දුතිය සාමා මහරහත් තෙරණින් වහන්සේ
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
‘දිගු මගකට පිවිසි පුරුෂයෙකුට සැක බිය සහිත මෙතෙර ඇති, සැක බිය රහිත එතෙර ඇති මහත්
වූ දියකඳක් හමුවෙයි. ඔහුට ඉන් එතෙර වීමට නැවක් හෝ නැත. එබැවින් ඔහු විසින් ම ලී
දඩු, අතු කොළ කඩා එක්කොට පහුරක් බැඳ, අතින් පයින් වෑයම් කොට මේ දියකඳ තරණය කළ
යුතුයැයි හෙතෙම සිතයි. හෙතෙම එලෙසම පහුර තනයි. එහි උපකාරයෙන් එතෙර වෙයි. එතෙර වූ
පසු ‘මේ පහුර මට මහත් සේ උපකාරී විය. මම මෙය ගොඩට පමුණුවා හෝ දියෙහි පාකොට යවා
කැමති මඟකින් යම්යි” සිතයි. එයම පහුරට යුතුකම් ඉටුකිරීමක් වන්නේ ය.
බිය සැක සහිත වූ මෙතෙර නම් සසරයි. සැක බිය රහිත එතෙර නම් නිවනයි. දිය කඳ නම් කාම,
භව, දිට්ඨි, අවිජ්ජා යන චතුරෝඝයයි. පහුර නම් දහමයි. පහුරේ උපකාරයෙන් එතෙර වූ පහුර
කරතබා නොගිය එනම් දහමද දෘෂ්ටියක් සේ දැඩිව අල්ලා නොගත් සියල්ල අත්හල සසරින් එතෙර වූ
උතුමෝ නම් බුදුපියාණන් වහන්සේගේ හදවතින් නිපන් ඖරෂ පුත්‍ර - පුත්‍රී වූ මහරහත්
උතුමෝය. එසේ චතුරෝඝයන් තරණය කොට ඉපදෙන – මැරෙන ලොවට මරණය අවසන් කළ දුතිය සාමා
මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව සිත පහදවා ගනිමු. මේ ගෞතම සම්බුදු සසුනින් උපරිම ඵල
නෙළූ වීර්යවන්තියක්, පින්වන්තියක්, භාග්‍යවන්තියක් යැයි චිත්ත ප්‍රමෝදය ඇතිකර
ශ්‍රද්ධාවෙන් සංඝරත්නය සරණ යමු.
මොතොමෝ පෙර බුදුවරුන් වැඩ වාසය කළ සමයන්හි බොහෝ කුසල් දහම් රැස්කොට විපස්සී
බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි “චන්ද්‍රභාගා” ගංතෙර කිඳුරියක් වී උපන්නාය.
කෙළිදෙලින් කටයුතු කළ මොතොමෝ කිඳුරන් සමඟ සතුටුවව වාසය කළාය.
එක්දිනක මැයගේ පුණ්‍ය ශක්තිය දුටු විපස්සී බුදුපියාණන් වහන්සේ කුසල බීජය රෝපණය කරනු
වස් අනුග්‍රහ පිණිස එම ගංඉවුරෙහි සක්මනෙහි යෙදුනු සේක. ඕතොමෝ විපස්සී බුදුරජාණන්
වහන්සේ දැක බොහෝ සතුටුභාවයට පත්ව සළල මල් දෝතක් ගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස්
වැඳ “මහාවීරයන් වහන්ස, මනා සුවඳ ඇති සළලමල් පිළිගන්න” යැයි ශ්‍රද්ධාවෙන් මල්
පිදුවාය. ලෝකනායක වූ විපස්සී බුදුරජාණන් වහන්සේ ඒ මල් පිළිගෙන ඇය බලා සිටියදීම එහි
සුවඳ බැලූහ. වඩාත් සතුටුභාවයට පත් වූ ඕතොමෝ ඇඳිලිබැඳ වැඳ විපස්සී බුදුරජාණන් වහන්සේ
කෙරෙහි සිත පහදවාගෙන පර්වතයට නැංගාය.
මෙසේ කිඳුරියක වී මල් පිදූ පිනෙන් දෙවි මිනිස් ලෝකයන්හි ඉපිද අනන්ත සැප වින්දාය.
කිසිදු කලක ප්‍රේත, තිරිසන්, අසුර, නරකය යන සතර අපා දුකකට දුක්ඛිත දුගතියකට
නොවැටිණි. මේ අයුරින් සම්බුද්ධ පූජාවේ ආනිසංස ලද ඕතොමෝ කල්ප අනූ එකකට පසුව ලොව පහළ
වූ අප ගෞතම බුදුපියාණන් වහන්සේ වැඩ වසන සමයෙහි කොසඹෑනුවර එක්තරා කුලගෙයක උපත
ලැබුවාය. උදේනි රජුගේ මෙහෙසිය වූ සාමාවතී බිසවගේ යෙහෙළියක වී වයසින් වැඩුණු පසු
කටයුතු කළාය. සාමාවතී බිසවට සිදු වූ අපරාධයෙන් සංවේගයට, ශෝකයට පත් ඕතොමෝ මෙහෙණවරකට
ගොස් පැවිදිව “සැහැල්ලු ජීවිතයක් ගත කළාය.
