ධර්මය මුසු වූ වදනින් කයත් මනසත් සුවපත් වේවි!
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
මෙහි
පළමු කොටස බක් පසළොස්වක පෝදා (21) පත්‍රයේ පළවිය.
ගිහිගෙයි සුදු වස්ත්‍ර හැඳ යම් වූ ද සකදාගාමී කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනය
තුළ සිටින්නේ නම් මමත් අන්න එවැනි අයෙක් හැටියට ඔබ කල්පනා කරන්න. සිහිපත් කරන්න.
ආර්ය මාර්ගයට බැසගත්ත, ශ්‍රාවිකාවන් අතර මමත් එක්තරා ශ්‍රාවිකාවක් යැයි ඔබ සිහිපත්
කරන්න. කිසිවිටකවත් ඒ ගැන සැකයක් ඇතිකර ගන්න එපා. එසේ සැකයක් වේ නම් බුදුරජාණන්
වහන්සේ වෙතට ගොස් ඔබ ඒ සැකය දුරුකරගන්න. සැක ඇති කරගෙන ව්‍යාකූල වූ මනසකින් කළුරිය
කරන්න එපා. එය දුකකි. භාග්‍යවතුන් වහන්සේ විසින් එය අනුමත කරන්නේ ද නැත.
නකුල මාතාව තම ගුණබර ස්වාමියාට, ගුණබර අම්මා කෙනෙක්, සොහොයුරියක්, යෙහෙළියක් ලෙසත්
මේ අවවාද දෙනවිට නකුල පිතාගේ එනම් ස්වාමියාගේ ඒ ආබාධය සංසිඳෙන්නට පටන් ගත්තා.
ස්වාමි පුත්‍රයා රෝගයෙන් නැගී සිටියා. ස්වාමියාගේ ආබාධය එතැනම නැති වී ගියා. ගුණබර
ස්වාමි දියණියක්, ගිලන් වූ ස්වාමියාගේ දෙපා ළඟ හඬා වැටී ගිලන් වූ කය පමණක් නොව
නොගිලන් වූ මනසත් ගිලන් කරනවාට වඩා ධර්මයෙන් මුසු වූ හඬකින් අවවාද දීම කතා කිරීම
මනසත් සුවපත් කොට ඉන් අනතුරුව කයත් සුවපත් කරන්න අවස්ථාවක් සලසාගත් ආකාරය ඔබට දැන්
පැහැදිලියි.
අශුතවත්, පෘතග්ජන ලෝකය තුළ බොහෝ ස්වාමි දියණිවරු, ස්වාමි පුත්‍රවරු කෙලෙස්
සිතිවිලිවලින් හා වචනවලින් ඔවුන් ගිලන් කරමින් ගිලන් වූ කය පමණක් නොව නොගිලන් වූ
සිතත් ගිලන් කරන ආකාරය ඔබට බොහෝ විටක අත්දැකීම් ඇති ඔබගේ ම ජීවිතයේ අත්දැකීමක්
හැටියට සමහර විටක ඔබට මෙනෙහි කරන්නට පුළුවන්කම ලැබේවි. එහෙත් මේ දහම් කතාව ඔස්සේ
ඔබත් තවත් එක් වූ ද නකුල මාතාවක් පිතාවක් බවට පත් වී උපත ලද මේ ජීවිතයේ ලෙඩදුක්,
දිරාගෙන යෑම, මරණය, අප්‍රියයන් හා එක්ව විසීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම කැමැති දෑ
නොලැබීම් ආදී වශයෙන් මේ ජීවිතයේ යථා ස්වභාවය නුවණින් තේරුම් අරගෙන ලෞකික ලෝකෝත්තර
වශයෙන් ආධ්‍යාත්මික දියුණුවක් ඇතිකරගත්ත අයගේ එවැනි අවස්ථාවකට මුහුණදීමේ ස්වභාවය
දැන් ඔබට වැටහෙයි ද නොබියව මනසින් නොගිලන්ව යථාර්ථයට මුහුණ දෙමින් ධර්මය පුරුදු
කරන ලද උත්සාහවත් මනසින් ඔවුන් ඒ ගැන දැකීම නිසා, සිතීම නිසා, ගිලන් වූ කය පවා
සුවපත්වෙන ආකාරය දැන් ඔබට තේරුම්ගත හැකියි. කයෙන් ගිලන් වූ විටක බාහිර වෘතයන්ට ගොස්
තෙරුවන් පවා අමතකකොට කටයුතු කිරීමට වඩා හඬා වැළපෙමින් සුසුම්ළමින් සිටීමට වඩා තමන්
පුරුදු කළ, තමන් දුටු භාග්‍යවතුන් වහන්සේගේ දහමින් ම සැබෑ ශ්‍රාවක ශ්‍රාවිකාවන්
ලෙසින් කටයුතු කිරීමම ගිලන් බවින් නිදහස් වන්නට හේතු වන බව මේ දහම් කතාවෙන් ඔබට
පැහැදිලි වෙනවා ඇති.
