බුදුරදුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා ශ්‍රේෂ්ඨත්වය
පානදුර ,පරත්ත, චිත්තභාවනා මධ්‍යස්ථානාධිපති,
ශාස්ත්‍රපති,
දොඩන්දූවේ සිරිකර නා හිමි
"එසේනම්, බ්‍රාහ්මණය ! මම ඒ අවිද්‍යාව නමැති බිත්තරයේ උපන් අවිද්‍යාවෙන් ගැවසීගත්
සත්ත්ව ප්‍රජාවෙහි අවිද්‍යා බිත්තරය පලාගෙන ලෝකයෙහි අද්විතීය වූයෙමි. අනුත්තර
සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ පළමුවැන්නා වෙමි.”අහං හි බ්‍රාහ්මණ ජෙටෙඨා සෙටෙඨා
ලොකස්ස” එනිසා බ්‍රාහ්මණය! මං ම ලොවට ජ්‍යෙෂ්ඨයාද ශ්‍රේෂ්ඨයාද වෙමි” යැ’යි
දේශනා කළහ."
බුදුරජාණන් වහන්සේ යනු ස්වභාව ධර්මයේ විස්මිත නිර්මාණයයි. ඒ විස්මිත භාවය නිසාම
උන්වහන්සේ ලොව පහළ වූ අනෙක් සියලු දෙනාටම වඩා ජ්‍යෙෂ්ඨත්වයට හා ශ්‍රේෂ්ඨත්වයට පත්
වූහ. ඒ සඳහා ඇති සුදුසුකම් කවරේදැ’යි අපි උන්වහන්සේගේ වදනින්ම විමසා බලමු.
එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජා නුවර “නලේරු” නම් යක්ෂයකුට අධිගෘහිත වූ
කොසඹ රුකක් මුල වැඩ සිටි සේක. ඒ අවස්ථාවේදී වේරඤ්ජා නමින් ප්‍රසිද්ධ බමුණෙක්
උන්වහන්සේ වෙත පැමිණ මෙසේ විමසුවේය. “ මා අහල තියෙනවා ශ්‍රමණ භවත් ගෞතමයන් තමන්ට
වඩා වැඩිහිටි, මහලු ,වයෝවෘද්ධ බමුණන්ට වඳින්නේ නැහැ. ඔවුන් පැමිණියහම හුනස්නෙන්
නැඟිටින්නේ නැහැ, ඔවුනට වාඩිවීමට ආසනයක් සූදානම්කර දෙන්නේ නැහැ’යි කියලා. ඉදින් මා
වැනි වයෝවෘද්ධයකුටත් එලෙසම කටයුතු කිරීමෙන් ඒ කරුණ මට දැන් වඩාත් පැහැදිලි වුණා.
මෙය සුදුසු නැහැ නේදැ’යි වේරඤ්ජා බමුණා ,භාග්‍යවතුන් වහන්සේගෙන් විමසුවා.
එයට ප්‍රති පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ, මෙසේ දේශනා කළහ. බ්‍රාහ්මණය !
දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයෙහි මා විසින් වැන්ඳවිය
යුතු හෝ හුනස්නෙන් නැගිටිය යුතු හෝ අසුනක් පැනවිය යුතු හෝ කිසිවකු නැති බවත්, යමෙකු
තථාගතයන් වහන්සේ එසේ කළ හොත් එය දරාගත නොහැකිව ඔහුගේ හිස ‘නටුවෙන් ගිලිහුණු තල්
ගෙඩියක් මෙන්’ සිඳී හිස එකෙනෙහිම බිම පතිත වන බවත් වදාළ සේක.
උපන් ඇසිල්ලෙහි සත් පියවරක් තබා “අග්ගො හමස්මි ලෝකස්ස , ජෙට්ඨො හමස්මි ලොකස්ස
සෙට්ඨො හමස්මි ලොකස්ස, අයමන්තිමාජාති නත්ථි දානි පුනබ්භවො” මම ලොවට අග්‍ර වෙමි. ,
මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසාන උපතයි. නැවත
පුනර්භවයක් නැතැ’යි ලොවට හඬගා ප්‍රකාශ කළ, සිංහනාද පැවැත්වූ තවත් මිනිසකු මේ
මිහිපිට නැත. ඒ විශ්මිත ප්‍රකාශයක් සමඟ, කල්ප සොළොස් දහසක් ආයුෂ ඇති කෙලෙස් පහකළ
සහම්පති මහා බ්‍රහ්මයාද ඇඳිලි බැඳගෙන බෝසතුන්ගේ එම ප්‍රකාශය අනුමත කරමින් ප්‍රසංසා
ලැබූ තවත් මිනිසකු නැත. එදා සුදොවුන් මාලිගාවේදී කුලගුරු අෂ්ටසමාපත්තිලාභී අසිත
ඍෂිවරුන්ට වැන්ඳවීම සඳහා ළඳරු සිදුහත් කුමරුන් මෙහෙයවූ අවස්ථාවේ තම ජටාව මත
සිරිපතුල් තැබූ විට වහා නැගිට සිටි අසිත ඍෂිතුමන් ළඳරු සිදුහත් කුමරුවන්ට වන්ඳනා
කරන්නේ ජ්‍යෙෂ්ඨ බව හා ශ්‍රේෂ්ඨ බවේ අසිරිමත්භාවය නිසා යැ’යි ද භාග්‍යවතුන් වහන්සේ
ප්‍රකාශ කළ සේක.
