ගමයි පන්සලයි
ළමා පරපුරයි
ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි
අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ආගමනයත් සමග “වැවයි දාගැබයි, ගමයි පන්සල ලංකාවේ බෞද්ධ
ජනසමාජය හා බැඳුනු විශේෂිත ආකල්පයක් විය. බුදුදහම ස්ථාවර වූ වෙනත් කිසිදු රටක මෙවන්
පිළිගැනීමක් හෝ ආකල්පයක් පැලපදියම් වී නැති බව ද කරුණු විමසන විට පෙනී යන සත්‍යයකි.
වැවයි දාගැබයි ගමයි පන්සලයි යන පිළිගැනීම මගින් ප්‍රකට ලෙස කියා පාන්නේ අප රටේ ආගම
දහම, ආර්ථිකය, ග්‍රාමීය සමාජ සැකැස්ම සහ අන්‍යෝන්‍ය සුභසාධනය පිළිබඳ තත්වාකාරය යි.
ලෝකයේ වෙනත් කිසිදු රටක දක්නට නැති ආකාරයේ වාපි (වැව්) නිර්මාණයක් අප රටේ පැවති බව
විවාදයෙන් තොරව පිළිගැනෙන්නකි. ආර්ථික සමෘද්ධිය අරභයා ප්‍රධානතම ක්‍රමවේදය වූ වී
නිෂ්පාදනය සඳහා තම කෙත්වතුවලට ක්‍රමානුකූල ලෙස ජලය ලබා ගැනීමට අපේ පැරණි පාලක
පිරිසේ මෙහෙයවීමෙන් දස දහස් ගණනක් ලොකු කුඩා වැව් නිර්මාණය කෙරින.
දහස් ගණනක් ජනී ජනයා ඒකරාශීව සුදුසු පරිදි තෝරාගත් ස්ථානයක පස් කපා ඉවතට ඇද වැව්
බැම්ම බැඳගන්නා ගමන් ම ඒ ආසන්නයේම දාගැබක් ද ඉදිකිරීමට පියවර ගත්හ. එය එක් “වැව
බැන්දාම කෙත සරු වෙනවා. කෙත සරු වු විට බඩ කට පිරෙනවා. එය මේ ලෝකෙට ලැබෙන යහපතයි. ඒ
සමඟ දාගැබ ඉදිවෙනවා. දාගැබ ඉදිකිරීමට තම දායකත්වය පිරිනැමෙනවා. ඒ නිසා මහත් පිනක්
අත් වෙනවා. ඒ පින පරලොව යහපතටයි.” එදා ගැමියා සිතන්නට ඇත්තේ ඒ පරිද්දෙන් ම බවට
කිසිදු සැකයක් නැත. වැව් කර්මාන්තය හා ආසන්නයේ ම පිහිටි ජනාවාසය ‘ගම’ නම් විය. මේ
දෙකරුණම යා කෙරෙමින් පන්සලක් ද බිහි විය. දාගැබට යාබදව සංඝාරාම, ප්‍රතිමාගෘහ
ඇතුළත්ව ඉදි වූ පන්සල මේ සියලු ආර්ථික හා සංස්කෘතික අංග ඒකාබද්ධ කෙරෙන සජීවී
සම්බන්ධීකාරක මධ්‍යස්ථානය විය. අපේ පැරණි සමාජ ක්‍රමය තුළ පන්සල යැපුනේ ගමෙනි. එසේ
ම ගම යැපුනේ පන්සලෙනි. එසේ මේ ආයතන දෙකම අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ ව පැවති බවට සාධක
එමට ය. පන්සලේ නඩත්තුවත් භික්ෂූන් වහන්සේගේ සිව්පසයත් ගම්මුන් විසින් සිදු කෙරින.
එසේම ගැමි ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුවට අදාළ ධර්‍මානුකූල මග පෙන්වීම පමණක් නොව
අධ්‍යාපන කටයුතු ද කලහ විවාද සමථ කරණය ද සිදු වූයේ පන්සලෙනි. ගැමි ජනයා දුරාචාරයෙන්
මුදවාලීමට පන්සල ගන්නා ලද අනවරත උත්සාහයේ ප්‍රතිඵලය විසින් ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය
ආරක්ෂා වූ අතර ආර්ථික සමෘද්ධිය ද ඇතිවිය. එසේම ජන ජීවිතය හා බැඳුණු උපත, මරණය,
ආවාහවිවාහ ආදී සෑම සියලු අවශ්‍යතාවයක දී ද එයට අදාළ ආශීර්වාද ලැබුනේ පන්සලෙනි.
