ඇසළ රන්දෝලි මහා පෙරහර 26 වනදා පැවැත්වෙන
කුරුණෑගල රිදීගම ඓතිහාසික රිදී විහාරය
අසේල කුරුළුවංශ
ඓතිහාසික රිදී විහාරය මූලික කරගත් රිදී විහාරස්ථ පත්තිනි දේවාලය සහ කුමාර බණ්ඩාර
දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍රානුකූලව විචිත්‍රවත් අන්දමින් මෙවරත්
පැවැත්වෙයි. රිදී විහාරයේ විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා
නාහිමියන්ගේ අනුශාසනා මත රිදී විහාරයේ භාරකාර මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික
තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ මෙහෙයවීමෙන් පෙරහර සංවිධානය කෙරෙන අතර
අවසන් රන්දෝලි මහපෙරහර මෙම මස 26 දින වීදි සංචාරය කෙරේ.
|
රිදී
විහාරයේ විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු පාර්ශ්වයේ මහානායක
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමි |
මෙදින රාත්‍රියේ රන්දෝලි මහ පෙරහර රිදී විහාරයෙන් පිටත්ව විහාර පාරෙන් පැමිණ දේවාල
හන්දියෙන් කැප්පෙටිපොළ මාර්ගයට පිවිස රිදීගම නගරය දක්වා ගමන්කර පොලීසිය මාර්ගයට
හැරී ඩිපෝව හන්දිය දක්වා පැමිණ ප්‍රධාන මාර්ගයට පිවිස දේවාළ හන්දියෙන් විහාර පාර
ඔස්සේ පැමිණ ගෙවදීමට නියමිතය. පසුදින නිලන්තට්ටුව ග්‍රාමයේ දියකැපුම් තොටේදී
දියකැපීමෙන් පසු පෙරහර නිමාවට පත්වෙයි.
කුරුණෑගල වෑඋඩ විල්ලි හත්පත්තුවේ මාඳුරේ කෝරළේ රිදීගම නම් ගම්මානයේ පිහිටි රිදී
විහාරය වසර දෙදහස් තුන්සියක පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. මහනුවර රාජධානි සමයේදි
රජමහ විහාරයක් බවට පත්ව ඇති රිදී විහාරය ආරම්භය සිදුව ඇත්තේ භික්ෂූන් වහන්සේ බණ
භාවනා සඳහා එම ස්ථානය තෝරාගැනීම හේතුවෙන් බවට ඉතිහාස තොරතුරු හමුවෙයි. ධම්මරක්ඛිත
නම් හිමිනමක් එහි වැඩවාසය කරමින් බණ භාවනා කටයුතුවල නිරතවු බවට වාර්තා පවතින අතර
උන්වහන්සේ වැඩසිටි ලෙන අදද හඳුනාගත හැකි තත්ත්වයෙන් පවතියි. මිහිඳු මහරහතන් වහන්සේ
මෙරටට වැඩමකර සුළු කාලයකට පසු සිට රිදී විහාරය පිළිබඳ වාර්තා හමුවන අතර එහි
භික්ෂූන් වහන්සේ පන්සිය නමක් පමණ බණ භාවනාවන්හි නිරතව සිට ඇත. උන්වහන්සේලා වැඩ සිටි
ලෙන්වල ඇති බ්‍රාහ්මීය අක්ෂර මගින් මේ බව තහවුරුව තිබේ.
අනුරාධපුර රාජධානි සමයෙන් පසු පොළොන්නරුව රාජධානි සමය පැවැති සමයේ මහ පරාක්‍රමබාහු
රජු මෙම විහාරස්ථානය වෙත පැමිණ තිබෙන බවද ඉතිහාස වාර්තා පෙන්වා දෙයි. නිශ්ශංකමල්ල
රජුද මෙහි පැමිණි බවට විශ්වාසයක් පවතී. මෙහි විහාරය මහ විහාරයක් බවට පත්කර සංවර්ධනය
කර ඇත්තේ ක්‍රිස්තුවර්ෂ 1747 සිට 1782 දක්වා මහනුවර රජකළ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු
විසිනි. වර්තමානයේ රිදී විහාරයේ වැඩවාසය කරන්නා වූ සඟ පරපුර කීර්ති ශ්‍රී රාජසිංහ
රජදවස පටන් පැවත එන අතර එහි මූලිකත්වය ගෙන ඇත්තේ තිබ්බටුවාවේ සඟ පරපුර විසිනි.
මල්වතු පාර්ශ්වයේ ප්‍රථම මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත
මහානාහිමියන්ගේ සඟ පරපුර යටතේ මෙම විහාරය සංවර්ධනයට ලක්වූ අතර වත්මන් මහා නායක
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ එහිලා සුවිශේෂි
දායකත්වයක් ලබාදී ඇත. වත්මන් මල්වතු මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඓතිහාසික රිදී
විහාරයේ නායක පදවියට පත්ව ඇත්තේ 1974 වසරේදීය.
