිහිඳු හාමුදුරුවන්ගේ උපදේශයන්
වැදගත් වූ බවටත් මහාවංශය සාක්ෂි දරයි. අපේ චෛත්‍ය සම්ප්‍රදාය ලෝකයේ ආවේණික චෛත්‍ය
සම්ප්‍රදාය බවට පත්වීමේ භාග්‍ය ලැබුණේ මිහිඳු සංස්කෘතියේ ආරම්භය නිසයි. එසේම
අනුරාධපුර මහමෙව්නාවේ මහා විහාරය ගොඩනැඟීම සම්බන්ධයෙන් ගෘහ නිර්මාණ කලාව පිළිබඳ නව
ප්‍රවේශයක් අපට හඳුනා ගැනීමට ලැබීමත්, ථූපාරාමය චෛත්‍ය සම්ප්‍රදායේ ආරම්භය වශයෙන්
හඳුනාගැනීමත් විශිෂ්ටයි.
මෙලෙස මහින්දාගමනයෙන් ආරම්භ වූ චෛත්‍ය සම්ප්‍රදාය, ගෘහ නිර්මාණ හා කලා ශිල්ප විවිධ
සංවර්ධන ක්‍රම මඟින් නව මාවතකට නොනැවතී අද දක්වාම ඉදිරියට ගලා යාම භෞතික
සංවර්ධනයයි. නමුත්, එදා මහින්දාගමනයෙන් පෙන්වා දුන් අධ්‍යාත්මික සංවර්ධනය (පවට ඇති
ලජ්ජාව සහ භය – හිරි , ඔත්තප්ප) මිනිසුන් තුළින් පිරිහීයාම ශිෂ්ටත්වයේ පසුබෑමයි.
එබැවින්, මිහිඳු සංස්කෘතිය නැවත ස්ථාපනය කිරීමේදී අධ්‍යාත්මික වශයෙන් අප වැඩි
අවධානය යොමුකළ යුත්තේ ශිෂ්ටත්වය නැවත ඇති කළ යුත්තේ කෙසේද? යන්නයි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල
|