වෙසක් අමාවක 2017.05.25
හදවතේ තෙතමනයක් නොවූ තැන...
ලෝ වැසි සියල්ලෝ ජීවිතයට පි‍්‍රය ය. මරණයට බිය ය. හිංසාවට, පීඩාවට නො කැමැති ය.
මිනිසුන් පමණක් නොවේ. ඒ සියලු සත්ත්වයන්ටම පොදු ධර්මතාවකි. විෂ ඝෝර සර්පයෙක් වුව
කෙනෙකුට දෂ්ට කරන්නේ ජීවිතයට අනතුරක් බවට ඉව වැටුණේ නම් ය. සිය විෂ දළ නිසා මිය
යන්නේ අහිංසක මිනිසෙක් බව හෝ, දරුවන් ජීවත් කරවන්නට බත සොයන තාත්තා කෙනෙක්, අම්මා
කෙනෙක් බව හෝ වෙන යම් කවරෙකුද හෝ යැයි සිතන්නට ඒ සත්වයාට උසස් මනසක් නැත.
මිනිසා සියලු සත්ත්වයන් අතර උසස් වන්නේ විඤ්ඤාණයක් ඇති නිසා ය. සිතා බලා යමක්
කරන්නට, කියන්නට ඇති අපූර්වතම හැකියාව නිසා ය. එහෙත් සිතන්නට උසස් සිතක් නැති සතුන්
පවා ඉක්මවා ගිය පහත් හැසිරීම් ඇති මිනිස් වෙස් ගත්තෝ ද වෙති. දුර්ලභව ලැබූ මිනිස්කම
ඉක්මවමින් ජන වහරේ එන ලෙස අහස පොළොව නුහුලන අපරාධ කරන අශීලාචාර පුද්ගලයෝ ද වෙති.
මේ කියන්නට යන්නේ ද එවැනි අවස්ථාවක් ගැනය. කියවා අනේ! අපොයි! කියන්නට නොව අපගේ බාල
පරපුරට එවැනි ආදර්ශ දකින්නට, ඇසෙන්නට සැලසීමෙන් වැළැකීමටය. තෙතමනයක් ඇති, හදවතක්
හිමි පරපුරක් අනාගතයට බිහි කර දෙන්නට ඇවැසි පරිසරයක් සකසනු පිණිස වැඩිහිටියන් අවදි
කරනු පිණිස ය.
මේ මීට දින කිහිපයකට පෙර වූ සිදුවීමකි. ගව හිමියකු විසින් රැයේ ගාල්කරවනු ලැබූ ගව
පට්ටියේ වසු පැටවකු ද විය. මාංශ රසයට ආශාවෙන් විකල් වූ සිහි ඇති මිනිස් වෙස්ගත්
අමනුෂ්‍යයෙක් එදා රාත්‍රියේ ගව ගාලට යන්නේ වසු පැටවා වේදනාවෙන් හඬද්දී ම ඌගේ එක්
ඝාතයකින් මාංශ කොටසක් කපාගෙන ගියේ ය. රෑ එළිවෙන තුරුත් පැටියා හැඬුවේ ය. පැටියා ගේ
අම්මා ද හැඬුවේ ය. පසුදා ගව ගාලට ගිය ගව හිමියාට දකින්නට ලැබුණේ ලේ විලක් මැද
කෙඳිරිලි නගන වසු පැටවා ය. සිත උපන් සැකයෙන් අදාළ නිවෙස වෙත යන විටත් ලිප මත මාංශ
වෑංජනය සැකසෙමින් තිබුණි. ඒ පුද්ගලයා, වරද පිළිගත්තේ බියෙන් ගැහෙමිනි.
