නිකිණි අව අටවක 2016.08.25
තුන් සිත හා තුන්දොර
ඕනෑම කටයුත්තක් සිදු කිරීමේදී ඊට යම් අරමුණක් තිබිය යුතුවේ. පින්කමක් කිරීමේදීත් ඒ
සඳහා අරමුණක් තිබිය යුතුය. පින්කම් අතර දානාදී පින්කම් ඇතුළු විවිධ වූ පින්කම්
පවත්වනු ලැබේ. ගුණ සමරුවට ජන්ම සමරුවට අභිනව ගොඩනැගිල්ලක් ගෙවදීමට ආදි වශයෙන් විවිධ
පින්කම්වල නිරත වේ. ධර්ම දේශනා, දහම්පොත පිරිනැමීම් ආදි ධර්ම දානමය පින්කම්ද,
අභයදාන පින්කම් ආදි නොයෙක් අයුරෙන් පින්කම් සිදු කිරීම බෞද්ධ සමාජය තුළ දක්නට
සුවිශේෂි ලක්ෂණයකි.
කවර ක්‍රියාවකට වුවද ඒ සඳහා අරමුණක් පැවැතිය යුතු හෙයින් පින්කමක් සිදු කිරීමටද
බෞද්ධයා යහපත් අරමුණක්ම මුල් කර ගනී. එබඳු යහපත් අරමුණු සමාජයේ යහපැවැත්මට බෙහෙවින්
අත්‍යාවශ්‍යය. පින්කම් නිසා යුතුකම්ද ඉටුවේ. එමෙන්ම අන්‍යෝන්‍යය සුහදතාවයද වර්ධනය
වේ.
පින්කමක් සිදු කිරීමට කල්පනා කිරීම හෙවත් සිතිවිලි උදාකර ගැනීමේ අවස්ථාව, පූර්ව
චේතනා නමින් දැක්වේ.යහපත් අරමුණක් ඉටු කිරීම සඳහා යහපත් ක්‍රියාවක නිරතවීමට කල්පනා
කිරීම හෙවත් සිතීම වර්ධනය වී පින්කම සිදුකරන අවස්ථාව පැමිණීමට පෙර ඒ සඳහා සැලසුම්
සහගතව පින් වැඩෙන අයුරෙන් අලංකාරව පින්කම් සිදු කිරීමට මුල පිරීමෙන් පූර්ව චේතනාව
මුදුන්පත් වී පින්කම සිදුකරන අවස්ථාවට පැමිණේ. එය මුඤ්චන චේතනාව ලෙස විස්තර කෙරේ.
කර්මය, කර්මඵලය විශ්වාස කරමින් පින්කමෙහි නිරතවීම මගින් මුඤ්චන චේතනාව සඵල කර ගැනීම
මහත් ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගා ගැනීමට හැකිවනු ඇත. ඕනෑම අයෙකු පින්කමක් හෝ යහපත්
ක්‍රියාවක් සිදු කිරීමට මුලිකව කල්පනා කර සැලසුම් සහගතව ඉටු කිරීම තුලින් එහි
වැදගත් අවස්ථාව වන පින්කම සිදුකරන අවස්ථාව උදාකර ගනී. එය පින්කමක යහපත් ක්‍රියාවක
වැදගත් අවස්ථාවකි. එහෙත් කලාතුරෙකින් කෙනෙකු පින්කම එතෙකින් අවසන් යැයි කල්පනා කරනු
ලැබේ. පින්කමක අවසාන අවස්ථාව මෙය යැයි නම් කළ හැකිද? යහපත් ක්‍රියාවක් හෝ පින්කමක්
සිදු කරත් එය තම ජීවිත කාලය පුරාම කල්පනාවට ගනිමින් සතුටු විය හැකි වෙතොත් ඒතාක්
කල් පින්කමෙන් පින් වැඩේ. එය අපර චේතනා අවස්ථාවයි.
