නිරන්තරයෙන් පිදුම් ලබන පාරිභෝගික ධාතුන් වහන්සේ
පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ ජය ශ්‍රී මහා බෝධිය, පාත්‍රා, සිවුරු ආදිය පාරිභෝගික
ධාතු නම් වේ. උන්වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ උන්වහන්සේ සමවත් සුවෙන්
වැඩ සිටි ඇතැම් ස්ථාන මෙන්ම බුදු සිරිතට අදාළ වැදගත් ස්ථානද පාරිභෝගික චෛත්‍ය ලෙස
ප්‍රකටය.මේ පාරිභෝගික ධාතුන් වහන්සේගෙන් අද අප කථා කරන්නේ නාගදීප සෑයේ සහ කැලණි
සෑයේ තැම්පත් පාරිභෝගික ධාතුන් වහන්සේගේ පරම්පරා විස්තරය යි.
නාග දීපයේ මැණික් පළඟ
සියවස් ගණනාවක් විරාජමානව වැඩසිටින නාගදීප මහා ස්ථූපය වැඩ සිටින්නේ යාපනයට නුදුරු
දූපතකයි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව පස්වෙනි වර්ෂයේ නාගදීපයට වැඩම කළ
සේක. ඒ චූලෝදර මහෝදර නාග යුද්ධය සංසිඳවනු පිණිසයි.
මහෝදර නා රජුගේ නැගණිය තිරම්ජිකා හා නාගදීප වැසි නා රජුගේ විවාහයෙන් උපන් දරුවා
චූලෝදරයි. මහෝදර නා රජු චූලෝදර නා රජුගේ ඇවැස්ස මාමා. මාමාගේ රූබරින් සොබනා දියණිය
චූලෝදරට විවාහකර දුන්නේය. දෑවැද්දට අනර්ඝ මාණික්‍ය ඔබ්බවන ලද මිණි පළඟක් ලබා
දුන්නේය. නාගයින්ට මාණික්‍ය ඉතා පි‍්‍රයයි. නමුත් මහෝදර දියණිය නාග කන්‍යාව සුළු
කලකින් මරු වසඟයට ගිය අතර දෑවැද්ද නැවත ඉල්ලා මහෝදර ගෝරනාඩු කළේය. තමාට ලැබුණ දේ
නොදීමේ නීතිය පෙන්වමින් චූලෝදර කුපිත වූයේ අතිශයින් සැහැසි වචන කියමින් යුද්ධයට
එළඹුණේය.
මහා කාරුණිකෝ සත්ථා සබ්බලෝක හිතේ රතෝ
බෝධිතෝ පඤ්චමේ වස්සේ වසං ජේතවනේ ජිනෝ
සියලු ලෝ සත කෙරෙහි ඇලුණ, ජිනේනද්‍ර වූ අපගේ මහා කාරුණික වූ ශාස්තෘන් වහන්සේ
බුද්ධත්වයෙන් පස්වෙනි වස ජේතවනයෙහි වාසය කළ සේක.
මහෝදරස්ස නාගස්ස තථා චූලෝදරස්ස ච
මාතුලභාගිනෙය්‍යානං මණිපල්ලංක හේතුකං
මාමා හා බෑණා වූ මහෝදරත් චූලෝදරත් යන නා රජුන් දෙදෙනා මිණි පළඟ හේතුවෙන් යුද්ධයට
පිවිසියේය.
දිස්වා සපාරි සජ්ජානං සංගාමං පච්චුපට්ඨිතං
සම්බුද්ධෝ චිත්ත මාසස්ස කාලපක්ඛේ උපෝසථෙ
පිරිවර සහිත යුද්ධයට එළඹුණු ඒ පිරිස බුදුරජුන් දුටු සේක. එදා අමාවක පොහෝ දවසයි.
පතෝ යේව සමාදාය පවරං පත්තචීවරං
අනුකම්පාය නාගානං නාගදීපං උපාගමි
නාගයන්ට අනුකම්පා පිණිස පාත්‍ර සිවුරු රැගෙන බුදුරජාණන් වහන්සේ උදේ කාලයේම නාගදීපයට
වැඩි සේක.
භාග්‍යවතුන් වහන්සේ අහසේ සිටත් දහම් දෙසා ඔවුන් සමාදාන කොට භූමියට වැඩ මිණිපළගේ වැඩ
හුන් සේක. ඒ නාගයෝ දිව්‍ය ආහාර පානයෙන් ශාස්තෘන් වහන්සේ පිදූහ. තිලොව නායක වූ
බුදුරජාණන් වහන්සේ ජලයෙන්, ගොඩබිමෙන් වසන ඒ අසූකෙළක් නාගයෝ සරණ සීලයේ පිහිට වූ සේක.
