UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපන අරමුණ ශාසනික සේවය හොඳින් ඉටුකිරීමයි - නාරම්පනාවේ ආනන්ද හිමි

භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපන අරමුණ ශාසනික සේවය හොඳින් ඉටුකිරීමයි - නාරම්පනාවේ ආනන්ද හිමි


හාල්යාල සුමනතිස්ස අනු නා හිමි

දශක හයක පමණ ඉතිහාසයක් ඇති මහනුවර අස්ගිරිය මහ පිරිවෙන සසුන් කෙත බබළවන්නා වූ දැනුම හා අවබෝධයෙන් පිරිපුන් භික්ෂූන් වහන්සේ සුවිශාල පිරිසක් බිහිකරමින් විශිෂ්ඨතම පිරිවෙනක් බවට පත්ව තිබේ. ශී‍්‍ර ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවති ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයේදී සමස්ත ලංකා මට්ටමින් වැඩිම ජයග්‍රහණ අත්කර ගත් පිරිවෙන ලෙසත් මධ්‍යම පළාතේ ඵල සපිරි පිරිවෙන ලෙසත් සම්මානයට පාත්‍රවූයේ මහනුවර අස්ගිරිය මහ පිරිවෙනයි.

මෙරට වැඩ සිටි ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ විද්‍යා විශාරද, රාජකීය පණ්ඩිත හාල්යාලේ ශී‍්‍ර සුමනතිස්ස අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියන්ගේ මූලිකත්වයෙන් 1956 වසරේදී අස්ගිරි පිරිවෙන ආරම්භ වූයේ එවකට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක පදවිය හෙබවූ යටවත්තේ ධම්මරතන මහනාහිමියන්ගේ පූර්ණ ආශිර්වාදයෙනි. ඉංගී‍්‍රසි පාලන කාලයේ පවත්වාගෙන ගිය මව්න්ට් බීරි බංගලාව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් 1964 වසරේදී පිරිවෙන සඳහා පූජා කිරීමත් සමඟ වඩා වැඩි ඉඩක එය ව්‍යාප්ත කිරීමට හාල්යාලේ නා හිමියෝ කටයුතු කළහ.

පිරිවෙන දිනෙන් දින දියුණුව කරා ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල තත්ත්වයට එය උසස්වූ අතර හාල්යාල අනුනාහිමියන්ගේ ශරීර සෞඛ්‍යය පිරිහී උන්වහන්සේ ගිලන්ව අපවත්වු කාල පරිච්ඡේදය තුළ පිරිවෙන ක්‍රමයෙන් අභාවයට ගියේය. අසූව දශකය අගභාගය වන විට නාම මාත්‍රික තත්ත්වයට පත්ව තිබූ අස්ගිරි පිරිවෙන හාල්යාල අනුනාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිනමක වූ නාරම්පනාවේ ආනන්ද හිමියන් විසින් යළි ගොඩ නැංවීම සිදුකළේ 1991 වසරේදීය. පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලත් උන්වහන්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කැර පැමිණ අභාවයට ගොස් තිබූ පිරිවෙනට යළි ජීවය දුන්හ. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සිව් නමකින් ආරම්භ කළ පිරිවෙනහි වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 400 ය ඉක්මවයි. මෙරට ප්‍රථම වරට පිරිවෙන් විෂයය මාලාව ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ඉගැන්වීම 1996 වසරේදී ආරම්භ වූයේ අස්ගිරිය පිරිවෙනින් වන අතර මේවන විට එහි කාම්බෝජය, බංගලිදේශය, බුරුමය, නේපාලය, වියටිනාමය, ලාඕසය ආදි බෞද්ධ රටවල් රැසක භික්ෂූන් වහන්සේ ඉංගි‍්‍රසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබමින් සිටිති.

