මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ
චරිතාපදානය -11
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී
ධර්ම මහා සංඝ සභාවේ මහා නායක
ආචාර්ය
ඉත්තෑපාන
ධම්මාලංකාර මහ නා හිමි
(මෙරට මෑත ශාසන ඉතිහාසයේ සුපේෂල ශික්ෂාකාමී හිමිනමක් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ
චරිතාපදානය බුදුසරණ පුවත්පතට සම්පාදනය කිරීම සඳහා තොරතුරු සැපයීමට මඟ පෙන්වන්නේ
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන
ධම්මාලංකාර මහ නාහිමියන්ය.)
" කිසිදු දිනක නාග විහාරයට යමක් ඉල්ලා ගෙන ආ අයකු හිස් අතින් ආපසු ගොස් නැත. මේ බව
දන්නේ කීයෙන් කී දෙනෙක්ද සෝභිත හිමියෝ කිසිම දෙයක ප්‍රසිද්ධිය ප්‍රචාරය
බලාපොරොත්තු නොවූ බව මේ වන විට පසක් කර ඇත්තෙමු. සෝභිත හිමියන්ගේ මේ අසරණ සරණ
පිළිවෙත නිසාම ඇතැම් විට යාචකයන් මන්ද මානසික තත්ත්වයන් ඇති පිරිස් පවා
විහාරස්ථානයට පැමිණෙන්නට විය. "
රටේම අසරණ ජනයා වෙනුවෙන් තම දිවියේ වැඩි කොටසක් කැප කළ මාදුළුවාවේ සෝභිත හිමියන්
උන් වහන්සේ විහාරාධිපතිත්වය දැරූ කෝට්ටේ ශ්‍රී නාග විහාරයද එක්තරා අතකින් සමාජ සේවා
මධ්‍යස්ථානයක් ලෙස පත් කර තිබුණි.
නාග විහාරයේ ගේට්ටුව අලුයම සිට රාත්‍රී 11 පමණ වන තුරු ම විවෘතව ඇත.
උදෑසන සිටම නාග විහාරයට බොහෝ පිරිස් ඇදී ආහ. ඇතැම් පිරිස් පැමිණියේ තමන්ගේ දුක
කියාගෙනය. ඒ බොහෝ අය පැමිණෙන්නේ ජීවත් වීමට අවශ්‍ය යමක් ඉල්ලා ගෙනය. එසේ පැමිණෙන
පිරිසේ සංඛ්‍යාවද සුළු පටු නොවේ. සෝභිත හිමියෝ විහාරස්ථානයේ වැඩ සිටියොත් එසේ
පැමිණෙන අසරණයන්ට උන් වහන්සේ අතින් අනිවාර්යයෙන්ම යමක් අතට ලැබේ. එසේ ලබා දෙන දේ
අතර කිරි පිටි පැකට්, සීනි, තේ කොළ එසේත් නැත්නම් වෙනත් ආහාර පාන හෝ මුදල් හෝ විය
හැකිය. එසේ යමක් ලබා දීමේදී ඒ තැනැත්තා බෞද්ධ හෝ අන්‍යආගමික හෝ අන්‍ය ජාතික හෝ වීම
හෝ උන් වහන්සේට වැදගත් නොවීය. යමක් අවශ්‍ය තැනැත්තාට අවශ්‍ය දේ ලබා දීමට පමණක් උන්
වහන්සේ සැම විටම උත්සාහ දැරීය.
සෝභිත හිමියන් විහාරස්ථානයේ නැති අවස්ථාවකදී වුවත් උන් වහන්සේගේ උපදේශය වී ඇත්තේ
යමක් ඉල්ලාගෙන පැමිණෙන්නාට අනිවාර්යයෙන්ම යමක් ලබා දෙන ලෙසයි. එය ඒ අයුරින්ම
සිදුවුණි. සෝභිත හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන් විසින්ද එම උපදේශය අකුරටම ක්‍රියාවට
නංවන ලදී.
කිසිදු දිනක නාග විහාරයට යමක් ඉල්ලා ගෙන ආ අයකු හිස් අතින් ආපසු ගොස් නැත. මේ බව
දන්නේ කීයෙන් කී දෙනෙක්ද සෝභිත හිමියෝ කිසිම දෙයක ප්‍රසිද්ධිය ප්‍රචාරය
බලාපොරොත්තු නොවූ බව මේ වන විට පසක් කර ඇත්තෙමු. සෝභිත හිමියන්ගේ මේ අසරණ සරණ
පිළිවෙත නිසාම ඇතැම් විට යාචකයන් මන්ද මානසික තත්ත්වයන් ඇති පිරිස් පවා
විහාරස්ථානයට පැමිණෙන්නට විය. වෙනත් ස්ථානයකට මන්ද මානසික අයෙකු පැමිණියහොත් බොහෝ
විට පළමුවම කෙරෙන්නේ එළවා දැමීමයි. එහෙත් නාග විහාරයට පැමිණි කිසිවකුගේ සිත්
රිදවීමක් හෝ නොකිරීමට මාදුළුවාවේ සෝභිත හිමියෝ කටයුතු කළහ.
