තාක්ෂණය බුදු දහම අනුවම යොදා ගනිමු:
දුගීබව තුරන් කිරීමට කෘෂි
කර්මාන්තය
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
සමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයනාංශයේ
කථිකාචාර්ය,
දර්ශනපති
වවුනියාවේ පඤ්ඤාසේකර හිමි
බුදුරජාණන් වහන්සේ දෙසූ දහම සර්ව කාලයටම සරිලන අකාලික නිදහස් චින්තනයකි. අද වන විට
විද්‍යාවේ දියුණුව නිසා විවිධ තාක්ෂණීක මෙවලම් විශාල සංඛ්‍යාවක් බිහිව ලෝකයම විශ්ව
පවුලක් වන තරමටම සම්බන්ධ වී ඇත. මේ මොහොතේ ඇමරිකාවේ වන සිදුවීම ක්ෂණයකින් අපටද මෙරට
සිට දැක ගන්නට තරම් තාක්ෂණය දියුණු වී තිබීම තුළින් තවත් මිනිසකුට ඉතා සමීප කොට ඇත.
මෙවන් අති මහත් දියුණුවක් ඇති යුගයක ලබාගත් ධන සම්භාරයන් හමුවේ සතුටින් සිටිමින්
තෘප්තිමත් ජීවිත ගත කරන්නන් කී දෙනෙක් සමාජයේ සිටිද්දැයි මොහොතකට කල්පනා කරන්න.
ඇතැම් විට කිසිවකු නැතුව ඇති යන සංකල්පය අපටම සිතෙන්නට පුළුවන.
සමස්ත සමාජයම එතරම්ම ගැටලුවලින් පිරී පවතින බව අපට පැහැදිලිය. මඳක් සිතා බලන්න. අද
ලෝකයේ කුසට අහරක් නැතිව මිය යන සංඛ්‍යාව එක් වර්ෂයක දී පමණක් ලක්ෂ ගණනකි. අපට එයින්
පැහැදිලි වන්නේ කුමක් ද? ලෝකයම විශ්ව පවුලක් වුවත් සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවත්
වේ යැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආහාර අවශ්‍යතාවයවත් සම්පූර්ණ කරගැනීම අපට
හැකියාවක් නැති බවයි.
අප ලෝකය දෙස බැලිය යුත්තේ තනි තනි පුද්ගලයන් ලෙස හෝ තනි තනි රටවල් වශයෙන් නොවේ.
එවැනි ශෝකජනක ඉරණමක් කරා ලෝකයා ගමන් කරන්නේ නිෂ්පාදනය හා පරිභෝජනය පිළිබඳව කළමනාකරණ
ප්‍රතිපත්තියක් ඔවුන් තුළ නොමැතිවීම නිසයි. බුදු රජාණන් වහන්සේ විසින් සිඟාලෝවාද
සූත්‍රයේ දේශනා කරන ලද අය - වැය සමව බෙදා ගැනීමේ පොදු ප්‍රතිපත්තියක් අපට නොමැති
වීම නිසා මේ තත්ත්වය උදා වී තිබේ.
බෞද්ධ ආර්ථික ක්‍රමවේදය පිළිබඳව නූතන ලෝකයේ අවධානය යොමුවන්නේ නම් දුගීකම හා ඒ
ආශ්‍රිතව ගොඩනැගෙන බොහොමයක් සමාජ ප්‍රශ්න සමස්ත සමාජයෙන්ම මුලිනුපුටා දැමීම අපහසු
වන්නේ ද නැත.
දුගීකම යනු සමාජ ගැටලුවකි. සමාජ ගැටලු මානව සමාජයේ ආරම්භයේ සිටම සමාජගතව තිබු බවද
නොරහසකි. ගැටලුවකින් තොර වූ සමාජ ක්‍රමයක් දැකිය නොහැකිය. එය ඇත්තකි.
සමාජයේ පැවැත්මට අහිතකර ආකාරයෙන් බලපානු ලබන මෙවැනි සමාජ ප්‍රශ්න ගණනාවක් නූතන සමාජ
විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. ඒ අතරින් දුගීකම යනු තවත් ප්‍රශ්න ගණනාවක්
ගොඩනගන්නට මුල් වන සමාජ ගැටලුවකි. දිළිඳුබව නිසා සොරකම ද, මංකොල්ලකෑම ද, අවි ආයුධ
භාවිතය ද, ලේ වැගීරීම් ද, මිනිස් ඝාතනයන් ද, සිදු වන බව බුදුන් වහන්සේ විසින් දේශනා
කරනු ලැබේ. දිළිඳුකම නිසා සොරකම, ආයුධ නිෂ්පාදනය, මනුෂ්‍ය ඝාතනය, ගණිකා වෘත්තිය, සහ
සියලු වාචසික දුරාචාරයන් ඇති වෙන බවය.ඒ නිසා දුගීකම අවධානයට ගතයුතු ප්‍රබල සමාජ
ගැටලුවකි.
