UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ කොඩියේ ප්‍රමිතිය ගැන මඳක් සිතුවාද?

බෞද්ධ කොඩියේ ප්‍රමිතිය ගැන මඳක් සිතුවාද?

බෞද්ධ කොඩියේ මධ්‍යයේ කිසිදු ආකාරයක අකුරක් හෝ සංකේතයක් හෝ යෙදීම බෞද්ධ කොඩියේ ප්‍රමිතිය මුළුමනින්ම බිඳ දැමීමකි. මේ වන විට කොඩිය මධ්‍යයේ ධර්ම චක්‍ර ලාංඡනය යෙදීමට ද ඇතැමුන් කටයුතු කර ඇත. එම ක්‍රියාව මුළුමනින්ම වැරැදි සහගතය. එමඟින් ධර්ම චක්‍රයද බෞද්ධ කොඩියද යන බෞද්ධ සංකේත දෙකටම අප සිදු කරනුයේ අවැඩකි

ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ දැඩි පීඩාවට පත්ව සිටි සිංහල බෞද්ධයන්ගේ අයිතීන් රැක ගැනීම උදෙසා එංගලන්තයේ යටත් විජිත බාරව සිටි මහ ලේකම්වරයා වන ඩර්බි සාමිවරයා වෙත ප්‍රධාන කරුණු හයකින් සමන්විත සංදේශයක් ඉදිරිපත් කරන ලදී. සංදේශය ඉදිරිපත් කිරීමේ මූලිකත්වය ගත්තේ මෙරට ස්ථාපිත කරගත් බෞද්ධාරක්ෂක කමිටුවයි. ඒ වර්ෂ 1884 මැයි මස 17 වැනිදාය. සංදේශය රැගෙන ගියේ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසිනි. එම සන්දේශයේ තුන්වැනි කරුණ ලෙසින් සඳහන් වූයේ බෞද්ධයන්ගේ මා හැඟි වෙසක් පුන් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන ලෙසයි.

බ්‍රිතාන්‍යයෝ දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසු එම ඉල්ලීම ඉටු කළහ. ඒ අනුව 1885 මාර්තු මස 27 වැනිදා මෙරට ගැසට් පත්‍රයෙහි වෙසක් පුන් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදී. මාර්තු මස ලද මේ සුබ පණිවුඩයත් සමඟ උද්දාමයට පත් බෞද්ධාරක්ෂක කමිටුව විසින් එම වසරේ වෙසක් පුන් පොහෝ දිනයේදීම එම සැමරුම උත්කර්ෂවත් ලෙසින් ආගමානුකූලව සැමරීමට තීරණය කළහ. ඒ සඳහා දස දෙනකුගෙන් යුක්ත කමිටුවක් පත් කරන ලදි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝද, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නා හිමියෝද එහි සාමාජිකත්වය දැරූහ. කමිටුවේ ප්‍රධාන කාර්යය වූයේ වෙසක් දිනයේදී ඔසවා තැබීමට සුදුසු ධජයක් නිර්මාණය කිරීමයි. ඒ අනුව ෂඩ් වර්ණ බෞද්ධ කොඩියේ නිර්මාණය ඇරැඹුණි. එහෙත් මේ බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා කවුරුන්දැයි ස්ථිරවම කිව නොහැකිය. එසේ වුවත් මෙහි ගරුත්වය හිමිවිය යුත්තේ දස දෙනකුගෙන් යුක්ත වූ බෞද්ධාරක්ෂක කමිටුවකටයි. ෂඩ් වර්ණ බෞද්ධ කොඩියට ඇතුළු කරන ලද්දේ එම ෂඩ් වර්ණ, බුදුරජාණන් වහන්සේගේ සවනක් රැස් හේතුවෙනි. බෞද්ධ කොඩියේ මේ වර්ණ සංකලනය නිසි අයුරින් ආරක්ෂා කර ගැනීමට අතීතයේ සිට හෙළයෝ දැඩි සේ උත්සාහ ගත්හ. එහෙත් අද වන විට බෞද්ධ කොඩිය පවා යම් යම් විකෘතිතාවන්ට භාජන වී ඇති බවක් පෙනේ.

