UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය: ජනපද චාරිකාවෙහි වැඩම කළ බුදුරජාණන් වහන්සේ සිව්වන වස්කාලය ගත කළේ කොහිදීද? එහිදී සිදුවුන සුවිශේෂී සිදුවීම් මොනවාද?

පිළිතුර:

රජගහනුවර වේළුවනාරාමයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ සිව්වන වස් කාලය එහි ගත කළහ. මෙකල බිම්බිසාර රජතුමා තක්සලා නුවර රාජ්‍ය කළ තම මිත්‍ර පුක්කුසාති රජතුමාට රියන් සතරක් දිග වියතක් පළල රන්පතක ධර්මය ලියවා යැවීය. එතුමා එය කියවා රාජ්‍ය හැර දමා රජගහනුවරට අවුත් බුදු බණ අසා අනාගාමීව දෙසිය පනසක් පිරිස සමග පැවිදි විය. රජගහ නුවර වැසි උග්‍රසේන නම් සිටු පුත්‍රයෙක් බණ අසා සිව්පිළිසිඹියාපත් මහරහත්ව එදිනම පැවිදි විය.

ප්‍රශ්නය: ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නෙහි පොසොන් මස පුර පසළොස්වක දා දෙවන පෑතිස් නිරිඳුන් ප්‍රමුඛ සතළිස් දහසක් ශ්‍රී ලාංකිකයන්ට චුල්ල හත්ථි පදෝපම සූත්‍ර දේශනාවෙන් පසුව ලක්දිව බුදු සසුන පිහිට වූහ. මෙයින් පසු සිදුවූ දෙවනපෑතිස් රජුගේ ශාසනික මෙහෙවර සටහන් කරන්න.

පිළිතුර

සංඝ සම්මතයෙන් අනුරාධපුර මහ මෙවුනා උයනෙහි උපෝෂථාගාරයකින් ඉදිවිය. මිහිඳු මාහිමියන් රජු හා සමග උයන වටා ඇවිද විහාර ආරාමයන් පිහිට විය යුතු තැන් සම්මත කළහ. “අටමස්ථානය” නමින් සඳහන් වන්නේ ඒ සම්මත කළ ස්ථානයි. තවද මහ මෙවුනා උයන සංඝයාට පූජා කිරීම. මිහින්තලා කණ්ඨක චෛත්‍ය වටා කරවන ලද අටසැටලෙන් විහාර සඟ සතුකොට පූජා කිරීම. අරිට්ඨ කුමරුන් ප්‍රධාන පිරිස පැවිදි කරවා උපසම්පදා කරවීම දෙසැටක් රහතන් වහන්සේලා අටසැට ලෙන්වල ආරාධනා කොට වස් වැසවීම බුදුරදුන්ගේ දකුණු අකුධාතුව නිදන්කොට ථූපාරාමය කරවීම, මිහිඳු මාහිමි ආරාධනයෙන් දඹදිව ශ්‍රී මහාබෝධි දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමවා රෝපණය කිරීම, වෙස්සගිරිය හා ඉසුරුමුනි විහාරය කරවීම, සංඝමිත්තා රහත් මෙහෙණියගේ මෙහෙයවීමෙන් උපාසික මෙහෙණවර හා හත්ථාල්හක මෙහෙණවර කරවීම ආදිකොට මහත් ශාසනික මෙහෙවරක් අවුරුදු සතළිහක් රාජය කාලය තුළ සිදු විය.

ප්‍රශ්නය : බුදු දහමට අනුව “පුද්ගල පද්මය” විකසිත විය යුත්තේ සමාජයීය කේන්ද්‍රය තුළමය. මේ නිසා කෙනෙකු නිරතුරුවම අන් අයගේ ජීවිත වටිනාකම පිළිබඳව සැලකිය යුතුමය. ධර්මයෙහි සඳහන් “අත්තුප්පනායික” ධම්මපරියාය” තමා උපමානය වශයෙන් සලකා දේශනා ක්‍රමයට අනුව සමතුලිත තාවයක් පවතී ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර

මම යන “රූප කාය” බිහිවන්නේ අපට පරිසරය (පතිරූපදේසවාස) සාධක කොටගෙන බව බුදු දහම අවධාරණය කරයි. සිඟාලෝවාද සූත්‍රාගත දේශනාවලට අනුවත් පුද්ගල පෞරුෂය ගොඩ නැගෙන්නේ අවට පරිසරයේ ප්‍රතිඵලයක් වශයෙනි. බුදුරජාණන් වහන්සේ එම සූත්‍රයෙහි අවධාරණය කරන්නේ යුතුකම් වලින් අයිතිවාසිකම් ගම්‍යමාන වන බවත් අයිතිවාසිකම් වලින් යුතුකම් ගම්‍යමාන වන බවත්ය.

