සංසාරයේදී එකට ගමන් කිරීම
කොළොන්නාව පුරාණ රජමහා විහාරවාසී
හල්මිල්ලකුලමේ සුජාතඤාණ හිමි
සමහර විට ඇතැම් පුද්ගලයන් දුටු විට අපට හැඟෙනුයේ එම තැනැත්තා කොතැනකදී හෝ අප මින්
පෙර දැක ඇති බවකි. එමෙන්ම ඇතැමුන් දුටු පළමු පියවරෙන්ම ඔවුන් පිළිබඳව ලෙන්ගතුකමක්
සුහද බවක් සිතට දැනේ. ඇතැමුන් කෙදිනකවත් සම්මුඛ වී නැතත් ඔහුගෙන් හෝ ඇයගෙන් කිසිම
වරදක් අපට සිදුවී නොමැති වුවත් සමහර පුද්ගලයන් දුටු විට සිතට නොරුස්සන ගතියක්
ඇතිවේ. මේ පිළිබඳව විවරණයක් මෙම ලිපිය තුළ අන්තර්ගත වේ.
දිනක් බුදු පියාණන් වහන්සේ සුංසුමාරගිරි ප්‍රදේශයට වැඩම කළ විට එම ප්‍රදේශයේ ජීවත්
වූ වයෝ වෘද්ධ මවක් හා පියෙක් බුදුන් වහන්සේ දැක අපගේ පුත්‍ර රත්නය බොහෝ කාලයකින්
දකින ලදැයි පවසමින් වැඳ උපස්ථානයන් සිදු කරන ලදී. බුදුරජාණන් වහන්සේ සමඟ වැඩි සමහර
භික්ෂුන් වහන්සේහට පුදුමයක් වූයේ බුදුන් වහන්සේගේ මව, පියා සුද්ධෝදන මහ රජුත්
මහාමායා දේවියත් බව දන්නා බැවිනි. කුතුහලයෙන් වැඩසිටි භික්ෂූන් වහන්සේලාගේ එම
කුතුහලය පිළිබඳ දැනගත් බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙනුයේ එම මාතාව සහ පියාණන් තමන්
වහන්සේට සසර තුළදී මව ,පියා වශයෙන් ආත්ම පන්සියයක්ද සුළු මව, සුළු පියා වශයෙන් ආත්ම
පන්සියයක්ද එමෙන්ම ළඟම ඤාතීන් ලෙස සංසාරයේදී බොහෝ වාර ගණනක් සම්මුඛ වී ඇති බැවින්
සසර පුරුද්දට එම දෙපළ තමන් වහන්සේ දුටු සැණින් ලෙන්ගතුව පුද සද්කාර සම්මාන දැක්වූ
වගයි.
එම මව සහ පියා අන් කවුරුන්වත් නොව නකුල මාතාව හා නකුල පියාණෝය. බුදුරජාණන් වහන්සේ
එම දෙපළගේ නිවසට වැඩම කළ විට නකුල පිතා පැමිණ උන්වහන්සේට වැඳ සිය බිරිඳ වන නකුල
මාතාව පෙන්වා සඳහන් කරනුයේ ස්වාමීනි, මේ නකුල මාතාව මා විවාහ කරගෙන පැමිණියේ දහසය
වැනි වියේදීය. එතැන් පටන් අද දක්වාම ඇය මාව සිතින්වත් ඉක්මවා ගියා කියලා මා හිතන්නේ
නැත. කයින් ගැන කවර කථාද නකුල මාතාවත් නකුල පිතූ ගැන පවසනුයේ එම කාරණාවමය. එය ඉතා
වැදගත් ප්‍රකාශනයකි.
ස්වාමිපුරුෂයන් අතරින් කී දෙනෙක් හට තම බිරිඳ ගැන එවැනි හැඳින්වීමක් කළ හැකිද
එමෙන්ම බිරින්දෑවරු අතරින් කී දෙනෙක් හට තමන්ගේ ස්වාමිපුරුෂයා තමා ඉක්මවා යන්නේ
නැත. යැයි ප්‍රකාශ කළ හැකිද එය සිතා බලනු මැනවි.
