ඇසළ අව අටවක 2016.07.26
පිනට දහමට
හේමන්ත, ගිම්හාන, වස්සාන යැයි සෘතු තුනෙකි. වස්සාන සෘතුවෙහිදී උපසම්පන්න භික්ෂූන්
වහන්සේ වස් එළඹීම නිරන්තරයෙන් සිදු කරන්නකි. එසේ වස් එළඹීමද පෙර වස් සහ පසුවස්
වශයෙන් විස්තර කෙරේ. වස් එළඹීමේදී පෙර වස් එළඹීම ප්‍රධාන වශයෙන් සිදු කෙරේ. ඉකුත්
ඇසළ පුර පසළොස්වක පොහොය දා හෝ පසුදා ස්වකීය විහාරස්ථානයේ දී දායක කාරකාදීන් ඒකරාශී
වී ස්වාමීන් වහන්සේලාට වස් එළඹීම සඳහා ආරාධනා කරන ලදී.
උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඇසළ පුර පසළොස්වක පොහොය දා පොහොය කොට ඇසළ අව පෑළවියදා
(පසුදා) වස් එළඹීම සිදු කළේ බුද්ධ නියමය ඉටු කරමිනි. වසරකට වරක් උදාවන වස්සාන සමය
එළඹෙන තෙක් බොහෝ දායක දායිකාවන් බලාපොරොත්තුවෙන් පසු වනුයේ අට මහ කුසල් අතර දැක්වෙන
පළමු මහා පින්කම චීවර මාසයේ දී සම්පූර්ණ කර ගැනීම සඳහා ය. විහාරස්ථානයත්, ගමත් අතර
අගනා ආගමික සබඳතාවය වස් කාලයේ දී වර්ධනය වීම සුවිශේෂී කරුණකි.
වස් කාලය පුරා මෙරට බොහෝ වෙහෙර විහාරස්ථාවලදී දිනපතා ආගමික කටයුතු විවිධාකාරයෙන්
පැවැත්වීම සම්ප්‍රදායක් ව පවතී. එසේ දිනපතා සිදුකෙරෙන ආගමික කටයුතු සඳහා ලොකු කුඩා
සියලු ගම්වැසියන් විහාරස්ථානයට ඒකරාශී වනු ලැබේ. විහාරස්ථානයට කවදත් පැමිණෙන
සැදැහැති පිරිසගෙන් අඩුවක් නොවන්නේ ය. එහෙත් වස්කාලය තුළ දී ගිහි පැවිදි උභය සමාජයම
උත්සාහ කළයතු එක් විශේෂ කරුණක් ඇත. එනම් පන්සලට කවදත් පැමිණෙන පිරිසට අමතරව
නොපැමිණෙන පිරිසද ගෙන්වා ගැනීමට සමත් වන ආගමික වැඩසටහන් සම්පාදනය කර ගත යුතුව ඇත.
අපේ රටේ දහම් පාසල් පවත්වාගෙන යනු ලබන්නේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙනයි. එමගින්
ගම්වැසි වැඩිහිටියන් දැනුම්වත් කර ඉහත කී අයුරෙන් පන්සලට කලාතුරකින් හෝ නොපැමිණෙන
පිරිස පන්සලට ඒකරාශී කර ගැනීමටද උනන්දු විය යුතු ය. විහාරස්ථ දායක සභාවේ
සැදැහැතියන් කවදත් විහාරස්ථානයට පැමිණෙන පිරිස අතරවේ.
තරුණ බෞද්ධ සමිති ප්‍රධාන ස්වේච්ඡා සංවිධාන බිහි කරමින් වෙසෙසින් තරුණ පරපුර
විහාරස්ථානය වෙත ගෙන්වා ගැනීමට උනන්දු විය යුතු ය.
බෞද්ධ සමිතියක් මඟින් ආගමික කටයුතුවලට අමතරව විවිධ සාමාජික මෙහෙවර වෙතද අවධානය යොමු
කළ හැකි වේ. දහම් දැනුම පමණක් නොව එය උපයෝගී කර ගනිමින් අසරණ සරණ සේවා අරඹා
පවත්වාගෙන යා හැකිය. එමෙන්ම දුසිරිතෙහි යෙදෙන්නන් සුචරිතයට යොමු කරවා ගැනීමට උපදේශන
සේවා ද ව්‍යාප්ත කළ යුතු ය. එමගින් ආගමික සමගියටත්, ජාතින් අතර සුහදතාවයටත් මහත්
මෙහෙවරක් කළ හැකි වේ.
පටුවාද භේද කර පින්නාගෙන සිටීම නිසා එකිනෙකා කෙරෙහි නොඉවසීමෙන් පසුවන ගතියද තුරන්
කර ගත හැකිවේ.මනුෂ්‍යයා යනු උසස් මනසකින් හෙබි තැනැත්තෙකි. මනසින් උසස් හෙතෙම පටු
ආකල්පයන්ගෙන් වෙන්ව මනුස්ස නාමයෙන් අන්‍යයන් කෙරෙහි කාරුණිකව සිතා බලා කටයුතු කළ
යුතු වේ. ඉවසීම, සමගිය කවර සමාජයක වුවද දියුණුවට මහත් ශාන්තියකි. අප, අප ගැන සතුටු
විය හැකි ජීවිතයක් ගතකළ යුතු අතර අන්‍යයන් සමඟ ද සුහදත්වය වර්ධනය කර ගත යුතු වේ.
පිනට දහමට වෙසෙසින් ගත සිත යොමු කරන වස්කාලය තුළදී අනෙකුත් කාලවලට වඩා අර්ථාන්විතව
ජීවිතයට යමක් ඒකරාශි කර ගැනීමට කල්පනා කළ යුතු වේ. වස්කාලය තුළ සිදු කරන ආගමික
වතාවත් වලට සහභාගි වීම මෙන්ම ජීවිතයේ අන් කවර කාලයකටත් වඩා අනුස්මරණීය පින්කම් කර
ගැනීමට අවධානය යොමු කළ යුතු වේ. දියුණුව යනු භෞතික දියුණුව පමණක්ම ගැන නොසිතා
ආධ්‍යාත්මික ශික්ෂණයක් ඇති කර ගැනීමට වෙහෙස මහන්සි විය යුතු ය. වස්කාලය පිනට දහමට
යොමු කර ගත හැකි සුවිශේෂී කාලයක් වන හෙයින් ආධ්‍යාත්මික ජීවිතය ද ආලෝකවත් කර ගැනීමට
කටයුතු කරමු.
|