දුගීකම යන්නෙන් අදහස් කරන්නේ ජීවන තත්ත්වයේ අවම බව හෝ ජීවත් වීමට අත්‍යාවශ්‍ය භෞතික
පහසුකම් නොමැතිකම හෝ නොතිබීමයි. දුගීකම සමාජ ප්‍රශ්නයක් ලෙසින් හඳූනාගෙන ඒ පිළිබඳව
අදහස් දැක්වීම ආරම්භ වන්නට පටන් ගන්නේ මෑත ඉතිහාසය තුළින් නොව මීට වසර 2600 කට පෙර
පහළ වූ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළින්ය. උන් වහන්සේ දුගීකම දුකක් ලෙසත් එයින්
මීදීම මෙලොව ලබන සැපයක් ලෙසත් දේශනා කර ඇත.
බුදු දහමෙන් පෙන්වා දෙන්නේ දුගීකම තුරන් කිරීමේ දී ආර්ථිකය ශක්තිමත් කළයුතු බවයි.
එහි දි අවධානය යොමුකළ යුතු අංශ දෙකක් ප්‍රධාන වශයෙන් හඳූනාගත හැකිය. එනම් ධන
නිෂ්පාදනය හා ධන පරිභෝජනයයි. මේ අංශ පිළිබඳව ඇති කර ගන්නා භාවිතය දුගීකම මුලිනුපුටා
දමමින් මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගත හැකි බව බුදු දහමින් පෙන්වා දෙයි.
බෞද්ධ ග්‍රන්ථවල ධනය යන්නෙන් ධන ධාන්‍ය, මිල මුදල්, ගෘහ වස්තුන්, භුමිය හා වනාන්තර
ඇතුලු පරිසර සම්පත් පමණක් නොව මානසික අභිලාෂයන් හා මානසික තෘප්තිය ද අදහස් කොට ඇත.
ගිහි කාම භෝගී ජනතාවට ලෞකික දිවි පැවැත්ම සඳහා ධනය අත්‍යවශ්‍යය.
“දාළිද්දියං භික්ඛවේ දුක්ඛං ලෝකස්මිං ගිහින කාම භොගිනො”
දිළිඳු අයට දිළිඳුකම දුකක් බව අංගුත්තර නිකායේ පෙන්වා දී ඇත.
දුගීකම දුරැලීම පිණිස ධනය ඉපයීමේ දී කිසිවෙකුටත් කරදරයක් නොවන ආකාරයෙන් ධනය ඉපයීම
බුදු දහමෙන් අනුදැන ඇත. එහිදි බඹරෙක් මලෙහි ඇති වර්ණ, ගන්ධ යන අංගයන්ගෙන් එකකටවත්
හානි නොවන සේ එහි පැණී ලබාගෙන රිය සකක් තරමේ මී වදයක් බඳීන්නාක් මෙන් ධනය ඉපයීම
වැදගත් බව දේශනා කරන ලදි.
“භෝගේ සංහරමානස්ස භමරස්සේව ඉරියතො”.
මෙසේ උපයන ධනය මතු පරම්පරාවට යොදාගැනීමට හැකි බව ඉන් අවධාරණය කර ඇත.
ධාර්මිකව තම ශ්‍රමය යොදවමින් ධන නිෂ්පාදනය සිදු කරගැනීම සඳහා ක්‍රම කිහිපයක් සූත්‍ර
දේශනාවලසඳහන් වී ඇත. ඒ අතර කසී (කෘෂිකර්මාන්ත කටයුතු), වණිජ්ජා ( වාණිජ කටයුතු),
ගොරක්ඛ ( පශු පාලන කටයුතු), ඉස්සත්ථ ( හමුදා සේවය), රාජ පොරිස (රාජ්‍ය සේවය),
යනාදියයි.