මින් අනතුරුව ගිලන් බවින් නැගී සිටි නකුල පිතා හෙවත් ස්වාමි පුත්‍රයා සැරයටිය
උපකාරයට අරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ වෙතට හෙමින් හෙමින් ගමන්කරනවා. තථාගත
බුදුරජාණන් වහන්සේ වෙතට ගමන් කොට එකත් පසක වාඩි වෙලා සිටිනවා. තථාගත බුදුරජාණන්
වහන්සේ නකුල පිතාවන්ට මේ ආදී ලෙසින් සඳහන් කරනවා.
ලාභා තේ ගහපති, සුලද්ධං තෙ
ගහපති, යස්ස තේ නකුලමාතා
ගහපතානි අනුකම්පිකා අත්ථකාමා
ඕවාදිකා අනුසාසිකා
ගෘහපතිය, නුඹට මහත් වූ ලාභයකුයි, ගෘහපතිය යම් බඳු නුඹට නකුල මාතා ගෘහපතිනිය වැනි
අනුකම්පා කරන, අර්ථය, යහපත කැමැති, නිතර අවවාද දෙන, නිතර අනුශාසනා කරන්නියක් මුණ
ගැහීමම නුඹට මහත් වූ ලාභයකුයි. නුඹට මහත් වූ භාග්‍යයකුයි. තථාගත බුදුරජාණන් වහන්සේ
නමක් වැනි උතුමෙක් විසින් පවසන ලද මේ වදන් පෙළ ස්වාමිපුත්‍රයකුගේ සිතට මොනතරම්
අස්වැසිල්ලක් දැයි ඔබට වැටහෙනවා ඇති.
මේ කතාව අසාගෙන සිටින්නට පුළුවනි නම් සිටියා නම් නකුල මාතාවන් මොනතරම් සැනසෙන්නට
ඇත්ද තුන්ලොවක් සැනසූ බුදු උතුමෙකුගේ මුවින් පිටවුණු ගුණබර පතිනියකගේ හදවතේ ඇති මේ
කතාව ගැන ගෘහපතිනියන්ට, ස්වාමි දියණිවරුන්ට, අම්මාවරුන්ට, සමස්ත කාන්තාවන්ට ම
මොනතරම් සැනසිල්ලක් දැයි දැනෙනවා ඇති.