එපමණක් නොව වෛද්‍ය කර්‍මය, ජ්‍යොතිශය ආදී අත්‍යවශ්‍යතාවන් හිදී ද භික්ෂූන් වහන්සේ
විනයානුකූල පරිදි මහජන සේවය ම අපේක්ෂාවෙන් කටයුතු කළ අයුරු සමන්ත පාසාදිකා අට්ඨ
කථාවේ විසිතුරු ලෙස විවරණය කර ඇත.
වරින්වර සමාජයේ පැන නගින අවශ්‍යතාවන් මගහැර
නොගොස් ධර්‍මවිනයානුකූල පරිදි ඒවාට බුද්ධිමත් ව මුහුණ දෙමින් තම විහාරස්ථාන සතු
සාංඝික දේපලත්, මහජන ශ්‍රද්ධාවත් ආරක්ෂා කර ගැනීම බුද්ධිමත් භික්ෂුවගේ වගකීම වන බවද
ඒ විවරණයෙහි සඳහන් ය. එදා එසේ පැවති යහපත් සමාජ වාතාවරණය අද වන විට බොහෝ සෙයින්
වෙනස් වී ඇති බව පැහැදිලි ය. ඒ වෙනසේ ප්‍රතිඵලය කටුක අත්දැකීම් මගින් අප සිත් සසල
කරවන අතර අයහපත් සමාජ වාතාවරණය දිනෙන් දින තවදුරටත් පරිහානියට යන දෙස බලාගෙන සුසුම්
හෙලන්නට සිදුවී ඇති බව ද සංවේගපූර්‍වකව සිහිපත් කළ යුතු ය. එදා එසේ පැවති බෞද්ධ
සංස්කෘතික අංග ලක්ෂණ සේම සමස්ත සමාජය ම සංතර්පනයකළ සාරධර්‍ම වත්මන් සමාජයෙන් ගිළිහී
යාමේ බරපතලම තර්ජනයට ගොදුරු වී සිටින්නේ අපේම තරුණ පරපුරයි. අනාගතයේ අපේ උරුමය
රකින්නට, රට ආරක්ෂා කරන්නට, අපේ සත් සිරිත් ලෝකයට ගෙනයන්නට සිටින තරුණ පිරිස ඒ හා
අදාළ සුදුසුකම් සපුරා සිටී ද යන්න, ඔවුන්ට ඒ වගකීම් පිළිබඳ අදහසක් අධිෂ්ඨානයක්
පවතීද යන්න, ප්‍රශ්නාවලියකට පමණක් සීමා වූ කරුණු බවට පත්වී තිබේ. අන්ධකාරයේ රිදී
රේඛා ද නැත්තේම නොවේ. අපට අවශ්‍ය කරන්නේ ඒ රිදි රේඛාවන්හි ආලෝකය වඩාත් වර්‍ධනය
කොටගෙන සමස්ත නභෝ ගර්භයේම අඳුර පහකර ලීම යි. වර්‍තමානයේ පන්සලත් සමග තරුණ පිරිස
බද්ධ කරලීමේ ප්‍රධානතම උත්සාහය නම් දහම් පාසල යි. ශ්‍රී ලංකාව තුළ පවත්නා මේ
සුවිශේෂී අධ්‍යාපන ඒකකය ලොව වෙනත් කිසිදු බෞද්ධ රටක දක්නට නොලැබෙන්නකි. තායිලන්තය,
මියැන්මාරය, කාම්බෝජය වැනි රටවල බෞද්ධ ජනතාවට දහම් පාසල් හඳුන්වාදෙන්නට ඒ ඒ
අවස්ථාවල ගන්නා ලද උත්සාහයන් ව්‍යර්ථව ගිය බව අපි දන්නා කරුණකි. ශ්‍රී ලංකාවේ දහම්
පාසල් ක්‍රමය ලෝකයට ම දිය හැකි ආදර්ශය කි. අද වන විට මිලියන දෙකහමාරක් පමණ සිසු
සිසුවියන් පිරිසක් දහම් පාසල මගින් පුහුණුව ලබති. එසේම පනස් දහසක පමණ ගුරු පිරිසක්
සේවේච්ඡාවෙන් දරුවනට මග පෙන්වති.
