ගතට සිතට සුවය ගෙනෙන භාවනාව
කැලණිය විශ්ව විද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුමනපාල ගල්මංගොඩ
බුදුදහම පරලොව ජීවිතය පමණක් නොව ප්‍රායෝගිකව මෙලොව ජීවිතය ද සුවපත්
කිරීමට මහෝපකාරි වෙනු ඇත. බුදු දහමට අනුව භාවනා ක්‍රම පුරුදු පුහුණු
කිරීම තුළින් මෙලොව ජීවිතයේදි මුහුණ දෙන ගැටලු, ප්‍රශ්න හා අසහන බොහෝ
සෙයින් විසඳාගත හැකි වෙයි. ඒ තුළින් පුද්ගලයාගේ සංසාරික ජීවිතයද සුවපත්
කරගත හැකිය. ක්‍රමානුකූලව එම භාවනාමය පුහුණුව නිර්වාණාවබෝධයටද ප්‍රබල
සාධකයක් වන බැවින් සියලු දුක් කෙළවර කිරීමෙන් ලබාගතහැකි උතුම් වූ
සැනසීමට ද හිමිකම් කීමේ භාග්‍ය උදාකරගත හැකිය.
භාවනාව පිළිබදව අපගේ අවබෝධය තවදුරටත් පුළුල් කරගැනීම සඳහා මෙලොව
ජීවිතයට භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාදැයි විමසා බැලිය යුතුයි. බෞද්ධ
භාවනාව පුහුණු කරන්නන් අතර ඉතා ප්‍රචලිත වූත් එතරම් ප්‍රකට නැත්තාවූත්
භාවනා ක්‍රම සමූහයක්ම සූත්‍ර දේශනා තුළ දක්නට ලැබේ. ඒවා අතරින් සමහරක්
පහත සඳහන් කර ඇති අතර මෙහිලා විශේෂයෙන්ම ඒවා තෝරාගෙන ඇත්තේ මෙලොව
ජීවිතයට ඒ තුළින් ලැබෙන සුවිශේෂි ප්‍රයෝජන හේතුකොටගෙනය.
1. අනුසස් භාවනාව
බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති , සීලානුස්සති, චාගානුස්සති,
දේවතානුස්සති ආදි වශයෙන් මෙම භාවනාව ප්‍රභේද ගතවේ. අනු-පිළිවෙළින්
බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ මෙනෙහි කිරීම සීලයේ සුපරිශුද්ධතාවය
ගැන මෙනෙහි කිරීම, පරිත්‍යාගයේ වැදගත්කම මෙනෙහි කිරීම දෙවියන් සාක්ෂියට
තබාගෙන තමාගේ ශ්‍රද්ධා ආදී ගුණයන් සිහිපත් කිරීම මෙම භාවනා ක්‍රමවලට
අයත්වේ.
බොහෝ විට අප එදිනෙදා ජීවිතයේදී විවිධ වු මානසික අසහනයන්ට හේතු වන
කාරණාව වනුයේ අනවශ්‍ය ලෙස අයෝග්‍ය දේවල් පිළිබඳව නිතර නිතර කල්පනා
කිරීමයි. ඇතැම් අවස්ථාවන් තුළ මෙම තත්වය මානසික රෝගයන් දක්වා පුළුල්
පරාසයකට විහිදී යාමේ හැකියාවක් ද ඇත. යමක් පිළිබඳව නිතර නිතර සිතීමෙන්
තමාගේ සිත ඒ පැත්තටම නැඹුරුවීම වැළැක්විය නොහැකිය. එනිසාම සුභවාදීව
සිතමින් යහපත් දේ පිළිබඳව නිතර නිතර මෙනෙහි කිරීමෙන් තම සිත යහපත් අතටම
නැඹුරුවීමද ස්වභාවිකය. වැරැදි ලෙස කල්පනා කිරීම ‘අයෝනිසෝමනසිකාරය’
වශයෙනුත් යහපත් ලෙස කල්පනා කිරීම යෝනිසෝමනසිකාරය යනුවෙන් හඳුන්වනු
ලබයි. නිදහසක් ලද සෑම අවස්ථාවකදීම කල්පනා කිරීමට යහයපත් අරමුණු තිබීම
ඉතාම වැදගත්ය. උදාහරණයක් වශයෙන් රත්නත්‍රයේ ගුණ මෙනෙහි කිරීම තුළින්
රාග, ද්වේෂ, මෝහ මූලික සියලු අකුසල තත්වයන්ගෙන් තොරව පිරිසුදු සිතෙහි
කිසිකලෙකත් අසන්තුෂ්ටියක් ඇති නොවේ. තමා ආරක්ෂා කරන සීලයේ නිවැරැදිතාවය
පිළිබඳව සන්තෘප්තියක් ඇතිකර ගත හැකි අතර “අනවජ්ජසුඛ’ යනුවෙන්
හැඳින්වෙන්නේ ද මෙම තත්වයයි.
