බිනර අව අටවක 2015.10.04
යහපතෙහිම යෙදවිය යුතුය
මිනිස් සිත ස්වභාවයෙන් පිවිතුරුය. එහෙත් ඒ පිරිසුදු සිත බාහිර
සමාජය සමඟ ඇලීම් ගැටීම් ඇති වන විට කිලිටට පත්වීම නොවැළැක්විය
හැක්කකි. බුද්ධිමත්ව ක්‍රියාකරන තැනැත්තා පමණක් කවර ඇලීම්
ගැටීම් මධ්‍යයේ වුවද සිත අයහපතට යොමුවීමෙන් වළක්වා ගැනීමට
උත්සාහ කරනු ලැබේ. සියලු ක්‍රියාවන් සඳහා මුල් වන්නේ සිතය.
සියල්ල හට ගන්නේ ද සිතෙහිය. අයහපත් සිතින් කරන ක්‍රියාවන්හි
ප්‍රතිඵලද අයහපත්ය. ගොනුගේ පය අනුව යන රියසක මෙන් එහි අනිටු
ප්‍රතිඵල විඳීමට සිදුවනුයේ ද තමාට මය. යමක් කිරීමෙන් ඉන් ඇති
වන්නේ දුකක්, කනගාටුවක්, පසුතැවීමක් නම් එවැන්නක් නොකර සිටීමේ
වගකීම පවතිනුයේද තමාටමය. යමක් කර ඉන් පසුතැවීමට වඩා එහි
ඵලවිපාක හොඳ හෝ නරක විඳීමට සිදුවන්නේ තමාට යැයි පමණක් කල්පනා
කිරීමෙන් පවා අකටයුතුවලින් වැළකී සිටීමට එයම පමණක් වුවද
ප්‍රමාණවත් වනු ඇත.
සෑම මනුෂ්‍යයෙකු විසින්ම මෙලොවට බිහිවන විට රැගෙන එන කර්ම
ශක්තියක් ඇත. එම කර්ම ශක්තීන් බොහෝ විට වෙනස්කර ගනු ලබන්නේද තම
තමාගේ ක්‍රියාවන් අනුවය. නූපන් අකුසල් නූපදීමටත් උපන් කුසල්
වැඩි දියුණු කර ගැනීමටත් බුද්ධිමත්ව තම සිත මෙහෙයවීමට උත්සාහ
කළ යුතුවේ. තමා වෙසෙන සමාජයේ මනුෂ්‍යයෙකුට අවැඩක් කරමින්
ජීවත්වීම තමාට උසුලා දරා ගත හැකි නොවේ. සෑම මනුෂ්‍යයකුම පාහේ
තම තමන් විශ්වාස කරනු ලබන ආගමික පරිසරයක් යටතේ වාසය කිරීම තමාට
මෙන්ම සමාජයටද යහපත පිණිස පවතින බව කල්පනා කළ යුතුවේ. මිනිසා
නොමගින් මුදවා සුමගට යොමු කැරෙනුයේ දහම තුළිනි. දහමට ගරු කරන
තැනැත්තා වරදින් ඈත් කරවනු ලබයි. වෙසෙසින් සම්බුදු දහම මගින්
මිනිසාගේ කායික මානසික සංයමය උදාකර දෙනු ලැබේ. සෑම
මනුෂ්‍යයෙකුම නීතියට ගරු කළ යුතුවාක් මෙන්ම නීතියට ඇති බියටත්
වඩා ආගමානුකූලව කල්පනා කරමින් යම් දෙයක යහපත අයහපත විනිශ්චය කර
ගත යුතුවේ. මිනිසාගේ ඇවතුම් පැවතුම් අවිචාරවත් වූ තරමට රටක
නීති එකිනෙක වැඩිවේ. ශික්ෂණයෙන් වෙසෙන සමාජයක අවුල් වියවුල්
පැන නොනගී. මිනිස්කමට නුහුලන තරම් අපරාධ බහුලවන විට එබඳු
සමාජයක නීති රීති දැඩිවෙයි.
මනුෂ්‍යයාගේ කායික, වාචසික, මානසික අසංවරය නිසාම හැම විට ගැටලු
උදාවේ. ශිෂ්ටසම්පන්න සමාජය තුළ කෙනෙකු තවත් අයෙකුට විපතක්,
කරදරයක් කිරීමට නොපෙළඹේ. කය, වචනය, සිත යන තිදොරෙහි සංවරය
පැවැති තරමට එබඳු සමාජයක් තුළ අන්‍යෝන්‍ය විශ්වාසය පවතී. සාමය
සමගිය සුරැකේ. ඔවුනොවුන් කෙරෙහි සැකය, බිය, අවිශ්වාසය ඇති
කරනුයේ මනුෂ්‍යයාගේ නරක නපුරු පවිටු පැවැත්ම හේතුවෙන්මය.
තමාට සුදුසු ඇසුර නොමැති විට තමා තනිවම විසීම තුළින් තමාට
පැමිණෙන විපත් කරදරවලින් වැළකී සිටීමට හැකිවෙයි. බොහෝ විට
මනුෂ්‍යයා විපතට ඇද හෙලනුයේ පවිටු ඇසුරද හේතුවෙනි. එබඳු පවිටු
ඇසුරෙන් වෙන්ව යහපත් කළණ මිතුරු ඇසුරම හැම විට අපේක්ෂා කළ
යුතුවේ.
තම තමන් කරන කුසල් අකුසල් ගැන අවධානයෙන් පසුවිය යුතුය. තමන්
කරන කියන කටයුතුවලින් පරලොවදී නොව මෙලොවදීම විවිධ දුක්
කරදරටවලට මුහුණ පෑමට සිදුවන බව අමතක නොකළ යුතුය. ගතේ සිතේ
පාලනයක් ඇති කර නොගැනීම හේතුවෙන් මිනිසා විපතට මිස සැපතට පත්
නොවන බව කල්පනා කළ යුතුව ඇත. සිත යහපතෙහි යෙදවීමෙන් තමා පසු පස
එන සෙවණැල්ල මෙන් එහි යහපත් ප්‍රතිවිපාක තමාට හිමිවන හෙයින්
හැම විට සිත යහපතෙහිම යෙදවිය යුතුවේ.
|