අනතුරුව එම දෙපළ ප්‍රකාශ කරනුයේ තමන් දෙපළ දැන් අසූවෙනි වයස ගත කරන බවත් ඔවුනට
අවශ්‍ය එම ජීවිතයද එකටම ගත කොට නැවැත සසර ඉපදෙනවානම් එම වාර වලදීද එකටම එකතුව නිවන්
දකින භවය දක්වාම එකට ගමන් කොට කෙළවර නිවන් දැකීමද එකටම සිදුවෙනු දැකීමය.
මෙහිදී බුදුරජාණන් වහන්සේ එසේ සසර තුළ එකට එක්ව දිවි ගෙවීමට කැමැති .තැනැත්තන් හට
සසර එකට ගමන් කළ හැකි ක්‍රියා පිළිවෙතකට ඇවැසි කරනු ලබන ගුණධර්ම හතරක් පෙන්වා දෙනු
ලැබීය. එනම් 1. ශ්‍රද්ධා 2. ශීල 3.ත්‍යාග 4. ප්‍රඥා යනුවෙනි.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනුයේ යම් දෙපළකගේ හෝ පිරිසකගේ ශ්‍රද්ධා, ශීල, ත්‍යාග,
ප්‍රඥා යන ගුණධර්ම සමාන වේනම් එකී පුද්ගලයන් සසර නැවැත නැවතත් සම්මුඛ වීම සිදුවෙන
වගයි.
සිදුහත් බෝධිසත්වයන් වහන්සේත් යසෝධරාවත් සසර පුරා සම්මුඛ වීමට හේතු සාධක වූයෙත් එම
දෙපළ තුළ එකී ගුණධර්මයන් සමාන වූ නිසාවෙනි. ජාතක පොත් වහන්සේ තුළ දක්නට ලැබෙන
වෙස්සන්තර ජාතකය දෙස නෙත් යොමන විට වෙස්සන්තර රජු තම දරු දෙපළ “ජාලිය” ,
“කි‍්‍රෂ්ණජිනා’ දන් දුන් විට මන්ත්‍රී දේවිය රජුට දෝෂාරෝපණය නොකොට බුද්ධත්වය පතා
දන් දුන්නා නම් තමනුත් එය හිස් මුදුනින් පිළිගන්නා බව ප්‍රකාශ කරනු ලැබුවේ දරු දුක
නැති නිසා නොව එකී ගුණාංගයන් එම දෙපළගේම සමාන වු හෙයිනි. එමෙන්ම අවසාන වශයෙන් ශක්‍ර
දෙවියන් බමුණු වෙස් ගෙන මන්ත්‍රී දේවිය වෙස්සන්තර රජුගෙන් දනට ඉල්ලූ කළ මන්ත්‍රී
දේවිය බමුණ සමඟ යන්න බෑ නොකියා වෙස්සන්තර රජුගේ දනට සහය වූයේ එම දෙපළ තුළ මෙකී
ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණාංග සමාන වු බැවිනි.
මඝ මානවක කතා පුවතේදී මඝ මානවකයා හට උදවු කළ බිරිඳ ඇතුළු පිරිස මඝ වටා තව්තිසාවේ
ඉපදුනොත් මඝ හට පින්කම් කිරීමට උදවු නොකළ බිරිඳ ගොස් කෙකනියකව විලක ඉපදුනොත් එකී
ගුණාංගයන් සම, අසම වු නිසාවෙනි. කරුණු කාරණා එසේ හෙයින් සසර පුරාවටම ඔබේ හිතෛශියන්
ඔබ ළඟින්ම ඉන්නවා ඔබ කැමැත්තක් දක්වනවානම් එම ගුණාංගයන් ඔබේ පිරිස තුළ වර්ධනය
කරගැනීමට වෙර වඩත්වා.
|