පරිත්‍යාගය පිළිබඳව මෙනෙහි කිරීම තුළින් බොහෝ දේ ලබාගැනීමටත් ඒවා
ආරක්ෂා කරගැනීමටත් උත්සාහ ගැනීමෙන් ඇති වන මානසික පීඩා දුරු කරගත
හැකිය. වින්දනය ලැබීම නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා හැම විටම යමක්
පිළිබඳව සොයයි. සෙවීම නිසා ලැබේ. එය ලැබීම නිසා ඒවා ගැන තීරණ ගනියි.
තීරණ ගැනීම නිසා ඒවා පිළිබඳව ඡන්දරාගය හටගනී. ඡන්දරාගය තවදුරටත්ව
වර්ධනය වීම නිසා ඒවා පිළිබඳව මුසපත් වෙයි. ඒ නිසාම ඒවා තව තවත් දැඩිව
මනසින් ග්‍රහණය කරගනී. මෙම ග්‍රහණය නිසා මසුරුකම හටගනී. මසුරුකම, එනම්
මේවා මට පමණය. අන් අයට නොවේය යන හැඟීම නිසා දඬුමුඟුරු ආයුධ ආදිය
ගැනීමෙන් විවාද කෝලාහල , යුද්ධ කිරීමටත් කේළාම් හා බොරු කීමටත්
සිදුවෙයි. මේ ආකාරයෙන් යම් යම් දේ ලබාගැනීමට සිතීම නිසා විවිධාකාරයේ
ගැටලු මතුවේ.
ඒනිසා පරිත්‍යාගය පිළිබඳව හා එහි වැදගත්කම පිළිබඳව නිතර සිතිමෙන්ද ඒ
අනුව කටයුතු කිරීමෙන්ද ඉහත කී බොහෝ ගැටලු කරදරවලින් මිදීමට උපකාරි
වෙයි. මෙම තත්ත්වයට අමතරව පරිත්‍යාගී සංකල්පනාවෙන් හා ඒ අනුව කටයුතු
කිරීම නිසා ලෞකික වශයෙන් තවත් බොහෝ ප්‍රයෝජන රාශියක් හිමිවේ.
පරිත්‍යාගශීලි පුද්ගලයා අධික සතුටක් ලබයි. සමාජය තුළ ගෞරවාදරයට පත්වේ.
විශ්වාස කටයුතු පුද්ගලයකු බවට පත්වීම නිසාම මිත්‍රසම්පත්තිය ඇතිකර ගනී.
දෙවියන් යනු අදෘශ්‍යමාන ව අප දෙස බලාගෙන සිටින පිරිසක් යැයි සිතමු. ඒ
අයට වංචා කළ නොහැකිය. හේතුව ඔවුන් සෑම අවස්ථාවකදීම අප දෙස බලාගෙන සිටින
බැවිනි. දෙවියන් සාක්ෂි වශයෙන් තබාගෙන තමාගේ ශ්‍රද්ධාදී ගුණ මෙනෙහි
කිරීම තුළින් පුද්ගලයා අවංකව එම ගුණ අපේක්ෂා කරයි. එවිට ඔහු සැම විටම
එම ගුණයන් ආරක්ෂා කිරීමට පෙළඹෙයි. තවදුරටත් එම ගුණ ආරක්ෂා කිරීමට
පෙළඹීම නිසා දෙවියන්ගේ ආශිර්වාදය ද තමාට ලැබෙන බව මෙනෙහි කිරීමෙන්
සතුටට පත්වෙයි. දෙවියන්ගේ අනුකම්පාව ලද පුද්ගලයා සඳහා යහපත දකී.