මෙහි ඇති වඩාත් ආකර්ශනීය තත්වය නම්, ඉහත
සංඛ්‍යාවෙන් සියයට අනූවක් පමණ ම තරුණ ගුරුවර ගුරුවරියන් වීම ය. ස්වකීය තාරුණ්‍යයේ
වටිනා ශ්‍රම සම්පත ජාතියේ අමිල ධන නිධානය බඳු දරු පරපුරේ ආරක්ෂාව හා පැවැත්ම
වෙනුවෙන් පුද කරන වත්මන් ශ්‍රී ලංකාවේ තරුණ සොහොයුරු සොහොයුරියන් වෙත සදාචාරය
ගරුකරන සියලු සාධූන්ගේ ගෞරවෝපාහාරය හිමිවිය යුතු ය. එසේ වූයේ වී නමුදු මේ යුගයේ
තරුණ තරුණියන් අතර බරපතළ ආකාරයේ අවනතියක් දක්නට ඇති බව ද පිළිගත යුතු සත්‍යයකි.
වත්මන් තරුණ පරපුර තුළ සදාචාර පරිහානිය ඇති කරන ප්‍රධාන මාධ්‍යය වී ඇත්තේ වත්මන්
අධ්‍යාපන රටාවයි. ඒ බව සඳහන් කිරීම ගැන කිසිවෙකුත් උරණ නොවිය යුතු අතර සිදු කළ
යුතුව පවත්නේ ඒ වාක්‍යයේ සත්‍ය අසත්‍ය භාවය සාවධානව විමසා බැලීමයි. අද පාසල්
අධ්‍යාපනය මගින් කරන්නේ විෂය ඤාණය තැන්පත් කිරිම යි. එසේ කිරිමේදී ද රජයේ පාසැල
දුබලයැයි, අකාර්යක්ෂමයැයි, අක්‍රමවත්යැයි, ඌන යැයි කියන ඒ සමහර පාසල් ගුරුවරුම සිය
සිසු පිරිස පෞද්ගලික පන්තිවලට බලහත්කාරයෙන් දක්කනු ලබති. මේ වදෙන් පොරෙන් දෙන
අධ්‍යාපනය මගින් සිසුවා තුළ සාරධර්‍ම නොවැඩෙන බවත්, ඔවුන් වඩ වඩාත් දුරාචාරයට
පෙළඹෙන බවත්, සමාජ සම්බන්ධතා නැති ගුණධර්‍ම නැති උගතුන් පිරිසක් පමණක් අනාගතයට
හිමිවන බවත් දැන් නොවැටහී තිබෙන්නේ කාට ද? සත්‍යවශයෙන් ඒ බව දැන දැනත් වැඩිහිටි
පිරිස ඒ පාප කර්‍මයේ යළි යළිත් යෙදෙන බව නම් පැහැදිලි ය. අපේ සම්භාවිත වූ පෙරදිග
අධ්‍යාපන දර්ශනය වූයේ “විද්‍යා දදාති විනයං - විනයාද්‍යාති පාත්‍රතාම්” යන
පණ්ඩිතෝපදේශය යි. ඒ අනුව විද්‍යාව හෙවත් දැනුමත්, විනය හෙවත් හික්මීම පාදක කොටගත්
චරිතාකල්පයනුත් සිසුවා තුළ වර්‍ධනය කිරීම අධ්‍යාපනයේ ප්‍රධානතම අරමුණු විය. ඒ යටතේ
බිහිකළ දරුවන් තරුණ වියේදී තම චරිත ශූද්ධිය මනාලෙස රැකගෙන රටත් දැයත් සමයත් රැක්ක
ආකාරයේ අනභිබවනීය ඉතිහාස කථාවයි, මහාවංශය ආදී ග්‍රන්ථයන්හි ලියැවි තිබෙනුයේ. අපේ
තරුණ පිරිස යළි සම්මා ආජීවයට පත්කරලීම සඳහා පන්සල වෙතින් ම මහා කාර්ය භාරයක් ඉටුකළ
යුතුව ඇත. එහිලා දහම් පාසලම ප්‍රමුඛ විය යුතු ය.
බෞද්ධ දරුවන්ට දහම් අධ්‍යාපනය අනිවාර්ය විය යුතු පරිදි නීති සම්පාදනය කරන්නට රජයේ
වගකිව යුතු පින්වතුන් පොළඹවාගත යුතුව ඇත. දිවයින පුරා පවත්නා විසිදහසක් පමණ වූ
විහාරස්ථාන මෙහිලා සජීවීකරණය කළ යුතුවා මෙන් ම අදාළ පහසුකම් සපුරාලීම සඳහා
ක්‍රමවේදයක් සහිත වැඩසටහනක් අනුගමනය විය යුතු ය. සෑම දහම් පාසලක් ම පන්සල ඇසුරේම
පන්සල තුළම පවත්වාගෙන යාමත් එහි ඉගැන්වීම් පමණක් නොව ආරම්භක ආගමික වතාවත් ද
භික්ෂූන් වහන්සේ නමක විසින් ම සිදුකරලීමත් මහත් ඵලදායක වන බව ද සිතුවමනා ය.
ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩල මගින් පවත්වන අන්තර් දහම් පාඨශාලා තරග දූ දරුවන්
තුළ අධාර්මික හැඟීම් වර්‍ධනය වීමට ප්‍රධාන හේතුවක් බවට පත්වී ඇති අයුරු ලජ්ජාවෙන්
හා සංවේගයෙන් සිහිපත් කළ යුතුව ඇත. තරඟකාරීත්වය, වෛරය, තරහ ආදී අත්තුක්කංසන පරවම්භන
කෙලෙස් වර්‍ධනයට එය හේතුවන හැටිත් අනාගත තරුණ ජීවිත එමගින් ආගම දහමෙන් බැහැර වන
හැටිත් සකාරණව දැනගෙන ඒ සඳහා පිළියම් යෙදීමට වහ වහා පියවර ගන්නේ මැනැවැයි මෙහිලා
කරුණාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කළ යුතුව ඇත. මේ යුගයේ පවත්නා දියුණු යැයි සම්මත
මාධ්‍ය සමාගම්වල ඉතාම පහසු ගොදුර බවට පත්වී තිබෙන්නේ තරුණ පිරිස යි.
අන්තර්ජාලය ඇසුරෙන් වඩාත් සිදුවන්නේ දුරාචාරය වැපිරීම යි. මේවා වැළැක්විය නොහැකි
තරමට ම ජනජීවිතයට අනුබද්ධව පවතියි. අප විසින් කළයුත්තේ ඒ බව, ඒ යථාර්ථය තරුණ පිරිසට
අවබෝධ කරලීමයි. දහම් පාසල මෙහිලා යොදාගත හැකි ප්‍රධානම අවස්ථාව වන්නේ ය. අදට වසර
දෙදහස් තුන්සියයකට පමණ පෙර සිදුවූ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම මගින් සිදුවූ
අමිල මහජන මෙහෙවර ඉදිරි සියවස් සඳහා පවත්වාගෙන යාමේදී වත්මන් තරුණ පරපුර
බලාපොරොත්තු තැබිය හැකි එකම බලවේගය වන්නේය, යන්න අවිවාදාපන්න නිගමනයකි. මේ බලශක්තිය
ක්‍රමානුකුල ලෙස කළමණාකරණය කිරීම සඳහා සෑම බෞද්ධ සංවිධානයක්ම, විහාරස්ථානයක්ම පමණක්
නොව බලධාරී පැවිදි ගිහි නායකත්වය ද ඉක්මනින් ම පියවර ගත යුතුව ඇත. තාරුණ්‍යයේ
ස්වභාවය ආවේගශීලී වීමයි. ආවේග බහුල අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට තරුණ පිරිස
නිරායාසයෙන්ම ගොදුරු වන්නේ ඒ නිසයි.
අයි.එස්.අයි.එස් වැනි උමතු ආගමික ත්‍රස්ත සංවිධාන එයට කදිම නිදසුනකි. අප රටේ 1971
දී ද 1989 දී ද අත්දුටුවේ ද එයම යි. 'දීඝං පස්ස මා රස්සං' යම් තීරණයක් ගැනීමේදී ළඟ
පමණක් බලන්න එපා, දුරදිග බලන්න යන බෞද්ධෝපදේශය පසෙක ලා ළඟ ළඟ පවතිනවා ය යන
සෞභාග්‍යමත් රාජ්‍යය උදෙසා බුද්ධි විරහිතව අන්ධානුකරණයෙන් ක්‍රියා කිරීම නිසා දහස්
ගණනක් තරුණ ජීවිත විනාශ වූ අයුරු සිහිපත් කරන්නේ දැඩි සංවේගයෙන් යුතුව ය. ඒ ව්‍යසනය
එදාට පමණක් සීමා වූවක් නොවේ.
අද ද ඒ බලවේග විවිධ වෙස් වලාගෙන තරුණ පිරිස ආකර්ශනය කරන්නට දරන කපටි ප්‍රයත්නයන් අප
දකිමු. එනිසා, මිහිඳු මාහිමි උරුමය රකින්නට අපේ පින්වත් තරුණ පිරිස බුදු දහම මුල්
කරගෙන නැණනුවණින් යුතුව ක්‍රියා කරන්නට මේ පොසොන් පෝදා අධිෂ්ඨාන කරගන්නේ නම් මැනවි.
|