ඒ තත්ත්වය බෞද්ධයන් වශයෙන් අපට අනුමත කළ නොහැකිය. විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ට සිදු වූ අකටයුතුකම් හමුවේ ඉංග්‍රීසි පාලකයන්ගේ දැඩි කරදර බාධක මධ්‍යයේ වුවද වෙසක් දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කර ගැනීමත් බෞද්ධයන්ටම උරුම ධජයක් නිර්මාණය කර ගැනීමත් යන කරුණු ගැන අවධානය යොමු කර ගෙන මේ සඳහා වන ප්‍රමිතිය ගැන අනිවාර්යනේම අවධානය යොමු කළ යුතු වේ. බෞද්ධ කොඩියේ අඩංගු විය යුතු වර්ණ මොනවාද? ඒවා පිළිවෙළින් නීල (නිල් පාට), පීත (කහ පාට), ලෝහිත (රතු පාට), ඕදාත (සුදු පාට), මාංජෙෂ්ඨ (මදටිය පාට), ප්‍රභාෂ්වර (සියලු වර්ණ එකතුවක්) යන ලෙසින් පිළිවෙළින් තිබිය යුතු වේ. මේ වර්ණ සංකලනය වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ ශරීරයෙන් විහිදුණු රශ්මි මාලාවයි. අවසානයේ දැක්වෙන වර්ණ එකතුවේ ඉහළින්ම තිබිය යුත්තේ නිල් පාට( නීල) වන අතර පහළින්ම තිබිය යුත්තේ මදටිය පාට හෙවත් මාංජෙෂ්ඨයි. එම ප්‍රමිතිය අනිවාර්යෙන්ම තිබිය යුතු වේ. එසේම බෞද්ධ කොඩියේ අනිවාර්ය නිර්ණායක ලෙසින් හඳුන්වා දිය හැකි ප්‍රමීතීන් රැසක්ද වෙයි. බෞද්ධ කොඩිය පිළිබඳ මේ ප්‍රමිතීන් අඩංගු වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිත පිරවිත කෙටුම්පතෙහිය. ඉන් පළමු වැන්න බෞද්ධ කොඩිය අනිවාර්යෙන්ම ඍජු කෝණාස්‍රාකාර විය යුතු බවයි. එසේම එම ඍජුකෝණාස්‍රාකාර ධජය 2:3 අනුපාතයෙන් විය යුතුය. එනම් බෞද්ධ කොඩියේ දිග පැත්තට අඩි 3ක් නම් උස නැත්නම් පළල විය යුත්තේ අඩි 2 කි. මෙම අනුපාතයට කොඩිය බහාලීමට සකස් කරනු ලබන කොපුවේ ප්‍රමාණය ඇතුළත් නොවිය යුතුය. මේ අනුපාතය අනුව අඩි හයක් දිග ධජයක පළල විය යුත්තේ අඩි හතරකි. වෙනත් කිසිදු අනුපාතයකට සකස් කරනු ලබන බෞද්ධ කොඩියක් කිසිදු ආකාරයක බෞද්ධ කොඩියක් ලෙසින් පිළි ගනු නොලැබේ. එමෙන්ම කොඩිය බහාලීමට නැත්නම් කොඩිය එල්ලීමට සකස් කරනු ලබන කොපුවේ වර්ණය නිල් වර්ණයෙන් නොයෙදිය යුතුය. එය සුදු පැහැති වර්ණයෙන් යෙදීම වඩාත් උචිත වේ.