2) මෛත්‍රී භාවනාව
තමාටත් තම හිතමිත්‍රාන්දීන්ටත්, මධ්‍යස්ථ අයටත්, සතුරන්ටත්, සියලු
සත්ත්වයන්ටත් යහපතක් වේවා යන ප්‍රාර්ථනාව ඒ තුළ ඇත. එයට අදාළ වන
ක්‍රියාවල නිරතවීම මෛත්‍රී භාවනාවේ මූලික ලක්ෂණයයි. මෛත්‍රී භාවනාවේ
යෙදීම නිසා උදාවන ලෞකික ප්‍රතිඵල රැසක්ම මෙත්තානිසංස සූත්‍රයේ දක්වා
ඇත.
1.සුවසේ නිදාගැනීමට හැකිවීම (සුඛං සුපති)
2.සුවසේ පිබිදීමට හැකිවීම (සුඛං පටිබුජ්ඣති) ,
3.නරක සිහින නොදැකීම
(නපාපකං සුපිනං පස්සති) ,
4.මිනිසුන්ට පි‍්‍රය වීම (මනුස්සානං පියොහොති
),
5.අමනුෂ්‍යයන්ට පි‍්‍රයවීම (අමනුස්සානං පියො හොති) ,
6.දෙවියන්ගේ
ආරක්ෂාව ලැබීම (දෙවතා රක්ඛන්ති) ,
7.ගිනි අවි හා විෂවලින් උවදුරු නොවීම
(නාස්ස අග්ගි වා විසං වා සත්ථං වා කමති,
8. මුහුණේ පෙනුම පි‍්‍රයමනාප
වීම (මුඛවණ්ණො විප්ප සීදති) ,
9.වහා සිත එකඟවීම (තුවටං චිත්තං
සමාධියති) ,
10. සිත අවුල් නොවී මරණයට මුහුණදීමේ හැකියාව ඇතිවීම
(අසම්මුළ්හො කාලං කරොති)
මෙම ප්‍රතිඵල ලැබීමට නම් මෛත්‍රිය මේ ජීවිතයේ අංගයක් බවට පත්කර ගත
යුතුය. මසකට වරක් පමණක් මෛත්‍රී භාවනාව වඩා සියලු ප්‍රතිඵල අපේක්ෂා
කළනොහැකිය.
මිත්‍රයන්ට ද්‍රෝහි නොවීමද මෛත්‍රියේ කොටසක් වන අතර මිත්‍රයන්ට ද්‍රෝහී
නොවී ඔවුනට කාරුණික වීම තුළින් ලෞකික වශයෙන් ප්‍රයෝජන බොහොමයක් ලබාගත
හැකි වෙයි. තම නිවසින් පිටතට පැමිණි විට එම පුද්ගලයාට ආහාරපාන
අඩුපාඩුවකින් තොරව ලැබෙන අතර සොර සතුරු කරදර ඇති නොවේ’. සභාවක් තුළ
ඉමහත් ගෞරවයට පිළිගැනීමට ලක්වන අතරම ඥාතීන් අතර පි‍්‍රයමනාප පුද්ගලයකු
වේ. තමාගේ කීර්තිය දසත පැතිරෙන අතර ඉතා පහසුවෙන් සෞභාග්‍ය කරා ළඟාවේ.
විපතකට පත් වූ වහාම තමාගේ පිහිටට බොහෝ පිරිස් පැමිණෙති. මෛත්‍රී භාවනාව
වැඩීම තුළින් මෙලොවදීම යහපත් ප්‍රතිඵල රාශියක්ම උදාකරගත හැකිවේ.
බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනමගෙන් එක් හිමිනමක් වූ මුගලන් මහ රහතන්
වහන්සේද බුදුහිමියන්ගේ ප්‍රධාන ශ්‍රාවකයන් අතරින් මහා කාශ්‍යප මහ රහතන්
වහන්සේද දැඩි සේ ගිලන්ව සිටි අවස්ථාවන් දෙකකදීම එහි වැඩම කළ
බුදුපියාණන් වහන්සේ සුවදුක් විචාරා මෙම රෝගී තත්වයෙන් මිදීම සඳහා
බොජ්ඣංග භාවනාව වඩන ලෙස උපදෙස් ලබා දී ඇත. එම උපදෙස් පිළිගෙන බොජ්ඣංග
භාවනාව වඩා එම දෙදෙනා වහන්සේත් මහා චුන්ද තෙරණුවෝත් රෝගාබාධයන්ගෙන්
මිදුණු බව සූත්‍ර දේශනාවල සඳහන්ව ඇත. බොජ්ඣංග යන වචනයෙන් අදහස් වන්නේ
බෝධියට හෙවත් මනා අවබෝධයට අංග වන උපකාරවන කරුණු යන්නයි. එනම් සති, ධම්ම
විචය වීරිය, පීති, පස්සද්ධි, සමාධී උපේක්ෂා යනුයි.
ධර්මය පිළිබඳව විමසීම, වීර්යය, සිහිය , සතුට, සන්සිඳීම, සිතෙහි එකඟබව,
මධ්‍යස්ථ බව යන ගුණාංගයන් එම සත්වැදෑරුම් බොජ්ඣංගයන්ගෙන් කියැවේ. රෝගී
වූ අවස්ථාවකදි කළකිරීමෙන් බියෙන් හා විපිළිසර මනැසකින් යුක්තව හා
උදාසීනව කල්ගත කිරීමෙන් රෝගය උත්සන්න වීමටත් ශාරීරික වශයෙන් වඩාත්
දුර්වල වීමටත් හේතුවන අතර එවැනි රෝගී වූ අවස්ථාවල ඉතාම වැදගත් වන කරුණ
ලෙස සිත සතුටින් තබාගැනීම, වීර්යය, අධිෂ්ඨානය තහවුරු කරගැනීමත්
අත්‍යවශ්‍ය වේ. ඉහත සඳහන් බොජ්ඣංග ධර්ම තුළින් පුද්ගල මනසේ මනා
සංවර්ධනයක් කරගත හැකි ඉතා වැදගත් ගුණාංග කිහිපයක්ම ඉදිරිපත් වේ. සිහිය
පිහිටුවා ගත යුත්තේ මානසික විපිළිසර තත්වයන් දුරුකර සිතේ සතුට
පී‍්‍රතිය ඇතිකරගෙන කළකිරීමේ ස්වභාවයන් දුරු කර ගැනීමටය. ධෛර්යය
වීර්යය, ගිලන් තත්වයෙන් මිදීමට අතවශ්‍ය කාරණාය. ධර්මයට අනුකූල වන පරිදි
සිත මෙහෙය වීමෙන් බොහෝ අයහපත් අරමුණුූ නිසා සිත වික්ෂිප්ත වීම වළකී.
සිත සතුටින් තබා ගැනීම තුළින් කායික සැනසීමක් ඇතිවේ. කායික සන්සිඳීම
හේතුකොට ගෙන මනස සමාධි ගතවේ. මෙම සත්වැදෑරුම් ගුණාංගයන් නිතර ප්‍රගුණ
කරමින් පුරුදු පුහුණු කිරීමෙන් මානසික සහනය පමණක් නොව කායික සුවයද
ලබාගත හැකියි. විශේෂයෙන්ම රෝගාබාධයන්ට ගොදුරු වු අවස්ථාවන් තුළදී මෙම
ගුණාංග සංවර්ධනය කරගෙන තිබීමෙන් රෝගාබාධයන්ගෙන් දුරු වීම සඳහා
අතිශයින්ම මහෝපකාරි වනු ඇත.
ආයුෂ්මත් ආනන්ද හිමියන් ගිරිමානන්ද හිමියන් ගිලන් වී සිටි අවස්ථාවක
බුදුරදුන් හමුවෙති. මෙම දසසඤ්ඤා ඉගෙන ගිරිමානන්ද හිමියන්ට දේශනා කළ අතර
එය අසා සිටි ගිරිමානන්ද හිමියෝ සුවපත් වූ බව බුදුසමයේ සඳහන් වේ.
