වෛරය දුරලන
පහසුම මඟ
රාජකීය පණ්ඩිත
මැද උයන්ගොඩ
විජයකිත්ති හිමි
පිපාසයෙන් පෙළෙන කෙනෙකුට මලින් සුසැඳි නිල් ජල පොකුණක් හමුවේ. හේ රිසි සේ එහි බැස,
නා සා පිපාසයද සංසිඳුවා ගනී. එසේ හොඳ පුද්ගලයන්ගේ හොඳම දකිමින් එහි ප්‍රයෝජන ලද
යුතු වේ.
සිත දවන ලෙඩ කරන, අසහනය පීඩනය ගෙනදෙන අයහපත් සිතිවිලි අතර වෛරය සුවිශේෂී ය. ඉවසාගත
නොහැකි තරහවෙන්, අනුන් විනාශ කරන්නට, අනුන්ගේ දොස් සොයන්නට, කියන්නට වෙහෙසෙන මොහොතක
තමන්ගේ සිත ගැන විමසන්න. චේතනාව සතුරා ගේ අයහපත, අපකීර්තිය ඇති කිරීම වුව ඒ
සිතිවිලිම තමන්ගේ ඇතුළාන්තය හෙවත් අධ්‍යාත්මය දවන බව, පීඩාවට වෙහෙසට පත්කරන බව ඔබට
හැඟෙනු ඇත. සිතේ ප්‍රභාෂ්වර බව නැති කරන, අපිරිසුදු කරන, නිරයට මඟ සදන ක්‍රෝධ
සිතිවිලි දුරු කිරීම, පාලනය කිරීම සැබවින්ම අසීරු ද? අසාධාරණකම්, නරක, නපුරු, අවැඩ
කරන මිනිසුන් සිටින පරිසරයක එය කළ නොහැකි වූවක් ද?
කෙනෙකුගේ සිතෙහි වෛරයක්, තරහවක් උපදින අවස්ථාවන් නවයක් පිළිබඳ බණ පොතේ ඉගැන්වේ. එය
‘නව විධ ආඝාත’ ලෙස හැඳින්වේ.
1. අසවලා මට පහර දුන්නේය, බැන වැදුණේය යැයි වෛර කිරීමය. (අතීතයේ වූ සිදුවීමක්
පිළිබඳ තරහ උපදවා ගැනීම.)
2. අසවලා දැන් මට පහර දෙන්නේ ය. බැණ වදින්නේ’යි වෛර කිරීමය. (වර්තමාන සිදුවීම් ගැන)
3. අසවලා මට හෙට දිනයේ පහර දෙනු ඇත. බැන වදිනු ඇත’යි වෛර කිරීම ය. (අනාගත සිදුවීම්
ගැන)
4. අසවලා මාගේ මවුපියන්ට, දරුවන්ට, නෑ හිත මිතුරන්ට පහර දුන්නේ ය. බැන වැදුණේය’යි
වෛර කිරීමය. (අතීත)
5. අසවලා මගේ මවුපියන්ට, දරුවන්ට නෑ හිත මිතුරන්ට දැන් පහර දෙන්නේ ය. දැන් බැන
වදින්නේයැයි, වෛර කිරීමය. (වර්තමානය)
6. අසවලා මගේ මවුපියන්ට, දරුවන්ට, නෑ හිත මිතුරන්ට අනාගතයේ පහර දෙනු ඇත. බැන වඳිනු
ඇත’යි වෛර කිරිමය. (අනාගත)
7. අසවලා මගේ තරහකරුවන් සමඟ එකතු වී සිටියේ ය. උදවු උපකාර කළේ ය. ඔවුන්ගේ ගුණ
යහපත්කම් පැසසුවේය’ යි වෛර කිරීමය. (අතීත)
8. අසවලා මගේ තරහකරුවන් සමඟ දැන් එකතු වී සිටින්නේය. උදවු උපකාර කරන්නේ ය. ගුණ
යහපත්කම් වර්ණනා කරන්නේය’ යි වෛර කිරීමය. (වර්තමාන)
9. අසවලා මගේ තරහකරුවන් සමඟ යම් දිනෙක එකතු වනු ඇත. උදව් උපකාර කරනු ඇත. ගුණ
යහපත්කම් වර්ණනා කරනු ඇත’යි වෛර කිරීමය. (අනාගත)
ඕනෑම කෙනෙක් තවත් කෙනෙක් ගැන තරහ උපදවා ගන්නේ, ඒ පුද්ගලයාට එරෙහිව අයහපත්කම්
ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරන්නේ මේ නව විධ හේතු නිසා ය. ඇතැම් විට ‘අස්තාන කෝධ’
අහේතුකව ද ක්ෂණිකව කෙනෙකුට තරහ ඇති වීමට පුළුවන.
