දරුවන්ගේ ජීවිතයට
වටිනාකමක්...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අත්තනායක එම්.හේරත්
ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ තමන් ගැන මෙන්ම අනුන් ගැනද බලන ප්‍රමාණය අනුවය. අනුන්
ගැන වැඩියෙන් බැලුවොත් වීරයෙක් බවට පත්වේ.
පුරන්අප්පු, කැප්පෙටිපොළ, ගොංගාලේගොඩ බණ්ඩා වැනි චරිත වීර චරිත බවට පත්වුණේ ඒ
නිසාය. කාලය, ශ්‍රමය කැප කිරීමෙන් නොනැවතී රටත්,ජාතියත් වෙනුවෙන් දිවි පරදුවට
තබමින් කටයුතු කළ නිසාය. මුලින් කී ලෙස අනුන් ගැන වැඩියෙන් බැලූ නිසාය. අතීතයේ
එවැනි වීර චරිත දුලබ නොවීය. තමන් ගැන සිතන, තමන්ගේ පවුලේ හතර පස් දෙනා ගැන පමණක්
සිතන අය අද සුලබය. බිරිඳට, දුවට ,පුතාට හොඳින් සැලකීම, බැලීම ඉතා අගනේය. නිසැකයෙන්ම
විය යුතුද වන්නේය. එහෙත් පවුලට පමණක් සීමා වූ ආත්මාර්ථකාමී සැලකීම යහපත සැලසීම
නොවටනේය. එවැන්නාට වටිනාකමක් ලැබෙන්නේ පවුලෙන් පමණි. සමාජයෙන් නොවේ. එහි දී ඔහු
තනිවූ පුද්ගලයෙකි.
පවුල යනු සමාජයේ කුඩාම ඒකකයක් පමණි. කෙනෙකුට පවුලට කොටු වී සීමා වී ජීවත්වීමට
නොහැකිය. සමාජ සම්බන්ධතා ගොඩනඟා ගත යුතුය. දම්වැල් පුරුක් සේ සමාජ සාමාජිකයන්
ඔවුනොවුන් හා එකට බැඳී සිටින බැවිනි. ඒ බැඳීම අර්ථවත් වන්නට අන්‍යෝන්‍ය විශ්වාසය,
උදවු උපකාර එකමුතුකම ඇවැසිය. එවැනි සමාජ සම්බන්ධයක් ඇති කරගන්නට ඇවැසි මූලාරම්භය
දිය යුතු වන්නේ ද පවුලෙනි. කුඩා දරුවෙක් යහළු යෙහෙළියන්ගෙන්
ඈත් කොට ,කෙළි
සෙල්ලම්වලින් දුරස් කොට තබනවා නම් ඒ දරුවාගේ ජීවිතය සම්පූර්ණ වන්නේ නැත. දරුවාට
සමාජගත වෙන්නට ඉඩ දිය යුතුය. එසේ නොමැතිව මිතුරු මිතුරියන් සමඟ සියලු සම්බන්ධකම්
අත්හැර දරුවාට පෝෂණය, අධ්‍යාපනය පමණක් ලබා දීමට බලාපොරොත්තු වීම ඵල රහිතය. එතැනින්
නිමැවෙන්නේ ගොරහැඬි මිනිසෙකි. බෙදා හදා ගන්නට දන්නේ නැති, අසංවේදී මිනිසෙකි. මේ
සමාජයෙන් දැන් ටිකෙන් ටික දුරස්වන්නේද සංවේදී මිනිසුන්ය. අසරණයකුට දිය පොදක් පමණවත්
දෙන්නට, වයෝවෘද්ධ අම්මට, තාත්තට රැකවරණයක් දෙන්නට, අනුන් ගැන මද පමණවත් සිතන්නට ඒ
අසංවේදි සිත් නොනැමෙන්නේය. කුඩා වියේදී මිනිසුන් සමඟ ජීවත්වන සැටි ඉගෙන නොතිබීම ඊට
හේතුවය. ඒ වරද නිවැරැදි කර ගත යුතුව තිබේ.
කෙනෙකුගේ ජීවිතයට රසාලිප්ත බවක් ගෙන එන්නට මෙන්ම ජීවිතය නිවැරැදිව හසුරුවන්නටද
යහපත් මිතුරෙකුට ඇති ශක්තිය සුවිශේෂීය. ආනන්ද හිමියන් විසින් එක් අවස්ථාවක
බුදුරජාණන් වහන්සේගෙන් විමසනු ලැබ සිටියේ සම්බුද්ධ ශාසනයේ හරි අඩක්ම සුරැකී
තිබෙන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරින් ද යන බවය. ඒ අවස්ථාවේ බුදු හිමියන් පෙන්වා දුන්නේ
හරි අඩක් නොව සම්බුද්ධ ශාසනයම සුරැකී තිබෙන්නේ කල්‍යාණ මිත්‍රයින් නිසාවන බවය.