දසසඤ්ඤා මෙනෙහි කිරීමද රෝගාබාධයන්ගෙන් දුරුවීමට මනා උපකාරයක් බව
බුදුසමය නිර්දිෂ්ට කර ඇති අතර එය ක්‍රමයෙන් නිර්වානාවබෝධය කරා යොමු
කිරීමට හේතුවක්ද වේ.
ගිරිමානන්ද සූත්‍රයෙන් දසසඤ්ඤා ඉදිරිපත් කර ඇත.
1.සියල්ල අනිත්‍ය යන හැඟීම (අනිච්ච සඤ්ඤා) , 2.කිසිම දෙයක් මමය, මාගේ
යැයි ගත යුතු හරයක් නැත යන හැගීම (අනන්ත සඤ්ඤා) , 3. මෙම ශරීරයේ
කිසිවක් ශුභ වශයෙන් සැළකිය නොහැකිය යන හැගීම (අසුභසඤ්ඤා) , 4.මෙම ශරීරය
විවිධ රෝගාබාධයන්ට ගොදුරු වන බැවින් එය අයහපත් ප්‍රතිඵල ඇත යන හැගීම
(ආදීනවසඤ්ඤා) , 5.සිත තුළ ඇතිවන අකුසල සිතිවිලි ඉවත් කිරීම සහනයක් යැයි
හැගීම (පභාණසඤ්ඤා) , 6.යමකට ඇලීමට වඩා ඒ පිළිබඳව ඇලීම දුරු කිරීම
වැදගත්ය යන හැගීම(විරාගසඤ්ඤා) , 7.තණ්හාව දුරුකිරීම නිසා සදාතනික
සහනයක් උදාකර ගත හැකිය යන හැගීම (නිරෝධ සඤ්ඤා) , 8.ලෝකයේ කිසිවක්
දැඩිලෙස ග්‍රහණය නොකිරීම සැනසීමේ මාර්ගයයි යන හැගීම (සබ්බලෝකෙ
අනභිරතසඤ්ඤා) , 9. හේතු ප්‍රත්‍ය නිසා හටගන්නා සියලු සංස්කාරයන්
අනිත්‍ය යන හැඟීම (සබ්බ සංඛාරෙසු අනිච්චසඤ්ඤා) , 10. සිහිය වර්ධනය
කිරීමත් ශාරීරික සහනය උදාකර ගැනීමත් මනස නිදහස් කර ගැනීමත් සඳහා ආශ්වාස
ප්‍රශ්වාස අරමුණු කොට ගෙන සිත මෙහෙයවීම (ආනාපාන සතිය) අයථා චින්තනයෙන්
බැහැරව යථාර්ථයට මුහුණ දී ඒ අනුව තම සිතිවිලි හා ක්‍රියාවන්වල
නිරතවීමෙන් සිත පිරිසුදු වන අතර කායික සුවයද උදාකරගත හැකිවේ. අපගේ
ශාරීරික රෝගාබාධයන්ට මානසික තත්වයන් බොහෝ විට හේතුවන බැවින් මානසික
තත්වය අනුව චර්යාව මෙහෙයවන බැවින්ද දස සඤ්ඤා මෙනෙහි කිරීමෙන් ශාරීරික
ආබාධයන් දුරුකර ගත හැකිය.
භාවනාවේ ලෞකික ප්‍රයෝජන සඳහා පමණක් ඉහත සඳහන් භාවනා ක්‍රම හඳුන්වා දෙනු
ලැබුවද පොදුවේ ගත් විට සෑම බෞද්ධ භාවනා ක්‍රමයක්ම ලෞකික හා ලෝකෝත්තර
ප්‍රයෝජන ලබාගත හැකි වේ. බෞද්ධ භාවනාව පරලොව සඳහා හෙවත් නිවන ලැබීම
සඳහා පමණක්ය යන සාමාන්‍ය ජනතාව අතර පවතින වැරැදි මතයන්ය.
හේමමාලා රන්දුනු |