UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික සංකථනය

බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික සංකථනය

මෙම ලිපියෙහි මුල් කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය

අශෝක ස්ථම්භය ඉදිරියට තල්ලු වී ගොස් තිබෙනු තමා දුටු බව හියුං සියෑං දක්වයි. එකොළොස්වන දොළොස්වන සියවස්වලදී පාල රජුන් විසින් නැවත මෙය සිටුවනු ලැබූ බවට සාධක ඇතැයි වින්ටර් ස්මිත් පෙන්වා දෙයි.

ලුම්බිනියේ දී අශෝකයන් විසින් ඔසවන ලද ස්ථම්භය අඩි 22 අඟල් 4 ක් උසය. ශිලා ලේඛනය , පාදයේ සිට අඩි 9 අඟල් 8 කි. පාදයේ විශ්කම්භය අඩි 8 අඟල් 3 කි. ශිලා ලේඛනය ඇති කොටසේ විශ්කම්භය අඩි 7 අඟල් 6 කි. මුදුනේ විශ්කම්භය අඩි 6 අඟල් 5 කි. බුදු උපතින් වසර 329 කට පසු අශෝකයන් විසින් කුලුනක් ඔසවා ශිලා ලිපියක් මඟින් බුදු උපත ( හිද බුධ ජාතේ) ගැන සටහනක් තැබීම එහි ඓතිහාසික බව වඩාත් තහවුරු කරවන්නකි. බුධ යනු බුදුරදුන් බව පැහැදිලිවන අතර සාක්‍යමුණිවන බව ද එහි තවදුරටත් සඳහන් වේ.

වර්ෂ 1895 දී ජර්මන් පුරාවිද්‍යාඥයෙකුවන ඒ. ෆිහියුරේ (A.Feuhrer) විසින් මෙම ස්ථානය පැහැදිලිව පළමුවෙන් හඳුනා ගනිමින් ශිලා ලේඛනය සහිත මෙම ඓතිහාසික වටිනාකම ලෝකයට අනාවරණය කොට ඇත. 1996 කළ කැණීමකින් අශෝකයන් විසින් බුදු උපත සනිටුහන් කරමින් තැන්පත් කළ පාෂාණය මායාදේවී මන්දිරයේ කළ කැණීමෙන් සොයා ගනු ලැබීය. මෙම පාෂාණය දැනට ලුම්බිනි කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. එකළොස්වැනි සියවසේ සිට පහළොස්වැනි සියවස දක්වා පාලන කාර්යයනට දායක වූ නාග රාජවංශයේ මල්ල රජු විසින්ද මෙම ඓතිහාසික ස්ථානයේ බුදු උපත සනිටුහන් කරනුවස් සිහිවටනයන් තබා ඇත.

වර්ෂ 2013 නොවැ . මස 30 ද වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ දුර්හම් විශ්වවිද්‍යාලයේ  (Durham University) පුරාවිද්‍යා මහාචාර්ය රොබට් ඛනිංහැම් මහතා ඇතුළු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරැණි ලී වලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි.පූ. 550 ට අයත් බව ස්ථිරවම ඔහු විසින් නිගමනය කොට තිබේ. මෙම වැට පැරැණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති අතර ඒ අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහැම් මහතා විශ්වාස කරයි. නේපාලයේ කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක්ද මේ සඳහා සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත නිවැරදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරැදි මත දුරුකරලීමටත් සාහිත්‍යගත මූලාශ්‍රවල ඇති නිරවද්‍ය බව වඩාත් තහවුරු කරලීමටත් හේතු වූ බව ද කිව යුතුය.ඒ අනුව බුදුරදුන්ගේ උපත ගැන ඇති සාහිත්‍යගත තොරතුරු පුරාවිද්‍යාත්මක තොරතුරු මඟින් තවදුරටත් ස්ථිරත්වයට පත්වේ.