ගෘහපතිනියනි, ගිහිගෙයි වසන සුදු වස්ත්‍ර හඳිනා යම් පමණ මාගේ ශාසනයේ සීලයෙන්
පරිපූර්ණ වූ කාන්තාවෝ වෙත්නම් නකුල මාතා ගෘහපතිනියත් ඔවුන් අතරින් තවත් එක්තරා
කාන්තාවකි. ගෘහපතිනිය, ගිහිගෙදර සුදු වස්ත්‍ර හඳිනා යම් පමණ මාගේ ශාසනයෙහි
ආධ්‍යාත්මයෙහි සමාධිය දියුණු කර ගත් කාන්තාවන් වෙත්නම් නකුල මාතා ගෘහපතිනියත් ඔවුන්
අතර එක්තරා කාන්තාවක් වෙයි. ගෘහපතිය, ගිහි ගෙයි වාසය කරන සුදු වස්ත්‍ර අඳින යම් පමණ
මේ මාගේ ශාසනයේ ධර්ම විනයෙහි අනුව ප්‍රවේශයට පැමිණියා වූ එනම් ධර්ම විනයට ඇතුලත්
වුණා වූ ඒ වගේ ම ඒ ධර්ම විනයෙන් නැඟී සිටියා වූ ආශ්වාදයට පැමිණියා වූ තරණය කළ සැක
ඇති ප්‍රහාණය කළා වූ සැක සංකා ඇති මේ ශාසනයේ පරප්පත්‍යය රහිතව එනම් අන්‍යය
උපකාරයකින් තොරව ධර්මය දැකගෙන සැනසුණු යම් අයෙක් වේ නම් නකුල මාතා ගෘහපතිනියත්
එවැනි අයෙකි.
ගෘහපතිය, නුඹට මහත් වූ ලාභයකි. ගෘහපතිය යම් වූ ද නුඹට නකුල මාතා ගෘහපතිනිය අනුකම්පා
ඇත්තේ නම් අර්ථ කැමැතිවන්නේ නම් නිතර අනුශාසනා කරන්නේ නම් නුඹට එය ම මහත් වූ
ලාභයකි. නුඹට එය මහත් වූ සැනසිල්ලකි.
බුදුරජාණන් වහන්සේ නකුල පිතාවන්ට ඒ අදහස සඳහන් කරනවා. මේ උතුම් සූත්‍ර දේශනාවෙන්
පෙන්වා දුන් අදහස මේ දහම් ලිපිය කියවන ඔබගේ කතාව නම් ඔබගේ යහළුවකුගේ හෝ යෙහෙළියකගේ
කතාව නම් ඔබට හෝ ඔවුන්ට ඇතිවන සැනසිල්ල කුමක්දැයි ඔබට වැටහෙනවා ඇති. දීර්ඝ වූ සංසාර
ගමනේ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ අප ගත කරන ජීවිතවල සැබෑම සංතෘෂ්ටිය දහමින් ලබනා
ආකාරය ඔබට මතු වී පෙනෙනවා ඇති. දෙදෙනෙකු එක මඟක යන්නට පොරොන්දු වී කටයුතු කරමින්,
මහ මැදුරු හදාගෙන බොහෝ වටිනා ධනය එකතු කරගෙන, ප්‍රණීත යැයි පවසා ආහාර ලැබුවත්, මහ
මැදුරු ගිනි ගෙදරක් වී, මහ ධනය ගිනි ගොඩක් වී, ප්‍රණීත ආහාර ගිනි බෝල තරම් දැනෙන
දුක් දොම්නස්වලින් පිරුණු ධර්මයට ලැදි නොවූ ජීවිත අතර, අතුපැළක විසූවත්, සුර විමනක්
මෙන් නොවූවත්, මහා ධනයක් නොවුණත් එදා වේල හරිහම්බ කරගත්තත්, දිව්‍ය භෝජනයක් සෙයින්
දැනෙන පවුල් පරිසරයක් ඔබටත් ඇත්නම්, මොනවා නැති වුණත් ධර්මයෙන් ලද සුවය තිබෙනවා
කියන අදහස ඔබට දැනෙනවා ඇති. බොහෝ සම්පත් ඇතිව කියාගන්න බැරි තරම් දුකකින්,
තනිකමකින්, පාළුවකින් ජීවත්වෙනවාට වඩා ජීවත්වෙන්න ඕන නිසා ජීවත්වෙනවා කියනවාට වඩා
දිවි නහගන්න බැරි නිසා ජීවත්වෙනවා කියනවාට වඩා ලෞකික, ලෝකෝත්තර දහමින් පිරිපුන්
ජීවිතයක් පවත්වා ගැනීම සැබෑම සුපසන් ජීවිතයක සැබෑව නොවේදැයි ඔබත් සිතා බලන්නට යැයි
ආරාධනා කරනවා.
සැමටම උතුම් තුණුරුවන් සරණයි! |