අස්ගිරි මහ පිරිවෙනේ පරිවේනාධිපති, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද හිමියෝ පිරිවෙනේ ගමන් මග මෙසේ විස්තර කළහ. “මගේ ගුරු හාමුදුරුවෝ, හාල්යාලේ ශී‍්‍ර සුමනතිස්ස නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු පිරිවෙන මුළුමනින්ම අභාවයට ගියා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පිරිවෙනට පූජාකළ මව්න්ට් බීරි බංගලාව මුළුමනින්ම ජරාජීර්ණ වී තිබියදී එවකට ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා සංස්කෘතික ත්‍රිකෝණයේ නිලධාරින් යොදවා එය පිළිසකර කර දුන්නා. එහි වැඩ කටයුතු නිම වීමට පෙර එතුමා මියගියා. යළි පිරිවෙන ආරම්භ කිරීමේදි පැවති අභියෝග ජයගැනීමට පැවිදි සහෝදර හිමිවරු හා පිරිවෙනේ ආදි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ විශාල ශක්තියක් හා සහයෝගයක් ලබා දුන්නා. පිරිවෙන තුළ පැවති භික්ෂු විනය, නියමිත අධ්‍යාපනය ඇතුළු කරුණු රැසක් අධ්‍යයනය කිරීමෙන් පසු එතෙක් කණිෂ්ඨ පිරිවෙනක් ලෙස පැවැති පිරිවෙන අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මහ පිරිවෙනක් දක්වා උසස් කළා. ප්‍රාචීන පණ්ඩිත අවසන් උපාධිය දක්වා එතැන් සිට මෙහි අධ්‍යයන කටයුතු ව්‍යාප්ත කළා. වර්තමානය වන විට මව්න්ට් මේරි මුල් ගොඩනැගිල්ලට අමතරව දෙමහල්, තෙමහල් හා සිව්මහල් ගොඩනැගිලි තුනක් පිරිවෙන සතුයි. අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයට අමතරව පුස්තකාලයක්ද මෙහි තිබෙනවා. ආනන්ද හිමියන් එම පුස්තකාලය තම ගුරු ස්වාමින්ද්‍රයන් වහන්සේ සිහිවනු පිණිස හාල්යාලේ සුමනතිස්ස නාහිමි නමින් නම්කර තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ වැඩිම පැවිදි ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින අස්ගිරි මහා පිරිවෙන සමස්ත ලංකා පිරිවෙනේ තරඟ වලින් අඛණ්ඩව තෙවතාවක් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ. පසුගිය වර උසස් පෙළ විභාගයට පෙනී සිටි පිරිවෙනේ භික්ෂුන් වහන්සේ තිස් නමක් අතරින් තිස් එක් නමක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවා. වසර 1991 සිට මේ දක්වා පිරිවෙන මගින් ප්‍රාචීන පණ්ඩිත උපාධිය සමත්වු භික්ෂූන් වහන්සේ 150 ක් පමණ සමාජ ගතව ශාසනික මෙහෙවරක නිරත වෙනවා. දැනට පිරිවෙනේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ හාරසිය නමක් අතරින් දෙසිය නමක් පමණම සිටින්නේ පිරිවෙනේ නේවාසිකවයි. ඒ සඳහා වැය වන බර පැන ධනපතීන් හා වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් විසින් දරනවා. ලෝකයේ කොතරම් දාගැබ්, පිළිම වහන්සේ විහාරස්ථාන හැදුවත් සම්බුද්ධ ශාසනයේ ජීවමාන සලකුණ භික්ෂූන් වහන්සේයි. ගිහි දරු දැරියන් අධ්‍යාපනයක් ලබන්නේ තමන්ගේ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යෑමේ අරමුණ ඇතිව හොඳ රැකියාවක් කරන්නයි. ඒත් භික්ෂූන් වහන්සේ අධ්‍යාපනය තුළින් අපේක්ෂා කරන්නේ ශාසනික මෙහෙවර හොඳින් ඉටුකරන්නයි. වර්තමානය වන විට ඉංගී‍්‍රසි අධ්‍යාපනය ලත් භික්ෂූන් වහන්සේ පිරිසක් පිරිවෙන මගින් බිහිකර තිබීම අනාගතයේ ථෙරවාදී බෞද්ධ දර්ශනය ලොව පුරා බෙදා හැරීමේ මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් වනවා.” පිරිවෙන තුළ වසර අටක් අඛණ්ඩව අධ්‍යාපනය ලැබිය යුතුය. වර්තමානයේ අස්ගිරි මහා පිරිවෙන තුළ භික්ෂූන් වහන්සේ දහ අට නමක් හා ගිහියන් දොළොස් දෙනකු ගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටී. මෙහි භික්ෂූන් වහන්සේ වැඩ කළ යුතු වන්නේ කාලසටහනකට අනුවය. අලුයම 5.00 ට අවදිවන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ රාත්‍රිය වනතුරු අධ්‍යයන කටයුතුවල නිරතව සිටිති.


අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ


අස්ගිරි පිරිවෙන

 

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 21 වනදා සඳුදා පූර්ව භාග 01.55 ට ලබයි. 22 වනදා අඟහරුවාදා පූර්වභාග 02.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම නොවැම්බර් 21 වනදා සඳුදාය.
 

මීළඟ පෝය නොවැම්බර් 28 වනදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 21

Full Moonඅමාවක

නොවැම්බර් 28

First Quarterපුර අටවක

දෙසැම්බර් 07

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 13


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]