UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීලය නැති තැන ඉන්නේ හිස නැති මිනිසෙක්

ධර්ම දේශනාව:

සීලය නැති තැන ඉන්නේ හිස නැති මිනිසෙක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ආරෝග්‍ය මිච්ඡෙ පරමංච ලාභං
සීලං ච වුද්ධානුමතං සුතංච
ධම්මානු චත්තී ච අලීනතා ච
අත්ථස්ස ද්වාරා පමුඛා ඡලෙතෙති

බුද්ධිමත් කාරුණික පින්වතුනි,

ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට අපේක්ෂාවෙන් සිටින මේ සැදැහැවතුන්ට අද මං ජාතක පාලියෙන් ගාථාවක් තමයි මාතෘකා කළේ. ජාතක පාලිය අයත් වන්නේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට .ජාතක පාලියෙන් බණ අහන්න අපේ පින්වතුන් විශේෂ කැමැත්තක් දක්වනවා. හේතුව ජාතක පාලිය මුල්වෙලා තමයි අපට ජාතක පොත් වහන්සේ උරුම වෙලා තියෙන්නේ.

සුපින්වත්නි, මං අද මාතෘකා කළේ අත්ථස්ස ද්වාර ජාතකයයි. මේ ගාථාවෙන් දියුණුවේ දොරටු විස්තර වෙනවා. අප කවුරු කවුරුත් දියුණු වෙන්න කැමැතියි. මේ දියුණුවේ පැති දෙකක් දක්නට ලැබෙනවා. ඒ තමා ලෞකික දියුණුවයි. ආධ්‍යාත්මික දියුණුවයි. සමහර අය ලෞකික වශයෙන් දියුණුයි. නමුත් ඇතුළත හිස්. සමහර අයගේ අධ්‍යාත්මය ගුණ දහමින් පිරිලා හැබැයි ලෞකික දියුණුවක් නැහැ. මාතෘකා කළ ගාථාවෙන් මේ දෙපැත්තම ගැන සාකච්ඡා වෙනවා. බෞද්ධයන් වශයෙන් අප මෙලොව පරලොව විශ්වාස කරනවා. මේ දෙලොවම සැපවත් කර ගන්නට, දෙලොව දියුණුව සඳහාම උපකාරවන මේ ගාථා වේ අන්තර්ගත වන දහම් කරුණු අද ධර්ම දේශනාවෙන් ඉගෙන ගන්නට උත්සාහ කරන්න.

පළමුවෙන්ම මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ කාටද? කුමකටද, කියන නිදාන කථාවත් දැන ගන්න එක හොඳයි. එතකොට අද ඉගෙන ගන්න ධර්ම දේශනාව මතක තියාගන්තත් උපකාර වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන අවස්ථාවේ යමක් තේරුම් ගැනීමේ ශක්තිය ඇත්තකු වෙතයි මේ ගාථාව දේශනා කළේ. සැවැත් නුවර මහා සම්පත් ඇති සිටුවරයෙක් වාසය කළා. ඔහුට සත් හැවිරිදි පුතෙක්ද සිටියා. ඔහු හරි ඥානවන්තයි. හොඳ නරක කාරණා දැන ගැනීමෙහි දක්ෂයි. දවසක්දා මේ පුතා පියා සමීපයට ඇවිදින් දියුණුවට කාරණා කවරේදැයි ප්‍රශ්න කළා. එය විසඳන්න තාත්තා අපොහොසත් වුණා. පියාට ක්ෂණයකින්ම ස්වර්ඥයන් වහන්සේ සිහිපත් වුණා. මේ ප්‍රශ්නය විසඳන්න සමත් එකම උත්තමයා බුදුපියාණන් වහන්සේ බව ඔහුට වැටහුණා. සිටාණන් පුතා රැගෙන බුදුපියාණන් වහන්සේ ළඟට ගියා. ජේතවනාරාමයට ගිය මේ පිය පුතු දෙදෙනා බුදුහාමුදුරුවන්ට වැඳලා පැත්තකින් වාඩි වුණා. ඉන් පස්සේ තාත්තා කියනවා ස්වාමීනි, මගේ නැණවත් පුත්‍රයා අභිවෘද්ධියට හේතු කාරණා කවරේදැයි මගෙන් ප්‍රශ්න කරනවා. මට ඒ සඳහා නිසි පිළිතුරක් දෙන්න බැරි නිසා ඔබ වහන්සේ ළඟට මගේ පුතා කැඳවාගෙන ආවා'යි කියා ප්‍රකාශ කළා. මේ ප්‍රශ්නයට පිළිතුරක් දේශනා කරන ලෙස ඉතා ගෞරවයෙන් ආරධනා කළා.