කල්‍යාණ මිතුරන් ඇසුරු කිරීමේ වටිනාකම මොනතරම් ද යන්න එයින් පැහැදිලිය.
ජීවිතයක් වෙනස් කරන්නට ඇසුර මොන තරම් බලපානවාද යන්න අපූර්ව ලෙස විවරණය කැරෙන කතා
පුවතකි ජාතක පොතේ එන අභිණ්හ ජාතකය.
සැවැත් නුවර විසූ උපාසකයෙක් සහ භික්ෂූන් වහන්සේ නමක් අතර වූ විශ්වාසවන්ත මිතුරුකමක්
අරභයා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබු අතීත කතා පුවත දිග හැරෙන්නේ
බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජුගේ මඟුල් ඇතු සහ සුනඛයෙක් අතර වු දැඩි මිතුරුකමක්
පිළිබඳවය. මේ දෙදෙනා අතර වූයේද විශ්වාසවන්ත මිතුරුකමකි. ඇතුට ලැබෙන භෝජනයෙන්ම
කොටසක් සුනඛයාටද ලැබේ. නින්දට යන්නේද උනුන් සමීපයේය. විවේකයේදී සුනඛයා සොඬින් ගෙන
ඔබ මොබ ගෙනයමින් කෙළිසෙල්ලමෙහි යෙදේ. සතුටු වේ. කාලයක්ම උනුන් දැඩි මිතුරු බවකින්
ජීවත් වේ.
දිනක් පිටිසර වැසියෙක් මේ සුනඛයා දැක ආශා වී ඇත්ගොව්වාගේ අවසරයෙන් ඌ රැගෙන යයි.
යහළුවා දකින්නට, ඇසුරට නැති සොවින්, සාංකාවෙන් පෙළෙන ඇතු දිනෙන් දින රෝගී බවක්ම
පෙන්වයි. ආහාර නොගනියි. දිය බිඳකුදු නොබොයි. බලාගත් අත බලා සිටියි.
රජුගේ ඉල්ලීමෙන් හස්තියා පරීක්ෂා කර බැලූ බෝසතාණන් වහන්සේ ඇතුට කිසිදු රෝගයක්
නොමැති බවත්, දුකේදීත් සැපේදීත් හැර නොගිය විශ්වාසවන්ත මිතුරු සුනඛයකු නැතිවීමේ
ශෝකයෙන් මෙලෙස නොකා නොබී සිටින බවත් පෙන්වා දෙයි. නැවත ඒ මිතුරු ඇසුර ලැබෙන්නේ නම්
හස්තියා සුවපත් වන බවද පවසයි.
ඉන්පසු රාජාඥා අසා, සුනඛයා ගෙන ගිය පිටිසර වැසියා ඌ මුදා හරී. වේගයෙන් දිව ආ සුනඛයා
හස්තියා සමීපයෙහිම නතර වෙයි. මහත් සතුටට පත් ඇතු සුනඛයා සොඬින් ගෙන කුම්භස්ථලයෙහි
හිඳුවා ස්නේහය දක්වයි. ආහාර අනුභව කරන්නට දෙයි. පසුව තමන්ද ආහාර ගනී. රෝගී බව මඟ
හැරෙයි.
මේ ළමයින්ට වගේම මවුපියන්ටද අගනා කියවීමකි. අනුන්ගේ මිතුරුකම් අගය කිරීමේ, පෝෂණය
කිරීමේ වටිනාකම පෙන්වා දෙන කතාවකි. අනෙක් අතට අහේතුකව යහපත් මිතුරුකම් බිඳ දැමීමෙන්
කෙනෙක් මානසික පීඩනයට ලක්වෙන ආකාරයද මෙහි අපූර්ව ලෙස විවරණය කරයි.
දරුවන් යහළුවන් නිසා සතුටින් සිටිනවා නම් ඒ සතුට උදුරා නොගත යුතුය. ඒ සතුට,
පී‍්‍රතිය තුළින් ඉගෙනීමට, දෛනික කටයුතුවලට යම් පෙළඹවීමක් ඇති කළ හැකිය. අවශ්‍ය
වන්නේ මවුපියන්ගේ නිසි අවධානයයි. සැබෑ මිතුරකු, කල්‍යාණ මිතුරකු ඇසුරට දරුවා යොමු
කිරීමයි. ඒ තෝරා ගැනීම දරුවාට හොඳ අනාගතයකට, යහපත් මානසිකත්වයකට දොරටු විවර කර
දෙයි. - රමණී සුබසිංහ |