මහරජ
අපි ජලයෙන් හෝ
ගොඩබිමෙන්නොපැමිණියෙමු
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභික හා ජ්‍යෙෂ්ඨානුවිජ්ජක
අනුරාධපුර ශ්‍රී ලංකා
භික්ෂු
විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අක්මීමන ධම්මපාල හිමි
වංශ කථා සාහිත්‍යයෙන් මෙන් ම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක වලින් කියවෙන පරිදි
මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත කණ්ඩායම ලක්දිවට පැමිණියේ ඍද්ධියෙනි. මිස්සක පව්වේ
දී දෙවන පෑතිස් රජුට මේ පිරිස සම්මුඛ වී කථා බහ කර සැකහැර දැන හඳුනාගත් පසු මෙරටට
පැමිණියේ කෙසේදැයි රජු මිහිඳු හිමියන්ගෙන් ප්‍රශ්න කර ඇත.මහා වංශයේ මේ පුවත,
“පුච්ඡි කෙනාගතාති
න ථලෙන න වාරිනා
ආගතම්හාති චුත්තෙ
සො විජාති නභසාගම්ම”
ඉහත ප්‍රශ්නයට පිළිතුරු දෙන මිහිඳු හිමියෝ “ මහ රජ අපි ජලයෙන් හෝ ගොඩබිමින් නො
පැමිණියෙමු.” එසේ නම් උන්වහන්සේලා ගේ ලංකාගමනය සිදුවූයේ කෙසේද? මේ අනුව ස්ථිර
වශයෙන් ම ඍද්ධියෙන් මෙරටට වැඩම වූ බව දෙවනපෑතිස් රජු අවබෝධ කර ගත්තේය.
මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු මේ ධර්ම දූත කණ්ඩායම පිරිනිවන් පානතුරු ම ලංකාවේ වැඩ
සිටියහ. උන්වහන්සේ ග්‍රාම නගරාදියේ වාසය කිරීමට වඩා පි‍්‍රය කළේ ආරණ්‍යගත ජීවිතයයි.
අනුරාධපුර අගනුවරට වඩින ලෙස දෙවන පෑතිස් රජු ආරාධනා කළත් උන්වහන්සේ කැමැති වූයේ
අගනුවරින් සැතපුම් අටක් පමණ දුරින් ඝන වනාන්තරයක්ව පැවැති මිහින්තලා පර්වතයෙහි ම
වැඩ සිටීමටය. ඒ බව මහාවංශයේ පැහැදිලිව දක්වා ඇත.
විනය අට්ඨ කථාව වන සමන්තපාසාදිකාවේ දී මහින්දාගමනය සිදු වූයේ සැලැසුම් සහගත
ක්‍රමයකට බව එහි දැක්වෙන සාධක වලින් පෙනෙයි. තෙවැනි ධර්ම සංගායනාවෙන් අනතුරුව
මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් රටවල් නවයකට ධර්ම දූතයන් වහන්සේ
පිටත් කර යැවූහ. එහි දී තම්බපණ්ණිය හෙවත් ලක්දිවට ධර්මය සහ ධර්මදූතයන් පිටත්කර
යැවීමට සුදුසු කාලය නොවන බවත් මෙකල වන විට මුටසීව රජු රාජ්‍ය කරවන බවත් ඔහු මහලු
නිසා බුදුදහම පිහිටුවාලීමට හා එය අවබෝධ කර ගැනීමට දුෂ්කර බවත් මුටසීව රජුගේ ඇවෑමෙන්
දෙවන පෑතිස් රජු රාජ්‍යත්වයට පත් වූ විට ඊට සුදුසු කාලය බවත් දක්වයි. එහි දී මිහිඳු
හිමියන් සහ අනෙක් තෙරවරු සිවුනමත්, සුමන සාමණේරයන් හා භණ්ඩුක උපාසකතුමා ඇතුළු පිරිස
රජගහනුවර දක්ෂිණාගිරි ජනපදයේ වාසය කරමින් ස්වඤාත්‍යාදීන් සමඟ මාස හයක් ඉක්මවීය. එකල
ශක්‍රයා විසින් මිහිඳු හිමියන් වෙත එළඹ මුටසීව රජු කලුරිය කළ බවත්, දැන් දෙවනපෑතිස්
රජු රාජ්‍ය කරවන බවත් දැන්වීය. ‘කාලකතො භන්තෙ මුටසීව රාජා ඉදානි දෙවානම්පියතින්ස
මහා රාජා රජ්ජං කාරෙති” මෙකල ලංකාදීපයට ධර්ම දූතයන් සමඟ ගමනාරම්භයට සුදුසු කාලය බව
දැන එහි නිරත විය. මෙම කථා පුවතින් පැහැදිලි වන්නේ මහින්දාගමනය සැලසුම් සහගත ලෙස
සිදුකරන ලද්දක් බවයි.
එදින ලක්දිව නැකැත් උත්සව දිනයකි. හතළිස් දහසක් සපිරිවර ජනයා සහිත “චත්තාළිසපුරිස
සහස්සපරිවාරො” මිස්සක පර්වතයට මුව ක්‍රීඩාව සඳහා පිටත්විය. රජ ඇතුළු පිරිස දුනු ඊතල
රැගෙන ප්‍රාණ වධයට සැරසෙන අවස්ථාවක මහින්දාගමනය සිදු විය. මහින්දාගමනයෙන් පසු
ජීවාතාභය ,සාර ධර්ම ආරක්ෂා කිරීම ආරම්භ වූයේ මෙදින සිටය. පොහෝ දිනය සතුන්ට අභය ලද
දිනයක්ද රජ ගෙදර මාංශ භක්ෂණය අහෝසි කොට සාර ධර්ම සඳහා නව චින්තනයක්ද සැකසුණු දිනයක්
බවට පත් විය. මහින්දාගමනය ඓතිහාසික සාධක තුළින් කරුණු අනාවරණය කොට ගත හැකිය. රජගල
පුදබිමෙන් හමු වූ සෙල් ලිපිය ඊට කදිම සාක්ෂියෙකි.
සෙල් ලිපි, අට්ඨකථා හා පුරාවිද්‍යාත්මක සාධක තුළින් මහින්දාගමනය ඓතිහාසික වශයෙන්
සිදු වූ බව පැහැදිලිය. ලක්දිව බුදුදම ව්‍යාප්ත වීමෙහිලා මහින්දාගමනයම බලපෑ බව කිව
යුතුය. ලක් දිව බෞද්ධ සංස්කෘතිය හා සබැඳි ජන ජීවිතයත් ඒ වටා බැඳි විවිධ කර්මාන්ත
අධ්‍යාපනය හා සාර ධර්ම පෝෂණ යෙහිලා මහින්දාගමනය ප්‍රබල ලෙස බලපෑ කරුණක් විය.
|