මෙතරම් සාහසික අපරාධ කරන්නට තරම් මිනිසුන්ගේ හදවත වියළුණේ කෙලෙසද? යාන්තමින් හෝ අර
අහිංසක සතාගේ වේදනාවට, හැඬීමට ඇහුම්කන් දෙන්නට හැකියාවක් තිබුණා නම් ඔහු මෙලෙස
හැසිරෙන්නේ නැත. ඇතැම් විට යම් මත්ද්‍රව්‍යයක් නිසා ඔහුගේ සිතිවිලි විපරීත වන්නට
ඇත. මිනිස්කමට එහා ගියා නොමිනිස් ගති මතු වන්නට ඇත. එසේත් නැති නම් කුඩා කල ජීවත්
වූ පරිසරයෙන් ලැබූ ආදර්ශයන්හි වරද වන්නට ඇත. එක්කෝ අයහපත් මිතුරු ඇසුර වන්නට ඇත. මේ
එක් නිදර්ශනයක් පමණි. මෙවන් අසංවර, මිනිස්කමට නොගැළපෙන බොහෝ දේ සමාජයේ කොතෙකුත්
සිදුවේ. ඒවායින් අසරණ වන්නෝ, පීඩා විඳින්නෝ ද බොහෝ ය.
හැඟීම් පාලනය කර ගන්නට, හොඳ නරක අනුව හැසිරීම් හසුරුවා ගන්නට ඇතැම් මිනිසුන්ට මේ
තරම් අසීරු වන්නේ රස තෘෂ්ණාවේ වහලුන් බවට පත්ව ඇති නිසාය. ඇස, කන, නාසය, දිව,
ශරීරයෙන් උකහා ගන්නා අරමුණු පසු පස සැප යැයි සිතා හඹා යාම නිසාය. එහි පාලනයක් ඇති
කරන්නට හොඳම කාලය ළමා කාලය වන්නේ ය. දහම් අධ්‍යාපනයෙන් නොසෑහී ගේ දොර පරිසරයද ඒ
අනුව හැසිරවීමෙන් මිනිස් දරුවාගේ හැසිරීම්වල පාලනයක් ඇති කරගත හැකි ය.
වැඩිහිටියන් වූ පසු මිනිසුන් ශීලාචාරකම්වලට පුරුදු කරවීම, අනුන් ගැන සිතන්නට හුරු
කරවීම අසීරුය. පුරුදු පහසුවෙන් වෙනස් කළ නොහැකිය. හැදිය යුතු වන්නේ කුඩා කලදී මය.
ඉහත දැක්වූ ලෙස වරද කළ පුද්ගලයාට හොඳ ආදර්ශයක් නොලැබෙන්නට ඇත. වරදක් කළ පසු එය
නිවැරැදි කරවන්නට කෙනෙක් නොසිටින්නට ඇත.
මිනිසුන් බොහෝ විට වැරැදිවලට යොමු වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අවුල් වූ මනසිනි.
හොඳ නරක, කළ යුතු නොකළ යුතු දේ ගැන, ඉන්න හිටින තැන තබා අම්මා, තාත්තා ගැන හෝ එවිට
අවබෝධයක් නැත.
මෙවැනි සිදුවීම් අපට අනතුරක් හඟවයි. ඒ, අපේ ළමා පරපුර ගැනය. විවිධාකාර මත්ද්‍රව්‍ය
ජාවාරම්කරුවන් අපේ ළමයින් බිලි ගන්නට බලා සිටී. ඔවුන්ගේ අනාගත ආයෝජකයන් බවට පත්කර
ගන්නට බලා සිටී. මතට ඇබ්බැහි වූයේ නම් ඉන් ගලවා ගැනීම ව්‍යාජයකි. එවැනි කෙනෙකුගේ
අතින් පෙර කී ලෙස අහස පොළව උහුලන්නේ නැති අපරාධ සිදුවීම ද වැළැක්විය නොහැකි ය. මේ
නිසා වැඩිහිටියන් හොඳ අවධානයකින් දරුවන් ආරක්ෂා කරගත යුතු ය. ගුණ දහමින් ඔවුන්ගේ
හදවත් පෝෂණය කළ යුතු ය. එවිට ඔවුන් මිනිසුන් ගැන සේ ම ගහ කොළ, සතා සිවුපාවුන් ගැන ද
සංවේදී සිතැත්තෝ වනු ඇත.
|