බක් අව අටවක පෝදා දම් දෙසුම:
ඇසුරට ලැබෙන මිතුරන් දෙදෙනෙකි
බලංගොඩ දම්වැල්ඕඩය වළවේ
ශ්‍රී දේවරක්ඛිතාරාම රජමහා විහාරාධිපති
ර/බල/ වැලිපතයාය
ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති
ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“න භජෙ පාපකෙ මිත්තේ
න භජෙ පුරිසාධමෙ
භජෙථ මිත්තේ කල්‍යාණෙ
භජෙථ පුරිසුත්තමෙ”
පින්වත්නි,
අද බක් අව අටවක පෝදා ධර්ම දේශනාව වශයෙන් තෝරාගත්තේ ධම්මපදයේ පණ්ඩිත
වග්ගයේ තුන්වන ගාථා රත්නයයි. එහි සරල අදහස සිත, කය , වචනය, යන
තුන්දොරින් දුසිරිතෙහි යෙදුන පවිටු මිතුරන් ඇසුරු නොකරන්න, ගුණක්, බණක්
නොතකන අධමයන් ඇසුරු නොකරන්න. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. උතුම්
පුරුෂයන් ඇසුරු කරන්න.
ඡන්න ඇමැති සිදුහත් කුමරුගේ හිත කැමති සේවකයෙකි. සිදුහත් කුමරු සතර පෙර
නිමිති දකින්නේද ඡන්න ඇමති ද සමඟ උයන් කෙළියට යන අතරමඟදීය. රජමැදුරේ
කිසිවෙකුටත් නොකියා මහා අභිනිෂ්ක්‍රමණය කරන මහ බෝසතුන් සමඟ ගමනට
සම්බන්ධවන්නේද තම හිතවත් සේවක ඡන්න සමඟින්ය. ඒ සිදුහත් බෝසතාණන්ගේ
වයසින් විසි නම වන වර්ෂයේය.
සිදුහත් මහා බෝසතාණෝ වර්ෂ හයක් සත්‍ය ගවේෂීව කටයුතු කර මධ්‍යම
ප්‍රතිපදාව ඔස්සේ සිත යොදවා ස්වයං භූත ඥානයෙන් උතුම් සත්‍ය අවබෝධයෙන්
බුද්ධ රාජ්‍යයට පත්වූහ. තමන් වහන්සේ අවබෝධ කරගත් සත්‍ය දහම දේශනා කරන
විට විශාල වශයෙන් බුද්ධ ශ්‍රාවක පිරිස් සසුනට ඇතුළු වූහ. ගිහි කල
සිදුහත් බෝසතාණන් වහන්සේට හිතවත් සේවකව සිටි ඡන්නද බුදුරදුන් ළඟ පැවිදි
විය. ඉන්පසු පෙරසේම සහයෝගයෙන් වැඩ සිටියේය. කලක් ගත වුණි. පිරිස සමඟ
සිටින විට ඡන්න හිමියන්ගේ චරිත ලක්ෂණ වෙනස් වුණි. ගිහිකල සිටි අයුරින්
රළු පරළු බස් තෙපලන්නට විය. කථා, බහ හැසිරීම් සංවර නොවුණි. අගසව්,
මහාසව් තනතුරු කිසිවක් ඡන්න තෙරුන්ට නොලැබීම නිසා අවකැපෙන බස් විටින්
විට භික්ෂූන් අතරදී කියවන්නට විය.
“බුදුරදුන් මහණ වෙන්නට එන දවසේ කෙතෙක් දෙනා සිටියත් ආවේ මම පමණයි.
එදා වෙන කෙනෙක් ආවේ නැත. දැන්නම් අපි අග්‍රශ්‍රාවක, අපි මහා ශ්‍රාවක
කියා ගන්නෝ සිටිනවා”.
මහා පිරිස හමුවේ මෙසේ කියමින් අග්‍රශ්‍රාවක දෙනමට නිගරුවන අයුරින් දොස්
කියන්නට විය. බුදුරදුන් ඡන්න තෙරුන් ගෙන්වා අවවාද කළත් එම අවස්ථාවේ
නිහඬව සිට කීකරු ගති ලක්ෂණ පෙන්වා සිටියත් පිරිස අතරට ගිය පසු තමන්ගේ
උස් පහත්කම් හඟවා බෝසතුන්ට මුලදී උදව්කළ අයුරු කිය කියා දෑගසව්වන්ට
දොස් කීම නොනැවතුණි. බුදුරජාණන්වහන්සේ තුන්වන වරටද ඡන්න තෙරුන් කැඳවා
අවවාද කර අග්‍රශ්‍රාවක දෙනමගේ ගුණ කියා දුන්හ.
