UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 44 :   බුදුපිළිම නිර්මාණයට පෙර පුරාණ භාරත මූර්ති සංකේත

බුදුපිළිමයේ උපත - 44 :  

බුදුපිළිම නිර්මාණයට පෙර පුරාණ භාරත මූර්ති සංකේත

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

පළමුවෙන්ම පුරාණ භාරතය යන රට ගැන දැනගැනීම ඉතා වැදගත් වන්නේ ය. පුරාණ භාරතය හෙවත් “දඹදිව“ “ජම්බුද්වීපය” යන රටට මෙකල ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ නේපාලයද අයත් වී ඇත. විශේෂයෙන් මෙකල ඉන්දියාවේ සහ පකිස්ථානයේ ද නේපාලයේ ද බෞද්ධ පුදබිම් අයත් වන්නේ දඹදිව පුදබිම්වලටය.

මාරපරාජය සාංචි ස්තූප අංක 01 දකුණුපස තොරණ

මෙම රටවල් තුනම එක් රටක් ලෙසින් පැවතුනු යුගය ගැන අප සඳහන් කළේ බුදුපිළිම ප්‍රථමවරට නිර්මාණය වූයේ මෙකල පකිස්ථානයේ ගන්ධාර දේශයේ නිසාය. භාරතයේ බුදුපිළිම නිර්මාණය වූයේ එකල ජම්බුද්ධීපයේ මෙකල පකිස්ථානයේ වයඹ දිග ඉන්දියාවේ පුරුෂපුර හෙවත් පුෂ්කලාවති අගනුවර කර ගෙන රජ කළ කුෂාණ රාජවංශික කණිෂ්ක රාජ යුගයේදීය. එය ක්‍රිස්තු වර්ෂ 120 දී බව පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් විසින් පිළිගෙන ඇති කරුණකි.

කණිෂ්ක රාජයුගයේ දී ගන්ධාරයේ මෙන්ම ගංගා, යමුනා නදී තීරයෙහි ඇති ඉතා ප්‍රකට පුදබිමක් වූ මථුරා හි ද බුදුපිළිම නිර්මාණය වූ බව විද්වත්හු පෙන්වා දෙති. බෞද්ධ සාහිත්‍යයෙහි හා මහා වංසයේ තොරතුරු අනුව ඊට පෙරද බුදුපිළිම නිර්මාණය කර තිබූ බව සඳහන් කරතත්, ඒවා ලිඛිත සාක්ෂි මිස පුරාවිද්‍යානුකූලව ඔප්පු කළ නොහැකිය. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර ඇත. බෞද්ධ ප්‍රතිමාවේ මූල ධර්ම නමැති ග්‍රන්ථය ලියූ මේ විද්වතා මේ පිළිබඳ ශාස්ත්‍රීය කරුණු හෙළි කළේ ය.

එසේ නම් බුදුපිළිම නිර්මාණයට පෙර බුදුරජාණන් වහන්සේ සහ බුද්ධ චරිතයට අයත් සිදුහත් උපත, මහාභිනිෂ්ක්‍රමණය, බුදුවීම, ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීම හා මහා පරිනිර්වාණය සඳහා පුරාණ මූර්ති ශිල්පීන් යොදා ගන්නා ලද්දේ කුමන සංකේතද යන්න ගැන මෙකල ඉතා ප්‍රචලිතය. විශේෂයෙන්ම ඉතා පැරණිම බෞද්ධ මූර්ති භාරත දේශයේ දක්නට ලැබෙන්නේ මධ්‍ය ප්‍රදේශ්හි භාරුත් සහ සාංචි පුදබිමෙහි ඇති තොරණවල මූර්ති, කැටයම්වලය. දකුණු භාරතයේ අමරාවතී හා නාගර්ජුන කොණ්ඩ යන පුදබිම්වලද බුද්ධගයාවේ මුල් කාලීන මූර්ති කැටයම්වලද මෙම සංකේත නිර්මාණය කිරීම් දක්නට ලැබේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධිය, සිරිපතුල්, ධර්මචක්‍රය, ඡත්‍රය වජ්‍රාසනය, ත්‍රිරත්තය, හා ස්තූපය ආදී ලාංඡන යොදා ගෙන ඇති බව ඉහතින් සඳහන් කරන ලද බෞද්ධ මූර්ති කලාවට අයත් මූර්ති පිළිබඳ විමසා බලන විට පැහැදිලිවන කරුණකි. ත්‍රිරත්නයෙන් මූර්තිමත් කර ඇත්තේ බුද්ධ, ධම්ම හා සංඝ යනුවෙන් දැක්වේ. මේ පිළිබඳ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමිපාණන් වහන්සේ මෙසේ සඳහන් කරති.