ඉන්පසුව බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කරනවා උපාසකය, මේ පුතා මීට පෙර ආත්මයේත් මේ ප්‍රශ්නය මේ ආකාරයටම මගෙන් අසා දැනගෙන තිබෙනවා. දැන් වෙනත් භවයක නිසා එය අමතක ඇති. ඒ අවස්ථාවේ සිටුතුමා කියනවා ස්වාමීනි, ඒ සැඟවුණු අතීත කථාවත් දේශනා කරන්න කියා. ඉන් අනතුරුව පුරාණ කථාව සිහිපත් කර දුන්නා.

මේ කරුණුම ඇතුලත් කරමින් ගෞතම තථාගතයන් වහන්සේ පිය පුතු දෙදෙනාට 'ආරෝග්‍ය මිච්ඡෙ පරමංච ලාභං' යනාදි ගාථාවෙන් දියුණුවට හේතුවන කාරණා දේශනා කළා. ඒ දේශනාව අවසානයේ දෙදෙනාම ධර්ම අවබෝධය ලබාගත්තා. පින්වතුනි, ඔබත් මේ ගාථාවේ ඇතුළත් දියුණුවේ දොරටු අවබෝධ කරගෙන මෙලොව දියුණුවත්, පරලොව දියුණුවත් ලබා කෙළවර නිවන් සම්පත් ප්‍රාර්ථනා කරගන්න.

මේ අනුශාසනාවෙන් පහදා දෙන පළමු කාරණාව තමා නිරෝගිකම උතුම් ලාභයක් බව, දියුණුවන අයකුට, මේ නිරෝගිකම දෙපැත්තකින් විස්තර කරන්න පුළුවනි. ඒ තමා

1. කායික නිරෝගිකම 2. මානසික නිරෝගිකම

මේ දෙ අංශයෙන්ම සුවපත්වීම අප කාගේ කාගෙත් දියුණුවට මගයි. මේ සමාජයේ සමහර උදවිය නිරෝගිකම සඳහා දිනකට කොපමණ වියදම් කරනවාද?. කය අසනීපයි. හම්බ කරන මිල මුදල් බෙහෙත්වලට, රෝහල්වලට, වෛද්‍යවරුනට, උපස්ථානවලට, වෙන් කරන්න වෙලා. සමහර ඇත්තෝ බේත් ගන්න විවිධ ආයතනවලට විවිධ පුද්ගලයන්ට ණය වෙලා. ඉඩ කඩම් උකස් කරලා, විකුණලා ඉතින් බලන්න ශරීරය ලෙඩ වුනහම කොච්චර පාඩුද කියලා. ශරීරය සුවපත් නම් මේ ඔක්කොම ලාභ නේද? පැවිදි උතුමන්ට වුවද චීවර පිණ්ඩපාත, සේනාසන ගිලන්පස කොපමණ ලැබුණත් ඒවා උසස් ලාභ නොවෙයි. අසනිප නම් නිතර නිතර ලෙඩ රෝග වැළෙඳනවා නම් ගිහි අයට වුවත් එහෙමයි. ගේ දොර, යාන වාහන, ස්ත්‍රි පුරුෂ, දු දරුවන් ආදි නොයෙක් සම්පත් ලැබුණත් ඒවා නියම ලාභ නොවෙයි. ලෙඩවීම තම තමන්ගේ ජීවිත පරමාර්ථ ඉටු කර ගැනීමට බාධාවක්. ඒ නිසා පින්වතුනි අප හැමටම නිරෝගිකම උතුම්ම ලාභයක්. “ආරෝග්‍ය පරමා ලාභා” යනුවෙන් උතුම්ම ලාභය නීරෝගිකම බව දේශනාවේ විවිධ තැන්වල පෙන්වා දී තිබෙනවා.

