UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය


ආදර්ශ ප්‍රශ්නෝත්තර - බෞද්ධ සංස්කෘතිය

අභ්‍යාස අංක – 02

1. පබ්බජ්ජා හෙවත් පැවිද්ද යන්න හඳුන්වා දෙන්න.

‘ප්‍රවෘජ්ජා’ යනුවෙන් සංස්කෘත භාෂාවෙන්ද ‘පබ්බජ්ජා’ යනුවෙන් පාලි භාෂාවෙන් ද සිංහල බසින් පැවිද්ද යනුවෙන් ද හඳුන්වා ඇති මෙහි සරල අර්ථය ‘උසස් ගමන’ යන්නය. නික්ම යාම යන අදහසින් ගෙන දෙන අතර පස්කම් සැපතින් නික්ම යාමක් මෙයින් අදහස් කරයි. දුක නැතිකොට සැප ලබා ගැනීම පිණිස පැවිදි බව ලැබීම පබ්බජ්ජා යන්නෙන් අදහස් කරනු ලැබේ. තාපසයන්, ඍෂිවරුන්, මුණිවරුන්, ශ්‍රමණයන් යන නාමයන්ගෙන් පැවිදි පිරිස හඳුන්වා ඇත. දහමට අනුකූලව පැවිද්ද යනුවෙන් ඇත්තේ ගිහි ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව ශීලාදී ගුණධර්ම ආරක්ෂා කරමින් බ්‍රහ්මචාරි ජීවිත ගත කරන සියලු කම් සැපයන්ගෙන් වෙන්ව ජීවත්වීමයි.

2. පැවිදි වීමට අවශ්‍ය සුදුසුකම් සහ ඒ පිළිබඳව පවත්නා චාරිත්‍ර විධි ලියා දක්වන්න.

චීනයෙහි දක්වන පරිදි තම දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ අනුමැතිය ලද සත් අවුරුදු විය ඉක්ම වූ කපුටෙකු එළවා ගත හැකි වියෙහි පසුවන දරුවකුට පැවිදි බිමට ඇතුළත් විය හැකිය. එහෙත් විරූපී පුද්ගලයන්ට එනම් ගොළුවන්, බිහිරන්, අත්පා කොර වූවන්,ඇස් අන්ධ වූවන්, ප්‍රමාණයට වඩා මිටි, බරවා පාද ඇති, කුෂ්ඨ දද ආදි රෝගයන්ගෙන් පෙළෙන අයට පැවිදි විය නොහැකිය. එමෙන්ම රජ භටයන් , සිරගෙයින් පැන ගිය අය, අධිකරණයේ නම ලියවී ඇති අය, හොරු ණයකරුවන්, කසපහර ලැබූවන් පැවිදි නොකළ යුතු බවද විනයෙහි දක්වා ඇත.

පැවිදි කිරීමෙහි චාරිත්‍ර වශයෙන් පැවිද්ද අපේක්ෂා කරන දරුවා රජකුමරෙකු සේ රාජාභරණවලින් සරසා පැවිදි කරනු ලබන විහාරස්ථානයට කැඳවාගෙන යනු ලැබේ. සිදුහත් කුමරුගේ මහාභිනික්මන සිහිගැන්වීමත් මෙම චාරිත්‍රයෙන් නිරූපණය වේ.

අනතුරුව එම විහාරයෙහි රැස්ව සිටින භික්ෂූන් වහන්සේලා වෙත ඉදිරිපත් කරන මෙම දරුවාගේ හිස මුඩු කිරීම හෙවත් පණ්ඩුකර්ම කිරීමට මහා සංඝයා වෙතින් ඉල්ලීමක් කරනු ලැබේ. දරුවාගේ හිසින් කපන මුල්ම කෙස් රොද ඔහුගේ අතට දී තච පංචක භාවනා කර්මස්ථානය කියවීම සිරිතකි. එනම් කෙස්, ලොම්, නිය, දත්, සම යනු එම තච පංචකයයි. මේ එක් එකක් පිළිකුල් සහිත බව සිත්හි කා වැදීම් ඇතිව වටහාදීම මෙයින් බලාපොරොත්තුවේ .

අනතුරුව හොඳින් නහවා දරුවා සුදුවතින් සරසා උතුරු සළුව පොරවා ඔහුගේ දෙමව්පියන්ගේ පා වන්දනා කරවනු ලබයි. දෙමව්පියන්ගේ පා වැඳ සමුගන්නා දරුවා උපාධ්‍යායන් වහන්සේ ඇතුළු රැස්ව සිටින සංඝයා වහන්සේටද වැඳ නමස්කාර කරයි. ඉන් අනතුරව සිවුරු පිරිකර ඇතිව මෙම කුල දරුවා උපාධ්‍යායන් වහන්සේ ළඟ උක්කුටුකයෙන් හිඳ තමාට පැවිද්ද ලබාදෙන්නැයි තෙවන වර දක්වා ඉල්ලීමක් කළ පසු ඔහුගේ අතැති සිවුරු ඔහුට පොරවනු ලැබේ . සිවුරු පෙරවන විට චීවර ප්‍රත්‍යවේක්ෂාව කරවනු ලැබේ. දරුවෙකු පැවිදි කිරීමේ මූලික චාරිත්‍ර මේවාය.