භාග්‍යවතුන් වහන්සේට සෙවණ පිණිස මේ ගමනේ දී කිරිඵලු රුකක් දරා සිටියේ ඒ ගසට අධිපති
ජේතවනයේ වාසය කළ සුමන නම් වූ දෙවියාය. භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට ඒ රුක් දෙවියා
කැටිව ආයේ ඔහු පෙර නාගදීපයේම වාසය කොට පසේබුදුවරයෙකුට පාත්‍රය පිරිසුදු කිරීමට
කිරිඵලු කොළ පූජාකළ පිනෙන් ජේතවනයෙහි කිරිඵලු රුක් දෙවියෙක්ව උපන් නිසාවෙනි. ඒ
කිරිඵලු රුකක් නාගදීපයේ රෝපණය කරන්නට භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළ සේක. මිණි
පළඟත් ඒ කිරිඵලු රුකත් පාරිභෝගික වස්තූන් සේ නාදීපයේ පිහිටියේ ය.
දසබල පරිභුත්තං සබ්බමේතං භුජංගා
මණිරිව රුචිදං තේ ධාතුයෝ යේව තස්මා
මහථ නමථ නිච්චං මං’ව සග්ගා පවග්ගං
දදති ඉති ච වත්වා ඔවදිත්වාන සත්ථා
නාගයිනි, දසබලධාරීන් වහන්සේ පරිභෝග කළ මේ සියල්ල ඔබට සිතු පැතු සම්පත් දෙනු මැණිකක්
මෙනි. ඒවා (පාරිභෝගික ) ධාතුන් වහන්සේම ය. එහෙයින් මා මෙන් නිතර පූජා කරන්න. වන්දනා
කරන්න. එය ඔබට සුගති සැපය පිණිස වන්නේ ය. ශාස්තෘන් වහන්සේ අවවාද කළ සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි භූමියේ ම රාජායතන වෘක්ෂයත් මිණිපළඟත් මහාර්ඝ පූජාවන්
ලෙස නාගයන් විසින් පුදන ලද්දේ නාගදීප ස්ථුපය ඉදිවිය. එදා මෙදා තුර අනේක බලවේගයන්
ඉදිරියේ දෙව් මිනිස් නා පිරිස් වැඳුම් පිදුම් කරමින් නාගදීපයේ බුද්ධ භූමිය
විරාජමානව වැඩ වෙසෙත්.
ධාතු පරිනිර්වාණ සමයේ. . .
තවත් විශේෂයක් වෙයි. ධාතු පරිනිර්වාණය වන සමයේ රුවන්මැලි මහා සෑයට එකතුවන ලංකාධරණී
තලයේ සියලු ධාතුන් වහන්සේ නාගදීපයට වැඩමකොට නාගදීපයේ සෑය දෙබෑකොට අහසට මතුවන මිණි
පළඟ මතුපිට පිහිටා මිණි පළඟ සමඟම දඹදිව බෝ මැඩට වැඩම කොට බුද්ධ ශ්‍රී දේහය මවා
පාමින් ප්‍රාතිහාර්ය කොට ධාතු පරිනිර්වාණය වන්නේය. ඒ අද්භූත වූ ලොමු දැහැගැන්වෙන
ධාතු පරිනිර්වාණය අප ඉදිරියේදී කථා කරන්නෙමු.
කැලණියට වඩින ලෙස කළ ආරාධනාව
නාගදීපයේ යුද්ධයට සහාය පිණිස ගිය කැලණි නදිය අසබඩ බොහෝ පිරිවර ඇතිව වාසය කරන
මිණිකැට නෙත් ඇති නා රජු තිසරණය කෙරෙහි පහන් වූයේ කැලණියට ද වඩිනා ලෙස බුදුරජාණන්
වහන්සේට ආරාධනා කළේය. මහෝදර නා රජුගේ මාමා මණිඅක්ඛිත නා රජු වූයේය.
අසමසම පුරේ තේ විස්සුතෝයේව දාසෝ
යදිමනසි දයා තේ හෝති දාසෝ පුනා’පී
පවර රතනදීපේ හෝති කල්‍යාණිගංගා
මම වසති තහිං තං දට්ඨුකාමෝ’භියාචේ
අසම සම වූ මුනීන්ද්‍රයන් වහන්ස, මම ඔබ වහන්සේ ඉදිරියේ පෙරදීම ප්‍රකටව ම දාස වූයේමි.