අනෙක් පැත්ත තමා මනසින් රෝගී වීම, මෙයත් ළමයින්ගේ ඉඳලා වැඩිහිටියෝ දක්වාම දක්නට ලැබෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ “සබ්බේ පුතජ්ජනා උම්මන්තකා’ කියලයි. සියලු පෘථග්ජන මිනිස්සු උමතු අය හැටියටයි පෙන්වා දී තිබෙන්නේ, අම්මාගෙන් ඈත්වුණු, පියාගෙන් ඈත්වුණු , විවිධ මානසික ආබාධ ඇති දරුවන් අපට හමුවෙනවා.

දියුණුවීමට බලපාන දෙවන කාරණය වන්නේ සීලයයි. කුමක්ද මේ සීලය කියන්නේ කියා විමසා බලමු. “කිං සීලං” සීලය කියන්නේ අකුසලයෙන් වෙන්වීම, එහෙමත් නැත්නම් වත්පිළිවෙත් කිරීම, .තවත් ආකාරයකින් කියනව නම් කය, වචන දෙකින් සංවර වීම, මේ කොයි ආකාරයෙන් විමසා බැලුවත් සීලය යනු හික්මවීමයි. සීලය නොමැති තැන හරියට හිස නැති මිනිසෙක් ඉන්නවා වගේයි දැනෙන්නේ, දියුණුවේ දොරටු පිළිබඳව සාකච්ඡා කරන විට වැඩිහිටි අවවාද ඇසීමද , පිළිපැදීමද වැදගත්. අපට වඩා ගුණයෙන්, නුවණින් වයසින් වැඩිහිටි අය ආශ්‍රය කිරීම වැදගත්. ඒ අයගේ අනුශාසනාවලට අවවාදවලට ඇහුන්කන්දීම අර්ථවත්, ජීවිතයකට මහෝපකාරි වෙනවා. නමුත් සමහර අවස්ථාවලදි අප විමසිලිමත් වීමත් අවශ්‍යයි. වයසින් වැඩිහිටි වුණත් මිනිස්කම් නොහඳුනන, නොදන්න අයගේ අවවාද අනුශාසනා අනර්ථකර බව අප තේරුම් ගත යුතුයි. වැරදි මග යමින් වැඩිහිටි අය වශයෙන් අවවාද දීම පුද්ගලයාටත් සමාජයටත්, සමස්ත. මානව වර්ගයාටත් යහපත පිණිස නම් පවතින්නෙ නැහැ. බොරුවෙන්, පිසුණු බස්වලින් තොර වෘද්ධතර අය මුළු විශ්වයටම ආශිර්වාදයක් එබඳු චරිත අප පරමාදර්ශ ලෙස අරගෙන අගය කරන්න ඕනේ. ඒවාගේ ම ඒ ඒ අය ගැන බාල පරපුරට කියා දිය යුතු වෙනවා.

