ඉල් අව අටවක 2016.11.21 පින්කම
ශරීරය සුවපත්ව ගත කිරීමට නිරෝගීකම මූලිකවම බලපානු ලැබේ. දීර්ඝායුෂ ලැබීමටද නිරෝගීකම
අත්‍යවශ්‍ය කරුණකි. නිරෝගීබව ආරක්ෂා කරගත් තරමට සිරුරෙහි ශක්තියද වර්ධනය වෙයි. ගතේ
මෙන්ම සිතෙහිද සුවපත්බව ආරක්ෂා කරගත් තරමට සිතෙහි දියුණුව උදාවෙයි.
ලෝභය, ද්වේෂය, මෝහය හේතුවෙන් සිත නොමඟට යොමුවේ. ලෝභය නැතිකම, මෙත්සිත දියුණු කිරීම,
සත්‍යය සත්‍යය ලෙස දැකීම සුවපත් සිතක දැකිය හැකි ලක්ෂණ අතර වේ. එබඳු යහපත් සිතිවිලි
සිතෙහි පහළවීමෙන් සිත පිරිසුදුවෙයි. එමෙන්ම එබඳු සිතිවිලි ක්‍රියාවටද නැඟෙයි. යහපත්
සිතිවිලි ක්‍රියාවට නැගීමෙන් යහපත් දෑම කිරීමට හිත නැඹුරු වේ. මේ අයුරෙන් යහපත්
සිතෙහි පහළ වී ඒ යහපත් සිත මුල් වී කරන යහපත් ක්‍රියා පින් ලෙස හැඳින්විය හැකිය.
සිතෙහි යහපත් අරමුණු දියුණු වී කරන යහපත් ක්‍රියා දහයක් ලෙස නම් කළ හැකි ය.
තමන්ට වඩා හික්මීමෙන් කරුණාවෙන් යුක්ත උසස් අය ජීවත්වෙති. එබඳු යහගුණවලින් දියුණු
වූ අයවෙති. එබඳු උසස් ගුණයන්ගෙන් පිරුණු අය වෙත ගෞවරයක් උපදියි. එබඳු අයට සැලකිලි
දැක්වීමට හිත යොමුවෙයි. තමන්ට වඩා අසරණ අය දුටුවිට ඔවුන්ගේ දුක ගැන කනගාටුවක්
ඇතිවේ. එවිට අනුකම්පාවෙන් පිහිට වෙයි. එසේ කරුණාව මුල් වී සැලකිලි සංග්‍රහ දැක්වීමද
සිදු කෙරේ. මේ අයුරෙන් ගෞරවය මුල් වී පිදෙන සංග්‍රහය, පරිත්‍යාගයත්, කරුණාව මුල් වී
පිදෙන සංග්‍රහයත් මේ දෙකම දානය නමැති පින්කමට අයත් වේ. දෙවැන්න සීලයෙහි පිහිටා එය
ආරක්ෂා කිරීමයි. පස්පවින් වැළකීම දුසිරිතෙන් දුරුවීමය. සුසිරිතට යොමුවීමය. යහපත්
සංවරය හික්මීම සිතෙහි පහළවන යහපත් ගති නිසාම ඇතිවන්නකි අපගේ සිත නිරන්තරයෙන් තනිව
හැසිරේ. විවිධ විෂම ගති සිතෙහි පහළ වේ. නොසන්සුන්බව, තරහව, වෛරය, ක්‍රෝධය, නොඉවසීම
ආදිය පහළ වී නරක නපුරු ගති වර්ධනය වෙයි.
ඒවා දුරුකර සිතෙහි එකඟ බව සංවරය උදාකර ගැනීමට ක්‍රියා කිරීම භාවනාවකි. එමෙන්ම
ජීවිතයේ ඇති සැටි දැකීමෙන් නුවණ වර්ධනය කර ගැනීමද භාවනාවකි. භාවනා වැඩීම තෙවන
පින්කමය. සිව්වැන්න නම් මව්පිය, ගුරුවර, වැඩිහිටි ආදීන් වෙත ගරු බුහුමන් දැක්වීමය.
ඊට අපචායන ලෙසද ව්‍යවහාර කරනු ලැබේ. මවුපියන් වෙත උපස්ථාන ආදිය කරමින් වතාවත් ඉටු
කළ යුතු වේ. එබඳු වතාවත් සිදුකිරීමම වෙයි්‍යාවච්ච ලෙස හැඳින්වෙන පස්වන පින්කමට අයත්
වේ. අනෙකුත් අය කරන යහපත් දෑ දැක තමන්ද ඊට සතුටු වෙයි. එමෙන්ම තමන්ද යහපතක් කර අන්
අයද සතුටු වේ. ඉන් අනුනටත් තමනටත් යහපතක් උදාවේ. එය උතුම් පිනකි. අනුනට පින්දීම,
පින් අනුමෝදන් කිරීම හයවන පින්කම වන අතර එය පත්තිදාන යනුවෙන් ව්‍යවහාර වේ. හත්වන
පින්කම නම් පින් ගැනීමය. අප අන් අයට පින් දෙන්නාසේම අන් අය අපටද පින් ලබා දෙති. එසේ
දෙන පින සතුටින් බාර ගත යුතු ය. එය පත්තානුමෝදනාවයි. අටවන පින්කම නම් බණ කීමය.
අන්‍යයන් නරක සිතුම් පැතුම්වලින් හා ක්‍රියාවලින් වළක්වා ගැනීමට යහපත් අදහසින්
උපදෙස් දීම වටිනා පින්කමකි. තමන්ගේ යහපතට යහපත් අය උපදෙස් දෙනු ලැබේ. මව්පිය,
ගුරුවර, වැඩිහිටි ආදීන් හොඳ නරක පහදා දෙති. ඒවා අසා තේරුම් ගැනීම වගකීම වේ. එමගින්
යහගුණයට නැඹුරු වේ. බණ ඇසීම නව වන පින්කමය. දසවන පින්කම නම් යහපත් නුවණ හෙවත් හරි
දැක්ම ඇති කර ගැනීමය. සම්‍යක් දෘෂ්ටිය ඇතිකර ගැනීමය. මේ දස පින් කෙටියෙන්
දැක්වීමකි. මෙසේ දාන, ශීල, භාවනා, අපචායන, වෙයියාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා,
ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණ දිට්ඨිජුකම්ම යන පුණ්‍ය ක්‍රියා පුරුදු කිරීමෙන් තමාටත්,
අනුන්ටත් යහපතම උදාවෙයි. |