UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉපැරැණි සංඝාවාසයේ කෞතුකාගාරය විවෘත කෙරෙන පානදුර ගොරකාන පුරාණ කන්දේ විහාරස්ථානය

ඉපැරැණි සංඝාවාසයේ කෞතුකාගාරය විවෘත කෙරෙන පානදුර ගොරකාන පුරාණ කන්දේ විහාරස්ථානය

මෙම මස 21 දින ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ගොරකාන දකුණ ග්‍රාමසේවා වසමේ පිහිටි පුරාණ කන්දේ විහාරය කොළඹ, ගාල්ල (පරණ) පාරේ ගොරකාන ගල්කණුව හන්දියේ සිට කිලෝමීටර් 1 ක් නැගෙනහිරින් පිහිටා ඇති අතර කළු ගං කොමළියගේ ශාඛාවක් වූ බොල්ගොඩ ගං කොමළිය විහාරස්ථ රමණීය කඳු ශිකරයට මායිම්ව ගලා බසී. විහාරස්ථ කඳු ශිකර ඉහළ මළුව වෙතට පියමනින ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි බොල්ගොඩ ගං කොමළිය විහාරස්ථානයට ගෙන එන්නේ ජල වාෂ්ප සහිත රමණීය පරිසරයකි. මේ වෑයම, පුරා වසර 300 ක පුරාණ කන්දේ විහාරස්ථානය වටා ගෙතුණු කතා ප්‍රවෘත්තීන්, ඉතිහාස ගත තොරතුරුවලින් බිඳක් ගෙතීමටය. තවත් දින කිහිපයකින් එනම් පෙබරවාරි මස 21 දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වාද්දූව සඟ පරපුරේ තොරතුරු මධ්‍යස්ථානය හෙවත් කෞතුකාගාරය විවෘත කිරීමේ ඓතිහාසික මහෝත්සවය සිදු කිරීමට නියමිතය. මේ ඒ වෙනුවෙන් සැකසුණු ලිපියකි.

ජනප්‍රවාදයට අනුව විහාරස්ථානයක් වීමට පෙර මෙම ස්ථානය ප්‍රභූ නිවාසයකි. ලිඛිත මූලාශ්‍රවලට අනුව වසර 300 ක පමණ ඉතිහාසයක් විහාරස්ථානය සතුව පවතින බවට සාධක ඇත. එනම් පිළිම ගෘහයේ ගල් උළුවස්සේ සඳහන් ‘සුගතාබිදම් ධීගගෝත්‍රමම් ගොරකාන කන්දෙ විහාරය’ යන කටපයාදි අක්ෂරයන්ට අනුව 1796 කරවන ලද ශත වර්ෂ 307 ක් පැරණි විහාරයකි. පොහොය ගෙය වටා තිබෙන සීමා කණුවක ‘සුගතා බිදම් දූ දීගොතතම් මකර රවි නුජගා ගබුද දින’ පාඨයට අනුව 1845 දී නිම කරන ලදුව වසර 258 ක් පැරණි බව පෙනේ. එසේම ගොරකාන ගල් කණුවට අනුව 1848 මැයි 18 වන දින උපාසිකාවකගේ පරලෝක ප්‍රාප්තිය වෙනුවෙන් විහාරයට කරන ලද ප්‍රදානයට වසර 255 ක් පමණ බව පෙනේ.

මීට අමතරව පිළිම ගෘහයේ මූර්ති සහ චිත්‍රත් පොහොය ගෙයි හා ආවාසගෙයි මූර්ති සහ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සැලකීමේ දී ද වසර 300 කට ආසන්න ඉතිහාසයක් විහාරස්ථානය සතුව පවතින බව පැහැදිලි වේ. එසේම වාහල්කඩ, ධර්ම ශාලාව, ආවාස ගෙය, චෛත්‍යය, කැසිකිලිගල සහිත ගෘහය මෙන්ම පැල්ලැක්කිය (දෝලාව), ධර්මාසන යුගල ආදියෙන් ද පෙනී යන්නේ විහාරස්ථානයේ ඓතිහාසිකත්වයයි.

මහනුවර යුගයට අයත් මෙම විහාර මන්දිරය ගර්භ ගෘහයකින් හා අන්තරාලයකින් සමන්විතය. පිළිම ගෘහයේ දකුණු බිත්තිය මධ්‍යයේ ප්‍රධාන පිවිසුම සඳහා චන්ද්‍රවංක උඩපලිපතක් සහිත ශෛලමය උළුවස්සකි. එය බොරදම් සහ පලාපෙති මෝස්තරවලින් අලංකාර කර ඇත. යටලිපත සඳහා ශිලාවක් යොදාගෙන තිබේ. දොරටුව දෙපස සිංහ රූප යුගලයක් සහ ඊට ඉහළින් කිධිහි මුහුණක් සහිත මකර තොරණකි. එහි දෙපස ත්‍රිත්ව දේව රූප යුගලක් ද අර්ධ උන්නතව නිමවා ඇත. පසුකාලීනව බටහිර දිශාවට එක්කරන ලද කොටසක දේවාලයක් පවත්වාගෙන ගොස් ඇත.

