චීවර පූජාව
මහාචාර්ය
කෝන්ගස්තැන්නේ
ආනන්ද හිමි
බුදුරජාණන් වහන්සේ විසින් ‘චීවරය’ හෙවත් සිවුර අනුමත කිරීම පිළිබඳ විස්තර,
‘මහාවග්ග’ පාළියේ අටවන චීවරක්ඛන්ධකයේ සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර
වේළුවනාරාමයේ වැඩ සිටින අවස්ථාවේ දී ජීවක වෛද්‍යවරයා පැමිණ, ‘ස්වාමිනි, මට
චණ්ඩපජ්ජෝත රජුගෙන් සීවෙය්‍යක නම් වටිනා වස්තු දෙකක් ලැබුණා. ඒවා ඔබ වහන්සේට පූජා
කරනවා. පිළිගන්න.
බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේත් භික්ෂූන් වහන්සේලාත් පාංශුකූලික සිවුරු දරන්නෙ. මගේ
අගනා සීවෙය්‍යක වස්ත්‍ර දෙක ගහපතිචීවර වශයෙන් පිළිගන්න. භික්ෂූන් වහන්සේලාටත් ගහපති
චීවර පිළිගැනීමට අනුමත කරන්න’යැයි ඉල්ලා සිටියේය. ජීවකගේ එම ඉල්ලීම පිළිගත්
බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ගෘහපති චීවරය අනුමත කරමි. යමෙක් කැමති නම් පාංශුකූල
සිවුරු දරන්න. යමෙක් කැමති නම් ගහපති සිවුරු දරන්න. මහණෙනි, ලැබෙන සිවුරකින්
සතුටුවීම මම පසසමි’යැයි වදාළහ. මෙහි සඳහන් සිවුරු වර්ග දෙකකි. එනම්,
පාංශුකූල සිවුරු, ගහපති සිවුරු
පාංශුකූල සිවුරු
පැරණි දඹදිව මිනිස්සු මිණී රෙදිවල ඔතා සොහොනට ගෙන ගොස් දමති. සමහරු මිණී සොහොනේ වල
දමා ඒ මත පස් ගොඩ ගසා රෙදිද්කින් වසති. පාංශු – කූල යනු ‘පස්ගොඩ ය. එම පස්ගොඩ උඩින්
වැසූ රෙද්ද ‘පාංශුකූල’ වස්ත්‍ර නම් වෙයි. තව ද පාංශුකූල සඤ්ඤාවෙන් ගන්නා රෙදිවලින්
සකස් කළ සිවුරුත් ඇත. සල්පිල්, සොහොන්, කසළගොඩ ආදියේ දමාගිය රෙදි, ගින්නෙන් දැවුණු,
සතුන් විසින් කන ලද කිසිකෙනෙකුට අයිතියක් නැති රෙදි ආදිය යම් කෙනෙක් ගත්තත්, ඔහු
සොරකමක් කළ කෙනෙක් නොවේ. එනිසා ‘අල්පේච්ඡ’ වූ (බලාපොරොත්තු අඩු) චාම් දිවියක් ගතකල
භික්ෂූන් වහන්සේලා, අනුන් විසින් අත්හැර දැමූ වස්ත්‍රවලින් සකස් කළ සිවුරු
(පාංශුකූල) ම දැරූහ. පාංශුකූල චීවර පමණක් ම දැරීම, ධූතාංග දහතුනෙන් එකකි. එබැවින්
යම්කිසි භික්ෂුවක් කැමති නම් ‘පාංශුකූල චීවර’ දැරීමටත් ‘ගහපති චීවර’ දැරීමටත්
බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලදී.
ගහපති චීවර
ගහපති චීවර වශයෙන් සැලකෙන්නේ දායකයන් විසින් සංඝයාට පූජා කෙරෙන, මසා නිම කරන ලද,
චීවර සහ සිවුරු මසා ගැනීමට පූජා කෙරෙන රෙදි ආදියයි. දායකයන්ගේ කැමැත්ත පරිදි,
පෞද්ගලික එක් භික්ෂුවකට, ආයතනයකට හෝ පොදු ආයතවලට හෝ සාංඝික ව පූජා කෙරෙන සිවුරු,
‘ගහපති චීවර’ වශයෙන් හැඳින්වේ. එනිසා සිවුරු වශයෙන් මසා නිම කළ චීවර ද සිවුරු මසා
ගැනීමට රෙදි ද ගහපති චීවරම වන්නේ ය. එවැනි සිවුරු ‘කඨින චීවර පූජාවල’ දීත් සංඝයාට
පූජා කළ හැකිය. එබැවින් කඨින චීවර පූජාව ද ගහපති චීවර පූජාවකි.