යහපත් ක්‍රියාවක් පින්කමක් සිදු කිරීමේදි ඒ පිළිබඳ යහපත් සිතිවිල්ල සිතට ගලා ආ
මොහොතේ සිට එය ඉටු කිරීමත් එවන් ක්‍රියාවක් සිදු කළේ යැයි නිරන්තරයෙන් සිහිපත්
කරමින්, කරවමින් සතුටුවීමත් මගින් පින්කමක යහපත් ක්‍රියාවක ආනිශංස වඩා වර්ධනය කරගත
හැකිවේ. එබඳු යහපත් කටයුත්තක මුල, මැද අගයන තුන් සිත ප්‍රසාදයට පත් කර ගත හැකි
වෙතොත් එය මහඟු පින්කමක් වනු ඇත. කවර පින්කමකදී වුවද භෞතික වස්තු පිරිනැමීම එය
පින්කමක් සපුරා ගැනීමට උපකාරවන උපකරණ ලෙස සැලකිය හැකිය. පින්කමක අරමුණ වර්ධනය වී
පින් සිතිවිලි වර්ධනය කරවන අයුරු එමගින් පැහැදිලි වේ. මෙසේ කල්පනා කර බලන විට ඕනෑම
යහපත් ක්‍රියාවකට යහපත් සිතිවිලි මූලික වන බවද එමගින් පැහැදිලි වැන්නකි.
යහපත් ක්‍රියාවක් කිරීමට පෙර ඒ පිළිබද සිතීමේ සිට පින් සිත් වර්ධනය වන්නාසේම අයහපත්
ක්‍රියාවක් සිදු කරන විටද එබඳු අයහපතක් කළ යුතු යැයි සිතු සිතුවිල්ලේ සිට හිතින්
දහස්වර පසු තැවිල්ලට පත්වන බව අවබෝධ කරගත යුත්තකි. පිනක සහ පවක අතර පවතින වෙනසද එය
වේ. කවර ක්‍රියාවක් සිදු කිරීමේදී වුවද ඊට අරමුණ මුල් වී ක්‍රියාත්මක වී සතුට හෝ
අසතුට උදාකර ගන්නා හෙයින් නුවණැති මනුෂ්‍යයා අයහපතෙන් වැළකීමට උත්සාහ කරනුයේ එමගින්
ජීවිතාන්තය දක්වා පමණක් නොව පරලොවදීද එහි දුක් විපාක විඳින්නට සිදුවන හෙයිනි.
මේ අනුව බලන විට හැම විට තමා දුකට,වේදනාවට පසුතැවීමට පත් කරවන පහත් දේ තුළින් ඈත්වී
කටයුතු කිරීමටත් හැම විට සතුටට සැනසීමට පත්කරවන යහපත් දෑ සිදු කිරීමට උත්සාහ කරන්නේ
නම් පවින් වැළකී පිනට ගත සිත යොමුවේ. තුන් සිත ප්‍රසන්න කටයුත්තක යෙදවීමට වග බලා
ගැනීමට උනන්දුවීම බෞද්ධයාගේ අපේක්ෂාව හා අරමුණ විය යුතුය. දස අකුසලයෙන් වෙන්ව දස
කුසලයෙහි නිරත වීමට කටයුතු කිරීමෙන් තුන් සිත පැහැදී තුන්දොර සංවර වේ. තිදොර සංවරයට
හේතුවන තුන් සිත පහදවාගත හැකි ගත යුතු පුණ්‍ය සිතිවිලිවලම නිරත වීමට නිරන්තරයෙන්
උත්සාහ කරමු. සසර පවතින බියකරු ස්වභාවය සැබැවින්ම ශක්ති පමණින් අවබෝධයට මග සලසා
ගනිමු. ජීවිත රඟ මඬලයෙහි සියලු රඟපෑම්වල ඵලවිපාක තමාට විඳීමට සිදුවන බව නිරන්තරයෙන්
කල්පනාවට ගනිමු.
|