මිතුරු උපදෙස් නැතිවීම දුප්පත් වීමට හේතුවක්
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශයේ
කථිකාචාර්ය,
දර්ශනපති
වවුනියාවේ පඤ්ඤාසේකර හිමි
දුගී කම සම්බන්ධව හා බුදු දහමින් ආර්ථිකය සම්බන්ධයෙන් දේශනා කර ඇති ධර්ම කරුණු
කිහිපයක් ගැන අප පසුගිය කලාපයෙන් කතා කළා. දුඟීකම තුරන්කිරීමට දීර්ඝකාලීන සාර්ථක
ක්‍රමවේදයන් හඳුන්වා දී නැති අතර එවැන්නක් හඳුන්වා දීමටද හැකියාවක් නොමැත. කළ හැකි
එකම ක්‍රියාදාමය වන්නේ අය වැය සමව පවත්වා ගෙන යාම පමණයි.
මෙහිදී විශේෂයෙන්ම බුදු දහමෙන් සරල හෙවත් අල්පේච්ඡ දිවි පෙවෙත හඳුන්වා දී තිබෙනවා.
මෙලොව ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය ආහාර පාන, ඇඳුම් පැලඳුම්, නිවාස, සහ ඖෂධ යන
මූලික අවශ්‍යතා පමණක්වත් සපුරාගත යුතු බව බුදුදහමින් පෙන්වා දී තිබෙනවා. එමෙන් ම
බුදුදහමෙන් විශේෂිතව පෙන්වා දෙන්නේ සාර්ථක ජිවිතයක් සඳහා යැපීම පමණක් නොව සුව
පහසුවද අවශ්‍ය බවයි. දැන් අපට ගැටලුවක් මතු වන්නේ මුදල් නොමැතිව සුවපහසුව කෙසේ සලසා
ගන්නේද යන්නයි. මෙහිදී සිහි තබා ගත යුත්තේ මී කුණක් විකුණා මහා ධනපතියකු වූ අයත්
බුද්ධ චරිතය හැදෑරීමේදී අපට හමුවන බවයි. එතරම් අතීතයට නොගියත් මෙරට පවා ඇතැම් ධනපති
ව්‍යපාරිකයන්ගේ දිවි පෙවෙත කුප්පි ලාම්පුවෙන්, ආරම්භ වී ඇති බව අසන්නට දකින්නට
ලැබෙනවා.
පුද්ගලයාගේ ආර්ථික, සමාජීය හා මානසික සංවර්ධනය ගොඩ නඟා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ,
බුදු දහමේ සූත්‍ර ගණනාවකින්ම පෙන්වා දී තිබෙනවා. බුදු දහමෙන් පෙන්වා දෙන්නේ දුගීකම
තුරන් කිරීමේ දී ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවයි. එය පැහැදිලි ආර්ථික විද්‍යා
තර්කයක්. ආර්ථිකය නංවා ගැනීමට කෘෂිකර්මය මෙන්ම වෙළෙඳාම ද ඉතා වැදගත්. එහෙත් වෙළෙඳාම
වුවද ධාර්මික ලෙසින් සිදු කළ යුතු බවයි බුදු රජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ. ඒ අනුව
වෙළෙඳාම් කිරීමේ දී නොකළ යුතු වෙළෙඳාම් කිහිපයක් ද පෙන්වා දී තිබෙනවා. ඒ වෙළෙඳාම්
ලෙසින් සත්ත වණිජ්ජා (වහලුන් හෝ සතුන් වෙළෙඳාම) සත්ථ වණිජ්ජා (සත්ව හිංසාව පිණිස වු
ආයුධ වෙළෙඳාම) විස වණිජ්ජා (ප්‍රාණහානියට හේතුවන විස වෙළෙඳාම) මංස වණිජ්ජා (මස්
වෙළෙඳාම) මජ්ජ වණිජ්ජා (මත්වතුර හා වෙනත් මත් ද්‍රව්‍ය වෙළෙඳාම) දක්වා තිබෙනවා.
මෙම වෙළෙඳාම් දෙස බැලීමේ දී අපට පැහැදිලි වන්නේ එම වෙළෙඳාම් මඟින් ඉතා පහසුවෙන්
මුදල් උපයා ගත හැකි බවයි. එසේම වැඩි ආදායමක්ද උපයා ගත හැකි බවයි. බුද්ධ දේශනාව
වන්නේ මිනිසුන්ගේ දුගීකම නැති කරගැනීමට පහසුවෙන් මුදල් හම්බකරගත හැකි වෙළෙඳාම්
වුවත් ඒවායින් මානව හා සත්ත්ව සමාජයට ඇතිවන විනාශය දුගීකමටත් වඩා භයානක බවයි.
බුදුරජාණන් වහන්සේ ධනය ලෙසින් සලකා ඇත්තේ භෞතික වටිනාකමින් යුත් දේ පමණක්ම නොවේ.
ශ්‍රද්ධා, ශීල, ලජ්ජා භය, ත්‍යාගය හා ප්‍රඥාව ආදි අධ්‍යාත්මික ගුණාංගයන්ද ඊට අයත්.
මේ ගුණාංගයන් වර්ධනය කරමින් ධාර්මික ධනෝපායන මාර්ගයන් අනුගමනය කරමින් ධනය උපයා
ගැනීම සෑම අතින්ම දුගීකම තුරන්කිරීමට හේතු වන බවත් බෞද්ධයන්ට ඒ හරහා මහත්ඵල
මහානිසංස ලබා ගත හැකි බවත් බුදු රජාණන් වහන්සේගේ දේශනාවයි.