උන්වහන්සේගෙන් වන්දනා මාන, ගරු සැලකිලි ලැබීමට සුදුස්සකු තුන්ලොව කොතනකවත් නැතැ’යි
ද වදාළ බුදුරදුන්ට වේරඤ්ජා බමුණා වෙනත් කරුණු අටකින් චෝදනා කළේය. එයට ද පිළිතුරු
දෙමින් තමන් සියලු කෙලෙස් මුල් සිඳලූ බැවින් නැවත ගර්භසය්‍යාවක් නැති බවත් දේශනා කර
ජ්‍යෙෂ්ඨත්වය හා ශ්‍රේෂ්ඨත්වයට තවදුරටත් සුදුසුකම් දක්වමින් මෙසේ පැවසූහ. යම් සේ
බ්‍රාහ්මණය! කිකිළියක් බිත්තර අටක් හෝ දහයක් ගෙන ඒ මතුයෙහි ලැඟ,
සම්මා අධිසයිතානි
මනාකොට රැක්ක යුතුයි.
සම්මා පරිසෙදිතානි
මනාකොට උණුසුම් කළ යුතුයි.
සම්මා පරිභාවිතානි =
මනාකොට පෙරළමින් කුකුළු ගඳ ඇතුළු කළ යුතුයි.
එවිට ඒ කුකුළු පැටවුන් අතුරෙන් යමෙක් පළමුවම පාදයේ නියවලින් හෝ මුව තුඩින් හෝ
බිත්තරය පලාගෙන සුවසේ පිටතට නික්මෙන්නේ නම් ඒ පැටවාට ජ්‍යෙෂ්ඨයා හෝ කනිෂ්ඨයා යැ’යි
කිවයුතු වන්නේ දැ’යි ප්‍රශ්න කළහ.
භවත් ගෞතමයෙනි! පළමුව පිටතට ආ පැටවාට ජ්‍යෙෂ්ඨයා යැයි කිව යුතුයි. ඔහුම ඔවුන්
අතුරෙන් ජ්‍යෙෂ්ඨයා වෙයි.
එසේනම්, බ්‍රාහ්මණය ! මම ඒ අවිද්‍යාව නමැති බිත්තරයේ උපන් අවිද්‍යාවෙන් ගැවසීගත්
සත්ත්ව ප්‍රජාවෙහි අවිද්‍යා බිත්තරය පලාගෙන ලෝකයෙහි අද්විතීය වූයෙමි. අනුත්තර
සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ පළමුවැන්නා වෙමි.”අහං හි බ්‍රාහ්මණ ජෙටෙඨා සෙටෙඨා
ලොකස්ස” එනිසා බ්‍රාහ්මණය! මං ම ලොවට ජ්‍යෙෂ්ඨයාද ශ්‍රේෂ්ඨයාද වෙමි” යැ’යි දේශනා
කළහ.
කිකිළියගේ ක්‍රියාකාරිත්වය මෙන් බමුණුතුමනි ! මම වීර්ය ආරම්භ කළෙමි. සිහිය පිහිටුවා
ගෙන, කය සන්සුන් කළෙමි, සිත සමාධි ගත කළෙමි. රාත්‍රී පළමුයාමයෙහි පළමු විද්‍යාව ලබා
ගත්තෙමි. එවිට අවිද්‍යාව නැසුවෙමි. විද්‍යාව උපන්නෙමි. මෝහ අන්ධකාරය පහව ගොස්
ප්‍රඥා ලෝකය ලැබුවෙමි.
මෙසේ පුබ්බේනිවාසානුස්සති ඥානය පහළ විය. බ්‍රාහ්මණය, බිත්තරයෙන් කුකුළු පැටවකුගේ
උපත මෙන් මාගේ පළමු ආර්ය ජාතියේ උපත සිදුවිය. මෙසේ රැය මධ්‍යම යාමයෙහි චුතූපපාත ඥනය
ලැබීමෙන් ආර්ය ජාතියේ දෙවන උපතත්, රැය පැසුළු යාමයෙහි ආසවක්ඛය ඥානය ලැබී ආර්ය
ජාතියේ තෙවන උපතත් සිදු වුණි. මෙසේ ත්‍රිවිද්‍යා නමැති මුවතුඩින් අවිද්‍යා බිජුව
පළා පළමු ආර්ය උපත සිදු කිරීමෙන් ජ්‍යෙෂ්ඨත්වය හා ශ්‍රේෂ්ඨත්වය පැහැදිලි කළහ.
මෙයින්, අතිශය ප්‍රසාදයට පත් වේරඤ්ජා බමුණා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවේය.
“ජෙට්ඨො භවං ගොතමො. සෙට්ඨො භවං ගොතමො” භගවත් ගෞතමයෝ ජ්‍යෙෂ්ඨයහ. භවත් ගෞතමයෝ
ශ්‍රේෂ්ඨයහ. අද පටන් මා දිවිහිමිකොට සරණ ගිය උවසුවකු කොට දරත්වා’යි තම ශ්‍රාවකභාවය
බමුණුතුමා ප්‍රකට කළහ.
මේ අනුව අප භාග්‍යවතුන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨත්වය හා ශ්‍රේෂ්ඨත්වය හඳුනාගෙන උන්වහන්සේට
වඩා ඉහළින් කිසිවකු නොතබා උන්වහන්සේ තම එකම පරම විශ්වාසය බවට බමුණුතුමා පත්කර ගත්හ.
එසේනම්, පින්වත් ඔබ සැමත් අවිද්‍යාව නමැති බිජුව පළාගෙන ප්‍රඥා ලෝකය දැකීමට උත්සාහ
දරත්වා!
තෙරුවන් සරණයි |