පිළිම ගෙය තුළ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින සිරස්පත සහිත බුද්ධ ප්‍රතිමාවක් ද දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් සහ දේව ප්‍රතිමාවකින් යුක්තය. මෙහි දක්නට ඇති සිතුවම් අතර රහත් රූප, චෛත්‍යයක සිතුවමක්, සිවිලිමෙහි ඇඳි නෙළුම් මල් හා පලාපෙති මෝස්තර මහනුවර සිතුවම් ශෛලියෙන් යුක්තය. විෂ්ණු දේව මූර්තිය ප්‍රධානව නිර්මාණය කර ඇති දේවාල ගොඩනැගිල්ල තුළ සිතුවම් ලෙස ගණදෙවි, ඊශ්වර, සමන්, කතරගම, දැඩිමුණ්ඩ ආදී දේව රූප ද මහනුවර යුගයේ සිතුවම් ශෛලියෙන් යුක්තය.

මෙම පින් බිමේ ආරම්භක සංඝ නේතෘවරයා වන්නේ වාද්දුවේ ධම්මානන්දාභිධාන කොළඹ පළාතේ සංඝ නායක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ දක්ෂ ධර්ම කථිකයෙකි. ලන්දේසීන්ගේ අවසාන භාගයේ දී මෙම විහාරස්ථානය ආරම්භ කර ඇත. දැනට විහාරස්ථානයේ පවතින අප්‍රකට ලිපි ලේඛන විමසීමේදී එදා සමාජයේ සිටි සම්භාවනීය හිමිවරු ඉතා ගෞරවයෙන් මෙහි වැඩ සිටි ධම්මානන්ද නා හිමිට සැලකූ බව පෙනෙයි. වාද්දූව ශ්‍රී ධම්මානන්ද නා හිමියන් ධර්ම දේශනා සඳහා වැඩම කළ දෝලාවක් මෙහි දක්නට ලැබේ. දිනපතා නා හිමියන් රැගෙන යාම සඳහා මිනිසුන් විහාරස්ථානයට රැස්වෙන බව විහාරස්ථානයෙන් හමුවන තොරතුරුවලින් සනාථ වේ. මේ අනුව මුන් වහන්සේ සිදු කළ ධර්ම දේශනා ඇසූ බොහෝ මිනිසුන් මෙම නා හිමියන්ට විවිධ ප්‍රදේශවල ඉඩකඩම් පූජා කර ඇත. ඒ තුළ විහාරස්ථාන 38 ක් ආරම්භ කිරීම මෙන්ම වාද්දූව සඟ පරපුර බිහිවීම මෙහි ලා විශේෂ කාර්යයකි.

අද වන විට මෙම ඓතිහාසික පුණ්‍ය භූමිය බොහෝ සේවාවක් සපයන දර්ශනීය විහාරස්ථානයක් බවට පත් කොට ඇත. ඓතිහාසික පුරාණ කන්දේ විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති පානදුර උතුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, විශ්‍රාමලත් සාරධර්ම ගුරු උපදේශක හා විදුහල්පති රයිගම් හේවාගම් පස්යොදුන් තුන්කෝරළයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති නාහිමියන් අතට පත්වන විට විහාරස්ථානය පැවතියේ ඉතා ගර්හිත තත්ත්වයේ ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නේත්‍රා පාදවමින් නා හිමියෝ ගරා වැටුණු විහාර මන්දිරය, පැරණි සංඝාවාසය, පොහොය සීමාව පුනරුත්ථාපනය කරන ලදී.

මේ වන විට පැරණි සංඝාවාසය කෞතුකාගාරයක් බවට පත් කොට ඇත. නා හිමියන්ට හමු වූ සියලු කෞතුක භාණ්ඩ එහි තැන්පත් කරමින් වසර 300ක ඉතිහාසයක් වටිනා පුරාවිද්‍යාත්මක සාධක මෙහි ඇත. මෙසේ නිර්මාණය කරන ලද කෞතුකාගාරය 2017 පෙබරවාරි මස 21 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් විවෘත කිරීමට නියමිතව ඇත. තවද එදිනට සියම් මහා නිකායේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමි, කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි ප්‍රමුඛ ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වේ. මෙම විහාර පරපුරේ ආදි කර්තෘ වාද්දුවේ ධම්මානන්දාභිධාන කොළඹ පළාතේ සංඝනායක නා හිමිගේ පිළිරුව නිරාවරණය කිරීමද සිදුවේ.

කළුතර දිස්ත්‍රික්කයේ රජමහා විහාර හැරුණු කොට පැරණිතම විහාරස්ථානය මෙම විහාරය වන අතරම පානදුර බෞද්ධ පුරවරයට නන් දෙසින් පැමිණෙන සැමට නැරඹීමට ඇති එකම ඓතිහාසික විහාරස්ථානය වේ. විහාරස්ථානයේ අඳුරු කාල පරිච්ඡේදයක නිමාව දකිමින් සම්බුද්ධාලෝකය දස දෙස පතුරවනු වස් තවත් අමරණීය ඓතිහාසික සිද්ධස්ථානයක් සුරක්ෂිත කිරීම සඳහා අපි වෙහෙස වන්නෙමු. එම වෙහෙසේ ප්‍රතිඵල දකින්නට නන් දෙසින් පානදුර බෞද්ධ පුරවරයට පිය මනින ඔබ සැමට කාරුණිකව ආරාධනය කරමු.

 

නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 18 වනදා සෙනසුරාදා අපරභාග 11.48 ට ලබයි. 19 වනදා ඉරිදා අපරභාග 2.18 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 18 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 26 වනදා ඉරිදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 18

Full Moonඅමාවක

පෙබරවාරි 26

First Quarterපුර අටවක

මාර්තු 05

Full Moonපසෙලාස්වක

මාර්තු 12


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]