බක් අව අටවක 2016.04.30
පින් සිතිවිලි උපදවා ගැනීම
බුදුපියාණන් වහන්සේගේ බුදුසිරිත අසිරිමත්ය. දිනය කොටස් වශයෙන් වෙන්කර ගත්
බුදුපියාණන් වහන්සේ සසර කතරේ අතරමංව සිටි අනන්ත අප්‍රමාණ සත්ත්වයන් වෙත පිහිට වූයේ
මහා කරුණාවෙන්මය. උන්වහන්සේගේ මහා කරුණාවත්, මහා ප්‍රඥාවත් ආදර්ශයෙන්ම පිරී ගියේය.
සැලැස්මකට හෙවත් කාලසටහනක් ඇතිව කටයුතු කිරීම සඳහා ලොව පළමු වන වරට ඉගැන්වීම කළ
උත්තමයාණන් වහන්සේ ද ලොව්තුරු බුදුපියාණන් වහන්සේය. පොහොය දින සම්මත වූයේද උපාසක
උපාසිකාවනට එක දවසක එකම වෙලාවක විහාරස්ථානයට පැමිණ තෙරුවන් වැඳ පුදා ගැනීමේ පහසුව
සඳහාය.
මසකට ප්‍රධාන පොහොය දිනයකි. ඒ පුර පසළොස්වක පොහොය දිනයයි. එම පොහොය දිනය, ගැන සෑම
කෙනෙක්ම පාහේ දැනුම්වත්ව සිටිති.එහෙත් එම පුර පසළොස්වක පොහොය දිනයට අමතරව මසකට
උදාවන තවත් පොහොය දින තුනක් ඇත. එනම් අව අටවක, අමාවක සහ පුර අටවක යන පොහොය දිනයන්
වේ. එකී පොහොය දින පිළිබඳ ඇතැමෙක් දැනුම්වත්ව සිටියද බොහෝ දෙනෙක් එම පොහොය දින
පිළිබඳ දැනුම්වත්ව නොසිටින බව පෙනේ. පොහොය ආගමික දින වශයෙන් කෙතරම් දුරට තහවුරු වී
ඇත්දැයි මොහොතක් මෙනෙහි කර බැලීම අගනේය. මනුෂ්‍යයා පින් දහම් සිදු කරන අයුරු
දැකගන්නට සක් දෙවියන් ආදි දෙවිවරුන් පවා මිනිස් ලොවට පැමිණෙන අයුරු දහමෙහි සඳහන්
වේ. පොහොය දිනය පන්සලට යාමටත් සිල් සමාදන්වීමටත්, ධර්ම ශ්‍රවණය කිරීමටත් භාවනා ආදි
පින් දහම්හි යෙදීමටත් බෞද්ධයා කටයුතු කළ යුතු වේ. එහෙත් පොහොය නොවන දිනයන්හිද එබඳු
කටයුතු සිදු කිරීමට කිසිඳු බාධාවක් නැත.
හැකිතාක් ආගමික කටයුතුවල යෙදීමෙන් , ඒ සඳහා කාලය වැය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනද
රැසක් වේ. සමාජයේ පිළිකුලට ලක් කෙරෙන අනුන්ට හෝ තමන්ට වත් සතුටක් නැති අයහපත්
ක්‍රියාවන්ගෙන් ඈත්වීම ප්‍රධාන කරුණකි. කාලයෙන් ප්‍රයෝජන ගනිමින් හැම මොහොතක් පාසාම
යහපත උදෙසාම කාලය වැය කළහොත් එය මහත් මානසික ශක්තියක් උදාකර ගැනීමට ද හේතුවක් වේ.
තම වටිනා ජීවිතය දෙස ආපස්සට හැරී බලා පසුතැවීමක් ඇති නොවන ක්‍රියාවකම නිරත වූවා
යැයි තමන් ලබන සැනසීම අන් සියල්ලට වඩා බලවත් සැනසීමක් සතුටක් වනු ඇත. එසේ ලබන සතුට
හෝ සැනසීම මුදලට ලබා ගත හැක්කක්ද නොවේ.
වෙසක් පුර පසළොස්වක පොහොය යනු බුදුපියාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ
අත්‍යුත්තම ඓතිහාසික පූජනීය දිනයයි. එම උත්තරීතර දිනය උදාවීමට ඇත්තේ තවත් දින
කීපයකි. එම උදාර දිනය අනුස්මරණීය ආගමික දිනය බවට පත් කර ගැනීමට බෞද්ධයා පෙරුම්පුරා
සූදානම් වේ. බෞද්ධ සංස්කෘතියටත්, බෞද්ධ ශිෂ්ටාචාරයටත් ආගමික ගුණ දහම්වලටත්, ජාතික
හා ආගමික කලාවන්ටත් ජීවය දෙන ප්‍රධාන ආගමික දිනයකි වෙසක් පොහොය දිනය. එබඳු ආගමික
දිනයක ආගමානුකූල දිවි පෙවෙතක් ගත කරන්නට සෑම දෙනාම පාහේ උත්සාහ කරනුයේද බුදුපියාණන්
වහන්සේ මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් පුදන්නටය.
අන් කවරදාකවත් ශීල සමාදානයේ නොයෙදුණු අයකු පවා වෙසක් පොහොය දා පිරිසුදුව සුදුවතින්
සැරසී පන්සල වෙත හිමිදිරියේ පිය නඟන්නේ ශීල සමාදානයේ යෙදීම පිණිසය. ගේ දොර වෙසක්
පහනින්, තොරණින්, වෙසක් සැරසිල්ලෙන් අලංකාර කරනුයේද, බුදුරදුන්ගේ අපමණ බුදුගුණ
සිහිපත් කරමිනි. හැකි හැම අයුරින් මහා පරිත්‍යාගයන් සිදු කරන්නේද අපමණ
ශ්‍රද්ධාවෙනි. වෙසක් දිනයෙහි අසිරිය සිහිවන හැම සිතකම පහළවනුයේද පින් සිතිවිලිය. ඒ
පින් සිතිවිලි භව ගමනේ යහපත උදෙසාම හේතුවේ. එබැවින් උදාවන වෙසක් පොහොය නිමිත්තෙන්
දින ගණනක් පුරා කය, සිත, වචනය යන තිදොර සංවර කර ගනිමින් අර්ථාන්විතව වෙසක් දිනය
අනුස්මරණය කිරීමට සූදානම් වෙමු.
තම සිත පහන් කර ගනිමින්ම උදාවන වෙසක් සතිය පුරා ආගමික වතාවත්හි නිරත වන්නේ නම් භව
ගමනට අවශ්‍ය මඟ වියදම් සොයා ගැනීමට අපහසු නොවනු ඇත. දිනයෙහි ඇති සුවිශේෂත්වය ගැන
මෙනෙහි කරන හැම සිතක්ම පින් සිතිවිලි උපදවා ගැනීමටම මහන්සි වනු ඇත.
|