මේ කවර අවස්ථාවක දී වුවද කළ යුතු වන්නේ සිතිවිලි ගිනියම් කරගන්නවා වෙනුවට මෙත්
සිතිවිලිවලින් වෛරී ගිනිදැල් නිවා දැමීම ය. වෛරී ගිනිදැල් නිවා දැමිය හැකි පහසු
ක්‍රමවේද පහක් බුදුරජාණන් වහන්සේ අපට උගන්වා තිබේ. පළමුවැන්න මෛත්‍රී කිරීමය. අදාළ
පුද්ගලයින් පිළිබඳ මෛත්‍රී කිරීම, කරුණාව දැක්වීම, උපේක්ෂාව හෙවත් අනුන්ගේ
අයහපත්කම් මැදහත් සිතින් දරා ගැනීම, ‘අමනිසිකාර’ හෙවත් කෙනෙක් කළ අයහපත්, දුෂ්ඨකම්,
ඇවැඩ සිතින් අමතක කර දැමීම, ‘අනේ මේ මිනිස්සු පව් කරලා අපායට යනවා නේද'යි කර්මය
පිළිබඳ සිතමින් අමතක දර දැමීමය.
අපි කෙනෙකුගේ සැබෑ ස්වරූපය දකින්නේ රූපයෙන් හෝ අඳින පළඳින සැටියෙන් නොවේ.
ක්‍රියාවෙන් සහ වචනයෙනි. ඒ පුද්ගලයා පිළිබඳ පි‍්‍රය මනාප වන්නේද, හිතෛෂී වන්නේද,
කේන්තිය, වෛරය ඇති වන්නේද එම ක්‍රියාවට සහ වචනයට අනුව ය. සම්බුදු සසුනේ අග්‍ර
ශ්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ, කෙනෙක් පිළිබඳව උපදින වෛරී සිතිවිලි නැති කර
ගන්නා ආකාරය අපූර්ව උපමා ගෙන හැර දක්වමින් දේශනා කොට ඇති ආකාරය බණ පොතේ සඳහන් වේ.
කෙනෙක් යම් නරකක් නපුරක් කළේ නම් ‘ක්‍රියාව නරක වුවද මොහු කිසි දිනෙක බොරුවක්,
කේළමක්, පරුෂ වචනයක් කියා නැතැ’යි ඔහුගේ හොඳ වචනය ගැන සිතා ක්‍රියාව අමතක කරන ලෙස
උන්වහන්සේ පෙන්වා දෙති.
ඒ කවර ලෙසින් ද? පිණ්ඩපාත පිණිස වැඩම කරන පාංශුකූල සිවුරු පොරවාගත් භික්ෂූන් වහන්සේ
නමක් කසළ ගොඩක ඉවත් කොට තිබෙන වස්ත්‍රයක් දකී. වම් පාදයෙන් එහි එක් කෙළවරක් පාගා,
දකුණු පාදයෙන් වස්ත්‍ර කැබැල්ල එහාට මෙහාට කරමින් ප්‍රයෝජන ගත හැකිදැයි බලන
උන්වහන්සේ එහි සැරව, රුධිරය තැවරුණු කොටස් දකිති. උන්වහන්සේ එය කසළ ගොඩෙන් ඉවතට ගෙන
අපිරිසුදු වූ කොටස් කපා ඉවත් කොට සෝදා පිරිසුදු කර සිවුරක් මසා ගන්නේ යම් සේද,
කෙනෙකුගේ නරක ඉවත් කොට හොඳ පමණක් ප්‍රයෝජනයට ගත යුතු වේ.
තවත් අවස්ථාවක කෙනෙක් ඔබට කළ නින්දා අපහසයක්, බොරු චෝදනාවක් නිසා ඒ ගැන වෛරයක් ඇති
වීමට පුළුවන. එහෙත් වචනයෙන් මිස කිසි දිනෙක ඒ පුද්ගලයා ඔබට පහර දීමක් හෝ හිංසාවක්
කර නැත. එවැනි විටෙක කළ වරද අමතක කරන්නේ කෙලෙසද? යම් පුද්ගලයෙක් දුර බැහැර ගමනක්
යමින් සිටින්නේ ය. ගමන ඉතා වෙහෙසකරය. සා පිපාසා දැඩිය. මඟ අයිනේ දිය පරඬැල්,දිය
සෙවල පිරුණු පොකුණකි. හේ මතුපිට වූ ඒ අපද්‍රව්‍ය දෑතින් මෑත් කොට ජලය මතු කරගෙන
පිපාසය සංසිඳුවා ගනී. එලෙස ඔබගේ සිත පෙළූ නැතැත්තාගේ වරද ඉවත ලා හොඳ මතු කර මෛත්‍රී
සිතින් ඔහුට සමාව දිය යුතු ය.