රීදී විහාරයේ නායක පදවිය හෙබවූ
ස්වාමින්ද්‍රයන් වහන්සේ සිව්නමක්ම සියම් මහ නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහා
නායක පදවිය හොබවා තිබීම විශේෂත්වයකි. වර්තමානයේ එහි නායකත්වය හොබවන මල්වතු මහානායක
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් තිබ්බටුවාවේ පූරිජ්ජල
සරණංකර මහා නාහිමියන්ගේ සහ තිබ්බටුවාවේ මේධංකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ
ශිෂ්‍ය ස්වාමින්ද්‍රයන් වහන්සේ නමකි. රිදී විහාර කන්දට අරක්ගත් දෙවියන් හැටියට
පළාතේ ජනතාව කුමාර බණ්ඩාර
|
රිදී විහාරයේ
භාරකාර මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික
තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමි |
දෙවියන්ට වැඳුම් පිදුම් සිදුකරන අතර එම දෙවියන් උදෙසා කැප
කළ දේවාල දෙකක් රිදී විහාර භූමියේ දක්නට ලැබේ. රිදී විහාර කඳු පාමුල එක් දේවාලයක්ද
අනෙක උඩ විහාර භුමියේද පිහිටා තිබෙන අතර මෙම දේවාල මගින් වාර්ෂිකව උත්සව හතරක්
සංවිධානය කරනු ලබයි. මින් ප්‍රධානතම උත්සවය වන්නේ පෙරහර මංගල්‍යයි. අනුරාධපුර සිට
මලය රට දක්වා වැටී තිබුණූ එක් මාර්ගයක් රිදී විහාරය අද්දරින් වැටී තිබෙන අතර ඒ මඟ
පැමිණි වෙළෙන්දෙකු ගල් ලෙනක රිදී ඉල්ලමක් තිබෙනු දැක රුවන්මැලි සෑය ගොඩනගමින් සිටි
දුටුගැමුණු රජුට ඒ බව දැනුම් දී ඇත. රජු අමාත්‍යවරුන් එවා ලෙනෙහි ඇති රිදී
අස්කරවාගෙන ගොස් තිබෙන අතර මෙහි රජු විසින් පසුකාලීනව පිළිම වහන්සේ නමක් කරවා
විහාරස්ථානය සම්බුදු ශාසනය පවතින තාක්කල් ආරක්ෂාවන්ට මහාභූමි පුජාවක් කර තිබේ. රිදී
විහාරයේ ගල මුදුනට ගොස් ලෝකඩ තම්මැට්ටමක් හඬවා එහි හඬ ඇසෙන දුරට පිහිටි ඉඩම් සියල්ල
විහාරයට පූජාකිරීමට රජු කටයුතු කළ බව ඉතිහාසයේ දැක්වෙයි.
රිදි විහාර භූමියේ පිහිටි ප්‍රධානතම විහාරය මහා විහාරයයි. විශාල මෙන්ම උස ගල් ලෙනක්
යට මෙය පිහිටා තිබේ. මෙහි සිතුවම් රැසක් දක්නට ලැබෙන අතර බුදුන් වහන්සේ වැඩ හිඳින
විලාසය පෙන්නුම් කරන එක් චිත්‍රයක නිර්මාණකරු එය ඇඳීමට පෙර මුලින් යෙදූ කටුසටහනේ
රේඛා අද ද දක්නට ලැබෙයි. බුදුගෙට ඇතුළුවන ස්ථානයේ ඇති මකර තොරණද උඩරට පාරම්පරික කලා
ශිල්පීන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන්නාවූ මහඟු නිර්මාණයකි. මේ ආකාර සිතුවම් හා
පිළිම රැසක් විහාරස්ථානයේ දක්නට ලැබෙන අතර ඒවා මතුපරපුර වෙත ආරක්ෂාකර දීම පිණිස ඉතා
ඉහළ දායකත්වයක් තිබ්බටුවාවේ සඟ පරපුර විසින් ලබාදී ඇත. සාමාන්‍යයෙන් විහාරස්ථානයක
දක්නට නොලැබෙන ආකාරයේ සිතුවමක් ලෙස මෙහි ඇති ක්‍රිස්තූන්වහන්සේගේ රූප සමූහය
පෙන්වාදිය හැකිය. ඕලන්ද ආණ්ඩුකාරවරයකුගෙන් මෙම කි‍්‍රස්තුස් වහන්සේගේ රුව සහිත
පිඟන් ගඩොල් කැට විහාරස්ථානයට හිමිව තිබෙන බව දැනගන්නට තිබේ. මහාවිහාරයේ සිට උඩ
විහාරයට යෑමට ඇති ඇත් දතින් කල උළුවස්ස විහාරස්ථානයට එක්කරන්නේ දැඩි ආලෝකයකි.
|