අපට ලැබෙන අයිතිවාසිකම්වලට කෘතගුණ පූර්වක ආකල්පයක් දක්වන්නේ නැත්නම් දුදනන් හා මෝඩයන් (අසේවනාච බාලානං එතං මංගල මුත්තමං) බහුල සමාජයක් බිහිවන ලකුණු පහළවන බවත් සමාජය සදාචාරාත්මක අගයෙන් ද පිරිස් පුද්ගල අගය ද හීන වී යන බවත්ය. එයින් අදහස් වන්නේ සොබාදහම අපවෙත සාධාරණ අන්දමින් සලකන නිසා අප විසින් ද සොබා දහමට සාධාරණ අන්දමින් සැලකිය යුතු බව අවධාරණය කරයි. ස්වභාව ධර්මය සමඟ කතාබහක් ඇති කරගත හැකි එකම මග නම් සදාචාරය බව බුදුසමය විශ්වාස කරයි

ප්‍රශ්නය: බුදුරජාණන් වහන්සේගේ ධර්ම දූත ව්‍යාපාරයේ උසස් ප්‍රතිඵල ලැබූ ශාක්‍ය ජනපදය බුදුරදුන්ගේ ජන්ම භූමිය ද විය. මෙම ශ්‍රේෂ්ඨ ශාක්‍ය ජනපදයෙන් බිහි වූ බුදු සසුනෙහි විශේෂිත කිහිපදෙනෙකු සටහන් කරන්න.

පිළිතුරු

මහා ප්‍රජාපතී ගෝතමී, යශෝධරා, රාහුල, නන්ද, අනුරුද්ධ, නාග කිම්බිල යන අයයි

ප්‍රශ්නය: ”සතිපට්ඨාන” යනු අප කරන දෛනික ක්‍රියා විෂයෙහි අඛණ්ඩ අවධානය යොමු කිරීමයි. ඒ අනුව භාවනාව ජීවිතය ක්‍රියා විරහිත කිරීමක් නොව අලස, උදාසීනකම නැතිකොට දිවියට අවදිබවක් ලබාදී තියුණු සංවේදී තත්වයට ඉන්ද්‍රියයන් පුහුණු කරවන ව්‍යායාමයක් වෙයි. පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර

සාමාන්‍ය මිනිස් ස්වභාවය වන්නේ අතට පත් වර්තමාන මොහොතේම ජීවත්වීම නොවේ. මිනිසා සෑම විටම ඊට පෙර ජීවත් වූ අවස්ථාව ගැන සිතමින් පසුතැවිලි වෙයි. ශෝක වෙයි. යළි ආශ්වාදයක් විඳියි. නැතහොත් ඉන්පසු එන මොහොත ගැන සිතමින් සිහින මවයි. ප්‍රාර්ථනා කරයි. සැලැසුම් හදයි. ඒ අතර වර්තමාන මොහොතේ කෙරෙන ක්‍රියාවන් ද නිසි අවධානයකින් තොරව කෙරීගෙන යයි. එහි පූර්ණ අවබෝධයකින් කැපවීමකින් යෙදීමට පුද්ගලයාට අවකාශයක් නොලබයි. සැබවින්ම ඔහු වර්තමානයේ ජීවත් නොවෙයි. අතීතයේ හෝ අනාගතයේ ජීවත් වෙයි. නිසි සතුටක් දරා ගැනීමට හෝ සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගැනීමට ඔහු අපොහසත් වෙයි. බොහෝ විට බරපතළ කරදරයකට ඇද වැටෙයි. නිදසුනක් වශයෙන් වාහනයක් පදවන රියැදුරෙකු ගැන සිතා බැලිය හැකියි. ඔහු කරන ක්‍රියාවෙහි සිහිය (සම්පජානකාරී) ක්‍රියාව හා රැඳී නොපවත්නේ නම් ඒ හැම භයානක තත්වයකට මුහුණදීමේ අවදානම හැම මොහොතකම තිබේ. ඒ නිසාම සිහිය ඇතිව ඕනෑම වැඩක නිරතවීම ප්‍රයෝජනවත් බව කවරෙකුට වුව අත්දැකීමෙන් අවබෝධ වනු ඇත.

 

   බිනර අව අටවක පෝය

 බිනර අව අටවක පෝය සැප්තැම්බර් 23 වනදා සිකුරාදා පූර්ව භාග 04.19 ට ලබයි.
24 වනදා සෙනසුරාදා පූර්වභාග 02.40 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 23 වනදා සිකුරාදාය.

 

මීළඟ පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]