වචනයෙන්ද, ක්‍රියාවෙන් ද නරකක් කළ කෙනෙක් ගැන උපදින වෛරී සිතිවිලි දුරු කරන්නේ
කෙලෙසද? ජීවිතයේ කෙදිනක හෝ, කොතැනකදී හෝ කළ සුළු හෝ උපකාරයක් සිහිපත් කොට ඒ ගැන
පැහැදීමෙනි. ඒ යම් සේද? දැඩි පාපාසයෙන් පීඩාවට පත් වූවෙක් දිය පොදක් සොයමින් ළිං,
පොකුණු ඇති තැනක් සොයා ගියද දිය ඇති තැනක සලකුණකදු නොවේ. මඟ අයිනේ ගව කුර ගැටුන
තැනක දිය බිඳිති කිහිපයක් තිබෙනු හේ දකී. දෙදණ බිම තබා පහත් වී ඒ දිය බිඳු දිවෙන්
උරා පිපාසය සංසිඳුවා ගනී. එසේ ඉතා සුළු හෝ හොඳ ගැන සිතා වෛර නොකළ යුතු ය.
ඔබට විපත් ගෙන දුන් පුද්ගලයා කෙදිනක හෝ වචනයෙන්, ක්‍රියාවෙන් අල්ප මාත්‍රයක හෝ
හොඳක් කර නැත. එවැන්නෙකු කෙරෙහිද මෙත් සිත උපදවා ගත යුතුමය. ‘අනේ මේ මනුස්සයා කරන
අයහපත් නිසා පව් පුරවා ගන්නවා. මම ඒගැන වද වෙන්නේ කුමටද? වෛර උපදවා පව් කරමින් කර්ම
රැස් කර ගන්නේ කුමටද? සිතමින් ක්‍රෝධය දුරු කළ යුතු ය. ඒ යම්සේද? පාරේ ගමන් කරන
විටෙක යම් මිනිසෙක් ක්ලාන්තය සෑදී වැටී සිටී. කවදා හෝ අසා දැක නැති ඒ පුද්ගලයා
පිළිබඳ අනුකම්පාකර ඔබ ඔහුට උදවුවේ. එසේ ම සතුරුකම් කළ අය කරන පාප කර්ම ගැන අනුකම්පා
කොට ක්‍රෝධය නිවා ගත යුතු වේ.
වචනයෙන් හෝ ක්‍රියාවෙන් කිසිදු වරදක් නොකළ කෙනෙක් ගැන අහේතුකව ඔබට වෛරයක් උපදී ඒ
වෛර සිත මෙත් සිසිලෙන් නිවාලන්නේ කෙසේද? පිපාසයෙන් පෙළෙන කෙනෙකුට මලින් සුසැඳි නිල්
ජල පොකුණක් හමුවේ. හේ රිසි සේ එහි බැස, නා සා පිපාසයද සංසිඳුවා ගනී. එසේ හොඳ
පුද්ගලයන්ගේ හොඳම දකිමින් එහි ප්‍රයෝජන ලද යුතු වේ. වෛරය, ක්‍රෝධය සිත ගිනියම් කරන
විටෙක මේ අවස්ථා පහෙන් කවර ක්‍රමයකට හෝ ලෝකය දෙස බලන්නට හැකිනම් ඔබ වෛරී බවෙන් තොර
සුවපත් වූවෙක් බවට පත්වන්නේ ය.
‘අජාන් බ්‍රහ්ම වංශෝ’ හිමි ගැන ඔබ අසා ඇත. යම් ගොඩනැඟිල්ලක බැඳි බිත්තියක එක්
ගඩොලක් පමණක් ඇද වී තිබෙන දුටු උන්වහන්සේ බොහෝ කනගාටුවට පත්වූහ. වරක් එහි පැමිණි
නගරාධිපතිවරයා ඒ බිත්තියේ නිමාව ගැන බොහෝ සතුටට පත්විය. ‘ඇයි? මෙහි ගඩොලක් ඇද වී
තිබෙනවා ඔබ දුටුවේ නැතිද?’ යි ඒ හිමියෝ ඔහුගෙන් විමසූහ. එවිට නගරාධිපතිවරයාගේ
පිළිතුර වූයේ ඉතා ක්‍රමවත්ව බැඳි ගැඩොල් 999 ක් ම අමතක කරල ඇයි අපි එක ගඩොලක් පමණක්
ඉස්මතු කරගෙන වරද දකින්නේ යන්නය. අප පෙළන බොහෝ ගැටලුවලට හේතුව ද මෙයමය. හොඳ ඉවතලා
නරකම ඉස්මතු කිරීමය. පන්සල් ගිය පමණින්, ධර්ම දේශනා ඇසූ කියවූ පමණින් ජීවිතයට
සැනසීමක් ලැබෙන්නේ නැත. එම ධර්ම කරුණු නුවණින් විමසා ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ
කර ගත යුතු ය.
රමණී සුබසිංහ |