බොහෝ ඇසු පිරූ තැන් ඇති පුද්ගලයා ද දියුණුවට පත්වෙනවා. උගත්කම කාටවත් සොරකම් කරන්න බැහැ. එය තමාගේ අභිවෘද්ධියට හේතුවෙනවා. මේ සමාජයේ බොහෝ අය ඉන්නවා. මුලින් ඒ අයගේ පවුල්වල ආර්ථිකය දුප්පත්, ගෙවල් දොරවල් නැහැ. යාන වාහන නැහැ. නමුත් ශිල්ප හදාරා, ඉගෙන කියාගෙන, සමාජයේ ඉහළ තලවලට ගිය අය ඕන තරම් ඉන්නවා. එයින් පැහැදිලි වන්නේ උගත්කමට කවුරුත් සලකනවා කියන එකයි. අපේ පියවි ඇස් දෙකට වටපිටාව හෙවත් පරිසරය දැක බලා ගන්න පුළුවන්. නමුත් පියවි ඇස් දෙකට නොපෙනෙන බොහෝ දේ තිබෙනවා. ධර්ම ශාස්ත්‍ර හෙවත් බහුශ්‍රැත බව ලෝකයේ බොහෝ දේ අපට පෙන්වනවා. පියවි ඇස් දෙකට අවිෂය වු කරුණු බහුශ්‍රැත ඇසින් අවබෝධ කරගන්න පුළුවන්. බහුශ්‍රැත බව නැතිනම් බොහෝ ඇසු පිරූ තැන් ඇති බව මංගලයට , දියුණුවට හේතුවන බව මහා මංගල සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්වා තිබෙනවා.

මේ ධර්ම දේශනාවට අයත් දියුණුවට හේතුවන ඊ ළඟ කාරණය තමා ධර්මානුකූල බව, ධර්මයට අනුකූලව ජීවත්වීම, වැරදි ක්‍රියාවන්ගෙන් ඈත්වෙලා ධාර්මිකව ධර්මානුකූලව ජීවිකාව ගෙන යාම

මනසින් නොවැඩුණු සමහර දෙමාපියන් දරුවන් විකුණා හරි ජීවත් වෙන්න තමයි බලන්නේ.

දියුණුවට හේතු වන තවත් කරුණක් තමා උත්සාහය, අනලස් බව, මේ සමාජයේ ජීවත්වන ළමයකුට හෝ තරුණයෙකුට හෝ තරුණියකට හෝ වැඩිහිටි කෙනෙකුට හෝ ඕනෑම කෙනෙකුට උත්සාහය අවශ්‍යයි” උත්සාහවන්තයා ජයගනී” කියන උපදේශය අප නිතර සිහිකළ යුතුයි.

විවිධ විභාග ආසන්න වන විට සමහර අම්මලගෙන් දරුවන්ගේ උත්සාහය ගැන අහන්න ලැබෙනවා. සමහර දරුවන් ඇඳට වෙලා ඉන්නවා. අම්මා පොත කියවනවා, ළමයා අහගෙන ඉන්නවා. පොත අතට අරගෙන පාඩම් කරන්න කම්මැලියි. අලසයි. අම්මා තමයි විභාගයට යනව වගේ පොත කියවන්නේ, මෙතරම් අලස අයට පුළුවන්ද රටේ තොටේ ජීවත්වන්න. පුළුවන්කම තිබෙනවා නම්, අවසරය තිබෙනවා නම් පුතා වෙනුවෙන් විභාගය ලියන්නත් අම්මල යාවි. ඒ තරම්ම පුතාලා දුවල අලස කරන්න සමහර අම්මලත් දායක වන බව පේනවා. උත්සාහයෙන් ඉගෙන ගත්තොත්, උත්සාහයෙන් හරි හම්බකළොත්, උත්සාහයෙන් ගෙයක් දොරක්, ව්‍යාපාරයක් හදාගත්තොත්, තමන්ට මොනතරම් සතුටක් ලැබෙනවාද? කියා මොහොතක් සිතන්න. පිරිසක් අතර එක වීර්යයවන්තයෙක් සිටියොත් පිරිසටම වාසනාවක්. ඒ බව ජාතක පොතේ සඳහන් වන කපි ජාතකයෙන් පැහැදිලි වෙනවා.

පින්වත්නි, වශයෙන් දියුණුවට හේතුවන කරුණ හයක් විස්තර කර දුන්නා. මේ කරුණු කාරණා ගැන ඔබත් අවධානය යොමු කරන්න.

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]