“ඡන්න අග්‍රශ්‍රාවක දෙනම කල්‍යාණ මිත්‍රයන්ය. උතුම් ගුණැති අයය. ඒ
දෙදෙනා ආශ්‍රයට ලැබීම දියුණුවන්නට මඟ වන්නේය.”
බුදුරදුන් තුන් වරක්ම මෙසේ අවවාද කළත්,අවවාද ලබන අවස්ථාවේ නිහඩව සිටියද
පිරිස අතරට ගිය කල සියලු අවවාද අමතක වී අග්‍රශ්‍රාවක දෙනමට දොස් කියයි.
බුදුරදුන් ජීවත්ව සිටිනතාක් කල් මෙසේ දොස් නගමින් ඡන්න තෙරුන් කාලය ගත
කළ නිසා බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඡන්න පිළිබඳ ක්‍රියා කළ යුත්තේ
කෙසේදැයි ආනන්ද තෙරුන් බුදුරදුන්ගෙන් අසයි. “බ්‍රහ්මදණ්ඩනය” දිය යුතු
බව බුදුරදුන් වදාළා. බ්‍රහ්මදණ්ඩනය යනු පිරිස අතරට නොගෙන අවවාද
අනුශාසනා ලබා නොදී කථා නොකර සිටීමයි. මෙම දඬුවම දුන් දවසේම ඡන්න
තෙරුන්ට එහි බරපතළකම තේරුණි.
“මා නොනැසුව මැනවි” කියා තුන්වරක්ම සිහිසන් නැතිව ඇද වැටුණි. මෙම
දඬුවමෙන් පසු කීකරු බවට පත්වූ ඡන්න තෙරුන් වීය්‍ය¡¡යෙන් භාවනා වඩා
උතුම් රහත් ඵලයට පැමිණියේය. ඡන්න තෙරුන්ට තෙවරක් අවවාද කළ
බුදුරජාණන්වහන්සේ ඉහත සඳහන් ගාථා රත්නයෙන් පවිටු වූ මිතුරන් නිහීන
මිනිසුන් ආශ්‍රය නොකළ යුතුය. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු යැයිද
වදාළහ.
අපට ආශ්‍රයට ලැබෙන මිත්‍රයන් දෙදෙනෙකි. එනම් කල්‍යාණ මිත්‍රයා හා පාප
මිත්‍රයා වශයෙනි. මේ දෙදෙනා පිළිබඳ බුද්ධ දේශනාවේ පැහැදිලි කර ඇත.
මිනිසාට තනිවම ජීවිත් විය නොහැකිය. සමාජශීලි සත්වයෙකු වන මිනිසා
ජීවත්විය යුත්තේද මිනිසුන් සමඟය. සිතුම් පැතුම් කථා බහ, විවිධ ක්‍රියා
එක් එක් අය තුළ වෙනස්ය. ආශ්‍රය තුළින් මිනිසුන් තුළ පමණක් නොව සතුන්
අතර පවා සැබෑ වෙනසක් දැකිය හැකිය.
කඳු මුදුනක ගස් බිලයක් තුළ මව් තුරුලේ ගිරා පැටවුන් දෙදෙනෙක් වාසය
කරයි. චණ්ඩමාරුතයකින් ගස කැඩී බිඳී යයි. ගිරා පැටවුන් දෙදෙනා කන්දේ
දෙපැත්තට විසිවුණි. එක් ගිරා පැටවෙක් හොරු මුලක් ළඟටය. අනෙකා තාපස
ආරාමයක් ළඟටය. තාපසයන්ගේ තුන්දොර සංවරය, එහෙයින් ගමන බිමන, කථාබහ,
සිතුම් පැතුම් ඉතා සංවරය, නිශ්ශබ්ද පරිසරයකි. ගිරා පෝතකයාට ඇහෙන දකින
සියල්ල යහපත් දෙයම විය. “යන්න” එන්න, වළඳන්න, සැතපෙන්න, වැනි කනට
මිහිරි වචන ඇසීම නිසා ඒ මිහිරි වචනම කියවන්නට පුරුදු වුණි. නමුත් හොරු
කණ්ඩායම ළඟට වැටුණු ගිරා පැටියාට අසන්න දකින්න ලැබුණේ නරක දෙයමය. සැර
පරුෂ වචන නිතර ඇසුන නිසා ඒ දෙයම ඉගෙන ගත්තේය. එකම අම්මාගේ දරුවන් එකම
ගෙදර හැදී වැඩී පරිසරයේ වෙනසත් සමඟ චර්යා රටා වෙනස්වූ අයුරු වටහා
ගැනීමට මෙම සත්තිගුම්බ ජාතකය කෙතරම් අගනේද
අහිංසක කුමාරයා ඉගෙනගත් තක්ෂලාවේ දිසාපාමොක් ළඟ තිබුණු නපුරු කෙලෙස්
ධර්මයන් නිසා තම ශිෂ්‍යයා අංගුලිමාල නම් මිනීමරුවෙක් බවට පත් කළේය.