උන් වහන්සේගේ උපදේශය වී තිබුණේද කිසිවකුගේ සිත් නොරිදවීමට කටයුතු කරන ලෙසය.
සෝභිත හිමියෝ එවන් විකාරකරුවන්ගේ යම් යම් ක්‍රියාකාරකම් දෙස බලා ඒ ක්‍රියාවන් ගැන
පසුව කතා කිරීමට කැමැත්තක් දැක්වූහ. ඒ එම ක්‍රියාව නිසා අදාළ පුද්ගලයාට අපහාස වන
අයුරින් නොව එම ක්‍රියාව උපයෝගී කරගෙන හිතවතුන් සමග පවසමින් සිනාසීමට හෝ විනෝද
වීමටය. එයින් උන් වහන්සේ අපේක්ෂා කරන ලද්දේ කායික හා මානසිකව ඇති වන පීඩනය යම්
ප්‍රමාණයකට හෝ අවම කර ගැනීමටය. එහෙත් පුද්ගල චරිතයට කිසිදු හානියක් නොවන සේ කටයුතු
කිරීමටද උන් වහන්සේ වගබලා ගත්හ.
කාටවත් එකට සිටිය නොහැකි පුද්ගලයන් සමග එකට වැඩ කරන්නට සෝභිත හිමියන්ට හැකියාව
තිබුණි. කොතනකින් හෝ කොන්කර දමන අයෙකු සමග වුවද සුහද වන්නට සෝභිත හිමියන්ට හැකියාව
තිබුණි.
සෝභිත හිමියන් නිරතුරුවම පැවසූ මෙවන් චරිතයක් ගැන නොකියාම බැරිය. ඔහු නාරාහේන්පිට
ප්‍රසිද්ධ විහාරස්ථානයක කාලයක් ආවතේව කරමින් සිටි නමුත් උමතු බව නිසාම පසුව නාග
විහාරයට පැමිණියේය. ඔහුට ඒ උමතුව තරමක් වැඩි වූ විට නම් කරනු ලබන වැඩ එතරම් ගුණ
දායක නොවේ. කෙසේ නමුත් ඔහුගෙන් මහා හානියක් වූයේද නැත. ඔහුට කිසිම විටක නිකම්
සිටීමට හැකියාවක් ද නැත.
සෝභිත හිමියෝ දිනක් නාග විහාරයේ අමද්‍යප තරුණ සභාව වෙනුවෙන් ඇති කුඩා ශාලාවේ
හතළිහකගෙන් පමණ සමන්විත කුඩා රැස්වීමක මුලසුන හෙබ වූහ. අර තැනැත්තාගේ දිනපතා
කාර්යයක් වූයේ පැළවලට වතුර දැමීමයි. නමුත් එදින වතුර කරාමයක් කැඩීම නිසා තරමක
කරදරයක් වී තිබුණි. තරමක් උමතුවද වැඩි වි තිබුණි. කෙසේ නමුත් ඔහුට නිකම් සිටීමට ද
බැරි තත්ත්ක් උදා වී තිබුණි. වතුර කරාමය කැඩී දිගටම ජලය ගලා එන්නට විය. මෙය ඔහුටද
මහත්ම හිරිහැරයක් වන්නට ඇත.
සෝභිත හිමියෝ මුලසුන ගෙන සභාව මෙහෙයවති. අර තැනැත්තා බුලත් විටක්ද හපමින් ශාලාව
අසලට ගියේය. සෝභිත හිමියන් වැඩ සිටින දෙස බලා උස් හඩින් ඔහු මෙසේ කීවේය.
‘ඔය රට ජාතිය හදන්න ඉස්සර අර වතුර ටැප් එක හදල දුන්නොත් හොදයි‘ රැස්වීමේ සිටි සියලු
දෙනා මහ හඩින් සිනා සුණහ. ඒ සිනා සුණු අය අතර සෝභිත හිමියෝද වූහ.
සෝභිත හිමියෝ අර තැනැත්තාගේ මේ කතාව බොහෝ අවස්ථාවලදී පවසමින් රස වින්දාහ. එසේ
වීනමුත් එයින් යම් හෝ අපහාසයක් වීමට උන් වහන්සේ කටයුතු නොකළහ. රස විඳීමට පමණක් එය
උපයෝගී කර ගත්හ. යාචකයකුට හෝ වෙනත් අපහසුතා ඇති අයකුට හෝ උන් වහන්සේ කිසි දින ගරහා
නැත. අපහාස කර නැත. හැම විටදී උන් වහන්සේගේ කරුණාව දයාව එම අසරණයන්ට හිමි විය. ඒ
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ස්වභාවයයි.
- ලියන්නේ තාරක වික්‍රමසේකර
|