පැවිදි කිරීමෙන් අනතුරුව දෙමව්පියන් තම දරුවා පැවිද්දෙකු නිසා ඔහුට වන්දනා කරනු ලැබේ. සාමණේර දස සීලය උපසම්පදා වන තෙක් මොහු ආරක්ෂා කළ යුතුය.

සාමණේර භික්ෂුවක් සඳහා දේශනා කළ දස සීලය ලියා දක්වන්න.

3. සාමණේර භික්ෂුවක් විසින් ආරක්ෂා කළ යුතු දස සීල මෙසේය.

1.ප්‍රාණඝාතයෙන් දුරුවීම

2. නුදුන් දෙය ගැනීමෙන් වැළකීම

3. අබ්‍රහ්ම චර්යාවෙන් වැළකීම

4.මුසාවාදයෙන් වැළකීම

5.මත් පැනින් වැළකීම

6. අවේලාවෙහි ආහාර ගැනීමෙන් වැළකීම

7.නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම්වලින් වැළකීම

8. සුවඳ විලවුන් දැරීමෙන් වැළකීම

9. උස් අසුන්වල හිදීමෙන් වැළකීම

10. රන් රිදී මසු කහවනු පිළිගැනීමෙන් වැළකීම

සාමණේර භික්ෂුවක ඉහත සඳහන් ශික්ෂාපද සමාදන් වනුයේ එක් එක් ශික්ෂාපදයක් වෙන් වශයෙන් නොව සියල්ලම ආරක්ෂා කිරීමට බැඳී සිටින ආකාරයෙනි.

‘ඉමානි දස සික්ඛාපදානි සමාදියාමි’

මෙම ශික්ෂාපද වෙන්වෙන් වශයෙන් සමාදන් වන සාමණේර පැවිද්දා මේවා සියල්ල එකට ආරක්ෂා කරන බව පොරොන්දු වන නිසා එක් ශික්ෂාපදයක් හෝ ඔහුගෙන් කැඩුනහොත් සියල්ල කැඩී යනු ඇත. නැවත එය ලබාගත යුතුය.

4. ආදර්ශවත් භික්ෂුනමකගේ දෛනික ජීවිතයට අදාළ චාරිත්‍ර විධි මොනවාද?

භික්ෂු විනයෙහි දැක්වෙන පරිදි ආදර්ශවත් භික්ෂුව හිරු නැගෙන්නට පළමුව අවදි විය යුතුය. අනතුරුව සතර ආරක්ෂක භාවනාවෙන් එනම් බුද්ධානුස්සති භාවනාව, මෙත්තානුස්සති භාවනාව, අසුභ භාවනාව හෝ මරණානුස්සති භාවනාව යන එක් භාවනාවක් වඩමින් ස්වල්ප වේලාවක් භාවනා කළ යුතුය.

අනතුරුව දැහැටි දඬුවලද මුහුණ කටසෝදා මනාව සිවුරු හැඳ පොරවා තෙරුවන් නැමදිය යුතුය. හීල දානය පන්සලෙහි පිළියෙල නොවන්නේනම් පිණ්ඩපාත කොට ගෙනවුත් වැළඳීම චාරිත්‍ර වේ. පිඬුසිඟා වඩිනා වේලාව වනතුරු සමවත් සුවයෙන් කල්ගෙවිය යුතුය.ආදර්ශවත් භික්ෂුවක විසින් තම දෛනික ජීවිතය මෙසේ සකසාගත යුතුය.

දවල් දානයෙන් පසුව පස්වරු කාලයේදී ධර්ම ශාස්ත්‍රීය කටයුතුවල නිරත විය යුතුය. දිවා විවේකයෙන් පසුව පෙරවරු කාලයේ මෙන්ම පස්වරු කාලයේද මළුපෙත් ඇමදීම සිදුකළ යුතුය. ධර්මානුශාසනා පැවැත්වීමට විශේෂ පුහුණුවක් ලැබිය යුතුය.

ආදර්ශවත් භික්ෂුව තම කෙස් සහ නිය පමණට වඩා දිග්වීමට ඉඩ නොදිය යුතුය. විනයට අනුව දෑඟුලක් හිස්කෙස් දිග් වීමට පෙර බෑම කළ යුතුය. කලට වේලාවට ස්නානය කොට සිවුරු පිරිකර හරිහැටි මසා සෝදා පිරිසුදුව තබාගත යුතුය. තමාගේ ලැගුම් ගෙයද පවිත්‍ර කොට පිළිවෙළකට තබා ගැනීමට ක්‍රියා කළ යුතුය. දවසේ වැඩ කටයුතු අවසානයේ ආචාර්යවරයන් වහන්සේටත් වැඩිමහල් භික්ෂූන්ටත් වැඳ සමාකර ගැනීමද ආදර්ශවත් භික්ෂුවගේ දෛනික චාරිත්‍ර විධිය.


පසුගිය සතියෙන් -  දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය ආදර්ශ ප්‍රශ්නෝත්තර - 1 : බෞද්ධ සංස්කෘතිය

 

 දුරුතු පුර අටවක පෝය

 දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 16 වැනිදා සෙනසුරාදා අපරභාග 05.55 ට ලබයි. 17 වැනිදා ඉරිදා අපරභාග 03.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 16 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 16

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]