එසේම සමාන තිරස් පේළි හයකින් බෞද්ධ කොඩියේ වර්ණ බෙදා වෙන් කර තිබිය යුතුය. අවසානයේ ඇති ප්‍රභාෂ්වර හෙවත් සියලු වර්ණ එකතුව ද සමාන ආකාරයෙන් එකක් යට එකක් සිටින සේ පෙර සඳහන් කළ පරිදි පළමුව නිල් පැහැයත් අවසානයේ මදටිය පාට හෙවත් මාංජෙෂ්ඨත් තිබිය යුතුයි. දාර තීරු ආදිය එකතු කර මැසීම හා බහාලන කොපුව මැසීම ආදී යන්ත්‍ර මගින් සිදු කරනු ලබන සියලු මැසීම් සඳහා අගුල් මැස්ම යෙදිය යුතු අතර මිලිමීටර් 10ක ප්‍රමාණයක තිබිය යුතු මැහුම් ගණන 4කට වඩා නොඅඩු විය යුතුය. එමෙන්ම බහාලන කොපුවක් තිබීම අනිවාර්යය අතර මෙම කොපුවෙහි පළල සිරස් තීරුවක පළලින් තුනෙන් පංගුවක් නොඉක්ම විය යුතුය. මීට අමතරව බෞද්ධ කොඩියේ මධ්‍යයේ කිසිදු ආකාරයක අකුරක් හෝ සංකේතයක් හෝ යෙදීම බෞද්ධ කොඩියේ ප්‍රමිතිය මුළුමනින්ම බිඳ දැමීමකි. මේ වන විට කොඩිය මධ්‍යයේ ධර්ම චක්‍ර ලාංඡනය යෙදීමට ද ඇතැමුන් කටයුතු කර ඇත. එම ක්‍රියාව මුළුමනින්ම වැරැදි සහගතය. එමඟින් ධර්ම චක්‍රයද බෞද්ධ කොඩියද යන බෞද්ධ සංකේත දෙකටම අප සිදු කරනුයේ අවැඩකි. බෞද්ධ කොඩියේ ප්‍රමිතීන්ට අදාළව ඇති තවත් විශේෂ කරුණු කිහිපයක්ම ඇතත් බොහෝ දෙනා ඒ පිළිබඳව දක්වන්නේ අල්ප අවධානයකි. ඉන් පළමුවැන්න බෞද්ධ කොඩිය එල්ලා තබන ආකාරයයි.

බෞද්ධ කොඩිය සෑම විටම එල්ලා තැබිය යුත්තේ එය ලෙළ දෙන අකාරයටය. ඒ අවස්ථාවේදී නීලය, පීත ලෝහිත ආදී වර්ණයන් පිළිවෙළින් වමේ සිට දකුණට දැක බලා ගත හැකිය. එය නිවැරැදි ධජ එල්ලීමේ පිළිවෙළය. එසේ නොමැතිව නිල් වර්ණ තීරුව පළමුවත් එයට යටින් පීත වර්ණයත් අවසානයේ ප්‍රභාෂ්වර සිටින සේ වර්ණ ඉහළ සිට පහළට එල්ලෙන සේ බෞද්ධ ධජයන් සැරසීම ප්‍රමිතියෙන් තොර බව පෙන්වා දිය යුතුය. එමෙන්ම ධජය සැම විටම පිරිසුදු විය යුතුය. එය විකෘති වී තිබීම හෝ අව පැහැ ගැන්වී හෝ වෙනත් දෙයක් නිසා කොඩිය අවලස්නන වී ඇත්නම් එයද ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩියක් ලෙස සැලකේ. මේ බෞද්ධ කොඩියෙන් නිරූපණය වන්නේ බුදුරජාණන් වහන්සේ බව අමතක කළ යුතු නොවේ. බොහෝ දෙනා නිසි වේලාවට බෞද්ධ කොඩි සැරසීමට කටයුතු කළත් ඒවා නිසි වේලාවට ඉවත් කරන බවක් පෙනෙන්නට නැත. පාලම් කොඩි වශයෙන් වර්තමාන සමාජයේ සකස් කර ගෙන ඇති දැවැන්ත ධජ සඳහා ප්‍රමිතියක් වෙන් වශයෙන් නැතත් බෞද්ධ කොඩිය යන්න සැම විටම 2:3 අනුපාතයටම තිබිය යුතු බව අප සිත්හි තබා ගත යුතුය. අපට සැබෑ බෞද්ධයන් ලෙසින් කටයුතු කළ හැක්කේ බෞද්ධ කොඩියේ මේ ප්‍රමිතීන් ගැන අවධානයක් ඇතිව කටයුතු කළහොත් පමණි.

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]