සිවුරු මැසීමේ ක්‍රමය
වප් (ඔක්තෝබර්) පසළොස්වක පෝ දින සිට ඉල් (නොවැම්බර්) පසළොස්වක පෝය දින දක්වා මාසය
හැඳින්වෙන්නේ චීවර මාසය වශයෙනි. එම මාසය තුළ දී මෙරට සියලු ම විහාරස්ථානවල කඨින
පින්කම් පැවැත්වේ. එහි දී කඨින සිවුරු මැසීමත් සිදුකෙරේ. විනයානුකූල ව කඨින සිවුරු
මැසීමේ දී පැරණි සම්ප්‍රදායට අනුව සිවුරු මැසීමට අවබෝධයක් තිබිය යුතුය. සිවුරු
මැසීම කෙරෙන්නේ ඒ ඒ භික්ෂූන් වහන්සේගේ උස ප්‍රමාණයටය.
පළමුව කළ යුත්තේ සිවුරු භාවිත කරන භික්ෂුවගේ අතේ රියන අඟල්වලින් මැන ගැනීමයි.
සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ අතේ රියන අඟල් 18 කි. ඒ අනුව පස්කඩ සිවුරක් මැසීමේ දී
රියන් හතර හමාරක් උසට ද රියන් පහ හමාරක් දිගට ද සිවුර මැසිය යුතුය. රියන අඟල් 18ක්
ඇති කෙනෙකුට මසන සිවුරේ උස අඟල් 81ක් ද පළල අඟල් 99ක් ද වේ. ඒ අනුව පස්කඩ සිවුරට
රෙදි කපා ගන්නේ මෙසේය.
සිවුරේ දෙපැත්තේ අඟල් 6යේ නුවා දෙකකි. එහි 62= අඟල් 12 කි. සිවුරේ උස අතට ගැබ 2 කි.
ගැබ 2කට 22 = අඟල් 4කි. එහි එකතුව 12 + 4 =අඟල් 16 කි. සිවුරේ උස අතට ඇති අඟල් 81
කින් අඟල් 16ක් අත්හළ යුතුය. (81- 16 = 65) ඉතිරි වන අඟල් 65 අතු 5ට බෙදූ කල්හි එක්
අත්තක පළල අඟල් 13ක් වේ. (65 / 5 = 13)සිවුරේ උස අතට උඩ හා යට ඇති නුවා දෙකත්, ගැබ
දෙකත් අත්හළ කල්හී, ඉතිරිය, සමාන්තර කොටස් පහකට බෙදේ. එවිට අත්තක, නුවාව සහ ගැබ හැර
උඩම කොටස අඟල් 13ක් ද යට කොටස් දෙක අඟල් 26ක් (13 + 13 = 26) බැගින් ද තිබේ.
සිවුරේ පළල පැත්තේ තිබෙන්නේ අඟල් 99කි. එහි දෙපැත්තේ නුවා දෙකක් හා ගැබ 4ක් ඇත. එහි
ඇති අඟල් 99යෙන් (6 2 = 12) + (2 ය 4 = 8) = 20 ක් (පළල පැත්තෙන්) අඩු කළ යුතුය.
එවිට 99 – 20 = 79 ක් වේ. එය අතු 5ට බෙදිය යුතුය. (79/5=15 දශම 8කි.) ඉන් පසු ව
රෙද්දේ පළල බලා, රෙදි අපතේ නොයන ලෙසට 1 සහ 5 යන අතු දෙක කපා ගත යුතුය. එම අතු දෙකේ
ම නුවාවක් සහ ගැබයක් ඇත. එනිසා 1 හා 5 යන අත්තක පළල, අඟල් 23.8කි. (62 + 15.8
=27.8) 2 සහ 4 අතු දෙකට ගැබක් හා අත්තක් සිටින සේ අතු දෙකක් කපා ගත යුතුය. (අඟල් 2
+ 15.8 = 17.8) පළලින් 2 සහ 4 අතු සමානය. 3වන අත්තේ පළල අඟල් 15.8 කි. ඉතිරි
රෙදිවලින් අඟල් 6යේ නුවා, අවශ්‍ය ප්‍රමාණයට කපාගත යුතුය.
හත්කඩ, විසි එක්කඩ ආදී සිවුරු මැසීමේ දී ද මේ ක්‍රමය ම අනුගමනය කෙරේ. හත්කඩ සිවුරක්
මැසිමේ දී උස අතට අතු කොටස් තුන හමාරක් ගත යුතුය. උස පැත්ත හතට බෙදා සංඛ්‍යා දෙක
දෙක තුනක් ද තනි එක් කොටසක් ද ගෙන ගැබ මැසිය යුතුය. |