කෘෂිකර්මාන්තය දුගීකම තුරන් කිරිමේ දී ඉතා වැදගත් ධනෝපායන මාර්ගයක් ලෙසින් බුදු දහම
පෙන්වා දී ඇත. ඒ නිසා කෘෂිකර්මාන්තයට සම්බන්ධ උපමාවන් බුදුන් වහන්සේ විසින් තම
දේශනාවන්වල දී නිරතුරුවම යොදාගත්හ. මජ්ක්‍ධිම නිකායේ සුභ සූත්‍ර දේශනාවේ දි පෙන්වා
දී ඇත්තේ කෘෂිකර්මයම මහාර්ථ වූයේ, මහාකෘත්‍ය වූයේ, මහාධිකරණ ඇත්තේ, මහා සමාරම්භ
ඇත්තේ, සමෘද්ධ වනුයේ, මහත් ඵල වේ යනුවෙනි. සරු සාර අස්වැන්න ලබා ගැනීමට නම් කෙතක්
අංග අටකින් සමන්විත විය යුතු බව සඳහන්ය.
එහිදී සී සෑම. පෝරු ගෑම, බීජ වැපිරීම, නිසි කල දිය බැදීම, ආදිය ගැන ද සඳහන් වේ.
කෙතක බීජ පිහිටවිය යුතු අකාරය පිළිබඳව සටහනක් අංගුත්තර නිකායේ ලෝණඵල වග්ගයේ පඨම
සූත්‍රයේ දක්වා ඇත. කෘෂිකර්මාන්තයට බුදු දහමේ වටිනා තැනක් හිමිවන බව සනාථවන තවත්
එක් අවස්ථාවක් නම් සෑම අවස්ථාවකම බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාව වනුයේ ද “දෙවො වස්සතු
කාලෙන - සස්ස සම්පත්ති හොතු ච” කලට වැසී වසිවා කෙත්වතු සාර වේවා යනුවෙන් ප්‍රාර්ථනා
කිරීමයි.
මේ අනුව පෙනෙන්නේ බුදු දහම ධන නිෂ්පාදන ක්‍රමයක් ලෙසට කෘෂිකර්මාන්තයට වැදගත් තැනක්
දී ඇති බවයි. කෘෂිකර්මාන්තය නිසා මිනිසා ජිවත්වන පරිසරයේ මෘදු බව ඇති වීම, මිනිසා
පරිසරය සමග සම්බන්ධකොට තැබීමත්, ආහාර ද්‍රව්‍ය හා වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ධනය
වීමත් සිදුවන බව ෂූමාකර් පවසා ඇත. එහෙත් බුදුරජාණන් වහන්සේ ඒ බව පැවසුවේ වසර 2600කට
පෙරාතුවයි.
කෘෂි කර්මාන්තය සුළු රැකියාවක් එසේත් නැත්නම් ‘ගොවියා‘ යනු අධ්‍යාපනය නැති අයකු හෝ
නිසි අයුරින් අධ්‍යාපනය කර ගන්නට අසමත් වූ පුද්ගලයා ගොවිතැන් කළ යුතුය යන කිසිසේත්ම
නිරවද්‍ය නොවන මතයන්ද අද ලංකාව වැනි රටවල ඇතැම් පුද්ගල කොට්ඨාස අතර භාවිත කෙරේ.
එයින් සිදු වන එකම දෙයනම් සංවර්ධනය අඩාල වීම පමණි. ගොවියා නොවන්නට, කෘෂි කර්මය
නොවන්නට අපට ආහාර ලබා ගැන්මට හැකියාවක් ඇත්ද යන්න මොහොතකට හෝ සිතා බැලුවාද?
නූතන තාක්ෂණය යොදා ගෙන කෘෂි කර්මාන්තය වැඩි දියුණු කළ යුතුය. එහෙත් අප බොහෝ විට
තාක්ෂණය යොදා ගෙන ඇත්තේ මිනිසාගේ යහපතට නොව අයහපතට බවද පැහැදිලිය. කෘමිනාශක, වල්
නාශක තුළින් සිදුවන හානිය, පාපය වැනි කරුණු ගැනද අප බුදු දහම අනුවම කල්පනා කළ
යුතුය.ලෝකයම ස්වයං පෝෂිත කළ හැක්කේ බුදු දහමට අනුව කටයුතු කළහොත් පමණි.
තවත් කොටසක් ඉල් අමාවක පෝදා
( නොවැම්බර් 28 වනදා) පත්‍රයේ පළ වේ.
සාකච්ඡා කෙළේ - තාරක වික්‍රමසේකර |