ධනෝපායන මාර්ගයක් ලෙස වෙළෙඳාමේ යෙදෙන විට වංචනික ක්‍රියාවන් අනුගමනය කරමින් ධනය
උපයාගත හැකි බවත් එවන් ධනෝපායන මාර්ග අපායගාමී ධනෝපායන මාර්ග බවත් බුදු දහමේ
දැක්වෙනවා.
එවැනි වංචා කිහිපයක් බෞද්ධ සූත්‍ර ධර්මවල සඳහන් වන අතර ඒවා පිළිබඳ දීර්ඝ විස්තරයක්
දීඝ නිකායේ අටුවා ග්‍රන්ථ වන සුමංගල විලාසනියේ සඳහන් වනවා. ඒ අතර තුලාකූට හෙවත්
තරාදිය උපයෝගී කරගෙන සිදු කරනු ලබන චංවාවන් දැක්වෙනවා. ඒවා රූපකූට, අංගකූට, ගහණකූට,
පටිච්ඡන්නකූට ලෙසින් දක්වා තිබෙනවා.
කංසකූට හෙවත් මුදල් පිළිබඳ වංචාවන් දක්වා තිබෙනවා. ඒ අතර රත්තරන් වෙනුවට පිත්තල
විකිණිම, ලෝහ බඳුන් රන් ආලේප කර විකීණිම හා හොර මුදල් භාවිතය දක්වා තිබෙනවා.
මානනකූට හෙවත් මිනුම් කටයුතු පිළිබඳ වංචාවන් දක්වා තිබෙනවා. මෙයද ආකාර තුනකි. ඒවා
හදය භෙද, සිඛා භෙද, රජ්ජු භෙද ලෙසින් වර්ග කර තිබෙනවා.
‘උක්කොටන’ ලෙසින් හඳුන්වා ඇත්තේ අල්ලස් ගැනීම හා ඒ ඒ උපයන්නන්ගෙන් අනුන් වංචා
කිරීමයි. එසේම ‘නිකති’ හෙවත් රන් නොවන දේ රන් කොට හා මැණික් නොවන දේ මැණික් කොට
වංචා කිරීමත් දක්වා තිබෙනවා.
මෙවැනි අධාර්මික වෙළෙඳාම් ක්‍රම භාවිතයෙන් මුදල් උපයා ගන්නා මිනිසුන්ගේ මෙලොව හා
පරලොව දියුණුවක් රඳා නොපවතින බවත් ඔවුන්ගේ වස්තුව විනාශ වන බවත් බුද්ධ දේශනාවේ
සඳහන්
වෙළෙඳාමේ දක්ෂ ලෙස යෙදෙන වෙළෙන්දා චක්ඛුමල, විධුර හා නිස්සය සම්පන්න විය යුතු බව
බෞද්ධ ග්‍රන්ථයන්ගේ සඳහන්ව ඇත. චක්ඛුම යනු වෙළෙදපොළේ තත්ත්ව ගවේෂණය කර මිනිසුන්ට
අවශ්‍ය උපයෝගීතාවයෙන් යුත් භාණ්ඩ තක්සේරු කිරීමේ කෞශල්‍යයි. විධුර යනු දැනුම යොදවා
භාණ්ඩ මිලට ගැනීමේ හා විකිණිමේ දක්ෂතාවයි. නිස්සය සම්පන්නතාව යනු ආයෝජනය සඳහා
උපදෙස් දෙන මිතුරන් සිටින බවයි. වෙළඳාමේ යෙදෙන විට කාලය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා
වෙළඳාම් කටයුතුවල යෙදීම ධනවත්වීමට බෙහෙවින් උපකාරී වන බවත් මෙහිලා දැක්විය හැකිය.
කාලය නොසලකමින් තමන්ට හැකි උපරිම කාලයක් ඒ සඳහා මිඩංගු කරන්නාගේ දියුණුව සැලසෙන අතර
වෙළෙඳාමේ යෙදෙන විට සේවකයන් සම්බන්ධයෙන්ද සිගාලෝවාද සූත්‍රයේ සඳහන් පරිදි සේව්‍ය -
සේවක යුතුකම් මැනවින් ඉටු කර ගත යුතු බවද බුදු රජාණන් වහන්සේගේ දේශනාවයි.
විශේෂයෙන්ම සේවකයන් සම්බන්ධව නිතර අවධානයෙන් යුතුව කටයුතු කරන්නේ නම් සේවකයන්ද තම
ස්වාමියාගේ දියුණුව ප්‍රාර්ථනා කරනු ලබන බවද අප සිහි තබා ගත යුතු වෙනවා.
විශේෂයෙන්ම වැරැදි වෙළෙඳාම්හි යෙදුණහොත් සේවකයන්ද තම ස්වාමියාගේ සියලු වංචාවන් දැන
හැඳීනගෙන ඔවුන් විසින්ද එම ක්‍රියාවන් ස්වාමියාට හොරා සිදු කරන්නට හැකි උපරිම
උත්සාහයන් යොදනු ඇති.
ඒ අනුව අප සිත්හි තබා ගත යුත්තේ වැරැදි වෙළෙඳාම් ක්‍රමවලින් මිදී, නිවැරැදි
වෙළෙඳාම් ක්‍රම අනුගමනය කරමින් ධාර්මිකව මුදල් උපයා ගත යුතු බවයි. එසේ කටයුතු කරනු
ලබන පුද්ගලයාගේ මෙලොව හා පරලොව දියුණුව සැලසෙන අතර දෙලොවදීම ධනවතෙක් විය හැකි බව
තේරුම් ගත යුතුය.
- තාරක වික්‍රමසේකර |