පැවිදි ජීවිතයට එළඹ විසිපස්වසරක් ගත විය. නමුදු චිත්ත සමාදානයක් නොවීය. චිත්ත
සංසිඳීමක් නොලැබුවාය. එකල්හි මහාකාරුණික වූ බුදුනුවණට හසු වූ ඕතොමෝ භාග්‍යවතුන්
වහන්සේගේ අවවාද ලබා වීර්යයෙන් බවුන් වඩා සිව්පිළිසිඹියා සහිත මහරහත් භාවය ලබා
ගත්සේක. සාමා නම් මහරහත් තෙරණිය මේ ලෝකයට බිහිවූවාය. විරාගී සිතක අපූර්වත්වය විඳින
සියල්ල අත්හැරීමේ නිරාමිස සුවය විඳින සාමා තෙරණියගේ මුවින් පිට වූ උදානයෝ මහත් වූ
සිත් නිවීමක් ඇතිකරනු ලැබේ.
“පණ්ණවීසති වස්සානි යතො පබ්බජිතාය මෙ
නාභිජානාමි චිත්තස්ස සමං ලද්ධංකුදාචන”
පැවිදි වූ දින පටන් ක්‍රමයෙන් වසර විසි පහක් ගත වී ගියේය. මේ අතරතුර කිසි කලෙක මා
විසින් ලැබූ සිතෙහි නිදහසක් ගැන මම නම් නොදනිමි.
“අලද්ධං චෙතසො සන්නිං චිත්තෙ අවසනවත්තීනී
තතො සංවෙගමාපාදිං සරිත්වා ජිනසාසනං”
සිතේ කිසිඳු එකඟභාවයක් සන්සිඳීමක් නොමැති මම බුදුපියාණන් වහන්සේ ජීවමාන කල්හි
ශ්‍රමණ කෘත්‍යය ඉටුකරගැනීමට නොහැකිනම් පසුව කෙසේ සපුරන්නෙමිදැයි සංවේගයට පත්වීමි.
“බහුහි දුක්ඛ ධම්මෙහි අප්පමාදරතාය මෙ
තණ්හක්ඛසො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං
අජ්ජ මෙ සත්තමි රත්තී යතො තණ්හා විසෝසිතා
ජාති ජරාදී බොහෝ දුක් ලැබූ අප්‍රමාදයෙහි ඇලුණු මම තෘෂ්ණාව ක්ෂය කළෙමි. මා විසින්
බුද්ධානුශාසනය කරන ලදී. රහත් බව ලබා ගෙන අදට සත්වැනි දිනය වෙයි.
මේ ආකාරයට සාමා තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් උපරිම ඵළ නෙලා ගත්තීය.
සියලු කෙලෙසුන් දුරු කළා වූ සාමා තෙරණි වැනි රහතුන් මනසින් ද, කයින් ද, වචනයෙන් ද
උපශාන්ත වෙති. සසර ගමනේ නිමාව දුටු ශෝක දුරු කළ උන්වහන්සේට කෙලෙස් දාහයක් හෝ
දැවිල්ලක් නොමැත. මෙවන් වූ රහත් උතුමෝ කර්මය හෝ සිව්පසය රැස් කිරීමක් නැත්තේ ය.
තමාගේ භෝජන මාත්‍රාව පිරිසිඳ දන්නෝය. රාගාදියෙන් මිදුණු, එබඳු නිමිති රහිත වූ නිවනට
ම යොමු සිත් ඇති මහරහතුන් ගියමඟ හෝ යනමඟ දත නොහැකිය. අහසෙහි කුරුල්ලන් ගියමඟ දත
නොහැකිය. එසේ ම රහතන් වහන්සේගේ ගියමඟ, ආ මඟ දත නොහැකිය.
නිහඬ, නිවහල් හුදකලාවට ඇලුණු පරිසරයේ සොබා දහමේ ආශ්වාදය විඳිමින් නිරතුරු පරිසරයට
ලෙන්ගතු වූ සිතක් රහත් උතුමෝ ඇතිකර ගනිති. විරාගී සිතක් නිසාවෙන් පරිසරයේ ස්පර්ශයන්
නිත්‍ය වශයෙන් නොගනිති. සුන්දර වූ සියල්ලෙහි අනිත්‍යතාව දකිමින් එම පරිසරයම සුවඳවත්
කරති. සුන්දර කරති. රහතන් වහන්සේ වසන ස්ථානය ඉතාමත් සුපිරිසුදු වෙති, ආශිර්වාදාත්මක
වෙති.
නිකෙලෙස් සිතකින් විදහා පාන්නේ විරාගී සිතිවිලිමය. එම සුසුම පවා විෂ බවින් තොරවෙති.
කරුණාව, මෛත්‍රීය, දයාව, ඉවසීම, පරිත්‍යාගය, නිහතමානීත්වය වැනි උසස් මිනිස්
ගුණධර්මවලින් සිතිවිලි වෙලී ඇත්තේය. රහත් උතුමන්ගේ සිතන සිතිවිලි, කථාකරන වචන, කරන
ක්‍රියාවන් සියල්ලම අර්ථාන්විතය. ප්‍රඥාගෝචරය, වෛරී ක්‍රෝධ බවින් නිදහස්ය. එවන්
උතුමන්ගේ දර්ශනය ඉතා සිත්ගන්නා සුළුවෙති. සරල චාම් දිවියෙන් තෘප්තිමත් වෙති. අටලෝ
දහම තුළ අකම්පිත සිතක් ඇති කරගනිති. මෙවන් වූ ගුණ සාගරයකට උරුමකම් කීමට සාමා මහරහත්
තෙරණින් වහන්සේ භාග්‍යවන්ත වූයේ පුරන ලද පාරමී ශක්තියෙනි, කරන ලද ප්‍රඥාවන්ත
ක්‍රියාවන් තුළිනි. එවන් අසිරිමත් සිතක් ඇත්තෙකු වන්නට
සැමට වාසනා ලැබේවා ! |