නමුත් දැමුණු ඉඳුරන් ඇති යහපත් ගුරුවරයෙකුගේ මොහොත කුදු ආශ්‍රය නිසා එම
චරිතම සක්දෙව් රජු පවා වැඳුම් පිදුම් කරන උසස් පුද්ගලයෙක් වූයේ ආශ්‍රයේ
ඇති වටිනාකමය. මගධාධිපති ලෙසින් ඉමහත් ගෞරවයට පාත්‍රවීමට සිටි අජාසත්ත
කුමාරයා ඇසුරු කළේ පාපී සිතිවිලිවලින් කිළිටි වූ දේවදත්ත සමඟය. ඒ නරක
ආශ්‍රය නිසා තම ආදරණීය පියා ඝාතනය කර ආනන්තරිය පාපකර්මයක් කරගත්
අයෙක්වී පරලොවත් අඳුරු කරගත්තේය.
“පාපකේ මිත්තේ, පවෙහි ගැලුණු මිතුරන් එනම් තමන් වරදෙහි ගැලී අනුන්ද
වරදෙහි හෙලීමට කැමති දුර්ජන පුද්ගලයන් ඇසුර අපායට මාවතයි. නමුත් දෙලොව
වැඩ සළසන සීලාදි උසස් ගුණයන්ගෙන් යුතු ආදර්ශමත් අය මොහොතකුදු ආශ්‍රයට
ලැබීමෙන් යා යුතු නිවැරදි මඟ වටහා ගත හැකිය. නරක ගති ඇති අය ආශ්‍රයට
වැටුණොත් ඔවුන්ද නරක චර්යාවන්ට පෙලඹීම වැළැක්විය නොහැකිය. කුණු කරවල
කෑල්ලක් කෙතරම් පිරිසුදු කොළයකින් එතුවත් ඔතන ලද කොළයද දුගඳ හමන බවත්,
සුදු හඳුන් කැටය පිරිසුදු කොළයකින් එතුවහොත් හඳුන් කැටයත් කොළයත් දෙකම
සුවඳ හමයි. තමන්ට වඩා ගුණයෙන් ශීලයෙන් ප්‍රඥාවෙන් උසස් අය ඇසුරට ගත
යුතුය. එවිට තමන් තුළ උසස් චරිත ලක්ෂණ වර්ධනය වන්නේය. නිවන් දක්නා ජාති
දක්වා නරක වූ මිත්‍රයන් ආශ්‍රයට නොලැබීමත් කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රයට
ලැබීමත් බෞද්ධයා නිරන්තරයෙන් සිදුකරන ප්‍රාර්ථනාවකි. “භජෙථ
පුරිසුත්තමේ’ උතුම් පුරුෂයන් ඇසුරු කළ යුතුය. මග පල ලාභීන් උතුම්
පුද්ගලයන්ය. එවන් උත්තමයන් සමඟ එක්ව විසීම, වැඳුම් පිදුම් කිරීම ඇසුරු
කිරීම, අවවාද ලබාගැනීම සසර දුක් නිවීමට හේතුවන බැවින් හැම කල්හිම උතුම්
පුද්ගලයන් ආශ්‍රය සුදුසු වන්නේය.
ජීවන ගමන් මගේ හරි වැරැද්ද පෙන්වාදෙන කල්‍යාණ මිත්‍රයන්ම ආශ්‍රය කර
දෙලොව අභිවෘද්ධිය සලසාගන්න. ඔබට තෙරුවන් සරණයි. |