සිදුහත් කුමාරෝප්පත්තිය දෙවිවරුන් සතර දෙනෙක් හැඩට නැවුණු වස්ත්‍රයක් ඔසවාගෙන සිටීමෙන් සංකේතවත් කරයි. නාගර්ජුන කොණ්ඩ ක්‍රි:ව: 03

මුල්කාලීන බෞද්ධ කලා කෘතිවල විශේෂයෙන් කැටයම් කලාවට විෂයය වූයේ බුදුරජාණන් වහන්සේගේ ජීවන වෘත්තාන්තයයි. බුද්ධ චරිතයේ වැදගත් සිද්ධිවලින් ආශ්චර්යමත් අවස්ථා ඉතා සැලකිල්ලෙන් තෝරාගනිමින් කැටයම්වල මූර්තිමත් කර ඇත. පළමු සිදුවීම වශයෙන් සිදුහත් කුමරාගේ මව මහාමායා දේවිය සිහිනෙන් දුටු ග්‍රන්ථාගත විස්තරය බෝධිසත්වයන් සුදු ඇතෙකුගේ ස්වරූපයෙන් මව්කුසට පිවිසෙන ආකාරයයි. උදාහරණයක් වශයෙන් භාරුත් මුල ස්තම්භයක පදක්කම් මුද්‍රාව දැක්විය හැක. එහෙත් ඊට පසු කාලයකට අයත් දකුණු ඉන්දියාවේ අමරාවතී මූර්ති කැටයම්වල මහාමායා දේවියට දුටු සිහිනය පිළිබඳ සිද්ධිය නිරූපණය කර ඇත්තේ ඇතා නොමැතිව කිසියම් ආකෘතියක අඩු විස්තරාත්මක ආකාරයකිනි. මෙහිදී මුල් කාලීන සියලුම සම්ප්‍රදායයන්ට අයත් කලාකරුවන්ගේ මූලික අවධානය යොමුව ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවිත කතාවේ ප්‍රධාන සිදුවීම් හතරක් කෙරෙහි බව පැහැදිලිව සඳහන් කළ හැකිය. එනම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වය, ප්‍රථම ධර්ම දේශනාව හා සම්බුද්ධ පරිනිර්වාණයයි. මෙම ප්‍රධාන අවස්ථා හතර මූර්තිමත් කිරීමට කලාකරුවන් උනන්දු කරවීමට බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලද බවට පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වන සතර සංවේග ස්ථාන පිළිබඳ විස්තරය ප්‍රධාන වශයෙන් බලපාන්නට ඇතැයි සිතිය හැකි ය.

මේ හැර පසුකාලීන ග්‍රන්ථවල සඳහන් වන අෂ්ට මහා ප්‍රාතිහාර්ය විස්තරය ද බුද්ධ චරිතයේ වැදගත් අවස්ථා ලෙස මූර්තිමත් කිරීමට බුද්ධ ප්‍රතිමා ඇතිවීමට පෙර ද පසුව ද කලාකරුවන්ගෙන් අවධානය යොමු වී ඇති බව සාංචි, භාරුත්, ගන්ධාර, අමරාවතී නාගර්ජුන කොණ්ඩ යන ස්ථානවල මූර්තිවලින් දැකිය හැකිය. ප්‍රධාන සතර සිදුවීම්වලට අමතරව මහාමායාදේවිය දුටු සිහිනය මහා අභිනිෂ්ක්‍රමණය හා මාර පරාජය ද සම්බන්ධ වෙයි. දෙවන වර්ගයට ශ්‍රාවස්තියෙහි යමා මහ පෙළහර, තව්තිසාවෙන් බුදුරජාණන් වහන්සේ සංකස්ස නුවරට වැඩම කරවීම, වේසාලියේදී වඳුරු රජුන් බුදුරජාණන් වහන්සේට මී පැණි පිදීම, රජගහනුවර දී නාලාගිරි දමනය යන අවස්ථා හතර දක්නට ලැබේ. මෙම සිදුවීම්වලින් වැඩි සංඛ්‍යාවක් ක්‍රිස්තු පූර්ව යුගයට අයත් භාරුත්, සාංචි ස්තූපවලද පසුකාලීන ගන්ධාර, මථුරා ප්‍රදේශවල කලා සම්ප්‍රදායවල නිරූපණය වේ. බුදු පිළිමයට පෙර බුදු හාමුදුරුවෝ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි. පි. 23 – 25 (2010 )

 


පසුගිය සතියෙන්: බුදුපිළිමයේ උපත - 43 : ජේතවනාරාමය

 

ඉල් මස අමාවක පෝය

ඉල් මස අමාවක පෝය නොවැම්බර් 28 වන දා සඳුදා අපරභාග 03.20 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපරභාග 05.48 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා සඳුදාය.

මීළඟ පෝය දෙසැම්බර් 07 වන දා බදාඳාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]