(දාසයෙක් සේ සරණ ගියෙමි) ඒ දාස වූ මා කෙරෙහි යළි දයාවක් වේ නම් මේ පවර රත්නදීපයේ මම
වාසය කරන කැලණි නදිය අසලදී ඔබ වහන්සේ දකිනු රිසියෙන් සිටිමි. බුදු සමිඳුණෝ ඒ ආරාධනය
පිළිගත් සේක.
මණිඅක්ඛිත නා රජු දෙව්රමට යෑම
නාගදීප ගමනින් වසර තුනක් ගතවිය. තවම භාග්‍යවතුන් වහන්සේ වැඩම කළේ නැත. මණිඅක්ඛිත නා
රජු පිරිවර සමඟ මානවක වෙස් ගෙන දෙව්රම් වෙහෙරට ගොස් නැවත ආරාධනා කළේය. ලෝ සතුනගේ
හිතසුව පිණිස ලොව පහළවන මහාකාරුණිකයන් වහන්ස, සසර නමැති සිර ගෙයින් අපව මුදවනු
පිණිස කැලණියට වඩින සේක්වා. භාග්‍යවතුන් වහන්සේ නිහඬව ඉවසූහ. කැලණියට පැමිණි නා
පිරිස ගඟ සමීපයේ සමතලා භූමියේ රන් රිදී මුතු සක් ආදිය විසුරුවා නොයෙක් කණු නංවා
නොයෙක් කැටයම් යොදා සිතුවම් යොදා මාලාවන් එල්වා වියන් මුතුවැල් සුවඳ වැල් ගවසා තැන්
තැන් වල සුසිනිඳු මුතුවැනි වැලි විසිරුවා තොරන් තනවා සොඳුරු මණ්ඩපයක් ඉදිකොට
ප්‍රණීත දානය පිළියෙල කොට පෙරමඟ බලා සිටියේය.
භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් මහරහතුන් ගුවනේ පිරිවැරූ සේක. සාරිපුත්ත මහ රහතන්
වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, මහානාම, උපවාන, උපාලි,
අනුරුද්ධ, බක්කුල, අංගුලිමාල, රාහුල, භද්දිය, සේල, සුභූති , තිස්ස රාධ, දබ්බ,
උපසේන, කොණ්ඩඤ්ඤ, අස්සජී, සීවලී, භගු, කුමාරකස්සප, පුණ්ණ, සෝණ, සෝභිත, රේවත, වංගීස,
සාගත , නන්ද, භාරද්වාජ, ගවම්පති ආදි මහරහතුන් පන්සියයක් කැලණිය පරිභෝග කළේ වෙසක්
පුන් පොහෝ දිනකදීය.
කැලණියේ මැණික් පළඟ
එදා කැලණියේ භාග්‍යවතුන් වහන්සේට පැනවූ මණ්ඩපය රහතුන් වැඩසිටිය බිම අද ඒ සෑ බිමයි.
භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳීමට වැඩසිටි මිණිපළඟ සෑ ගර්භයේ තැම්පත් පාරිභෝගික
ධාතුන් වහන්සේ වන සේක. පසුකාලීන සර්වඥ ධාතුන් වහන්සේ ද තැම්පත් වන්නට ඇත. කැලණිය
මහා ථූපය එතරම් ම පූජනීය වන්නේය.
චීවර ගල සිරිපා කමල හා ජලසාටිකාව
භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා නාගයින්ට දහම් දෙසා කැලණි නදියේ පැන් පහසු වූ සේක.
නාගයින්ට වන්දනා කිරීමට ගඟ පතුළේ සිරිපා සටහන් තැබූ සේක. ඒ උතුම් සිරිපා මාණික්‍ය
රැසකින් වැසී ගියේය. සිවුරු ගලවා තැබූ ගල චීවර ගල ලෙස අදටත් සෑ මළුවේ උපචාර බිම
තිබෙන බව නම් බොහෝ දෙනෙකුට රහසකි. නා ගස් සෙවණේ චීවර ගල සුරක්ෂිතව ඇත්තේ පිදුම්
ලැබිය යුත්තේම ය. ජල සාටිකාව තැම්පත් කළ වෙහෙර එගොඩ කැලණිය යි.
මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේ පරිභෝග කළ ධාතුන් වහන්සේ වශයෙන් එදා මෙදා තුර දෙනෝ
දහසක් වඳිති. පුදති. භාග්‍යවතුන් වහන්සේගේ පාරිභෝගික ධාතුන් වහන්සේගේ අනුහසින් ඔබ
සුවපත් වේවා.
-
නයනා නිල්මිණි
|