එමෙන්ම බුද්ධත්වයට පත්වූ බුද්ධගයාවෙන් ලැබුණු ශිලා ලේඛන විශේෂයෙන් ලංකාද්වීපයේ උපන් මහානාම නම් භික්ෂුවක් විසින් මේ ස්ථානයේ වජ්‍රාසනයක් සකස් කළ බව දැක්වේ. එමෙන්ම අවට ඇති ගරාදි වැට සැකසීමේ දී ලංකාවෙන් ගිය භික්ෂූන් කීප නමක්ම එහි දායකත්වය සපයා ඇත. අශෝකයන් විසින්ද බුදුන් බුදුවූ තැන වන්දනා කිරීමට පැමිණි බව හා එම ස්ථානයේ ස්ථම්භයක් පිහිටුවා ඇත. මේ මඟින්ද සාහිත්‍යගත පුවත් තහවුරු කරගත හැකිය.

බුදුරදුන්ගේ පළමුවැනි ධර්මදේශනය පැවැත් වූ ස්ථානය ලෙසින් සැලකෙන බරණැස ඉසිපතනාරාමයේ ඇති නටබුන් අතර බුදුරදුන් වැඩ සිටිය ගඳකිළිය ගැනත් අශෝකයන් එම ස්ථානයේ සුවිශේෂි බව අනුස්මරණය කිරීමට කළ ස්ථම්භයත් එහි ඓතිහාසිකත්වය තවදුරටත් පෙන්වා දෙයි. එමෙන්ම ධම්මරාජජිකාවේ ඇති සඳහන ද බුදුරදුන්ගේ ප්‍රථම දේශනය මෙහිදී කළ බව මෞර්ය අවධියේම සටහන් කොට තිබීමද එම සිද්ධියේ ඵෙතිහාසික බව තවදුරටත් සනාථ කරලයි.

බුදුරදුන්ගේ ජීවන සමයෙන් වැඩි කාලයක් වැඩ සිටිය ජේතවන අසලින් ලැබුණු කුෂාන් යුගයට අයත් ශිලා ලේඛන කීපයකින්ම එම ස්ථානයේ නටබුන් හඳුනා ගැනීමත් ඒ අනුව ගඳ කිළිය දම් සභා මණ්ඩපය කොසම්භ කුටිය ස්ථීර ලෙස කැණීම් මඟින් හඳුනාගෙන තහවුරු කිරීම නිසා සාහිත්‍යගත තොරතුරු විශ්වසනීයත්වය වැඩිවී තිබේ.

උන්වහන්සේ ශාක්‍ය වංශයට අයත් බවත් උන්වහන්සේගේම ධාතුන් වහන්සේලා බවත් පිප්රාවාවල කැණීමකින් ලැබුණු පාෂාණමය ධාතු කරඬුවක ලියා තිබීම හා එම අවධියේ භාවිත බ්‍රාහ්මී අක්ෂරවලින් එම ලේඛනය සමන්විත වීම තුළින් එහි අන්තර්ගත කරුණු සනාථ කොට තිබීම නිසා බුද්ධචරිතයේ ඓතිහාසික බව තවදුරටත් තහවුරු කරලයි.

බුදුරදුන් පිරිනිවන් පා වදාළ කුසිනාරා නගරයේ ඇති නටබුන් හා එම ස්ථානයෙන් හමු වූ ලේඛන නිවැරැදිව කියවීම මත සාහිත්‍යගත තොරතුරු වඩාත් සනාථ කර ගත හැකිවීම නිසා බුදුන් වහන්සේ ගැන ඇති සදොස් තැන් නිදොස් කිරීමට මෙන්ම බුදුරදුන්ගේ ඓතිහාසිකත්වය ගැන ස්ථිර නිගමනවලට එළඹීමට ඉතිහාසඥයිනට මෙන්ම පුරවිද්‍යාඥයිනට ද හැකිව තිබේ.

 

  වෙසක් අව අටවක පෝය

   වෙසක් අව අටවක පෝය මැයි 29 වනදා ඉරිදා පූර්ව භාග 6.18 ට ලබයි. 30 වනදා සඳුදා පූර්වභාග 04.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 29 වනදා ඉරිදාය.
 
මීළඟ පෝය ජුනි 04 වනදා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]