මෙහෙණ සස්නේ ආරම්භයයි බිනර පොහොයයි
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය,
කොළඹ නව කෝරළයේ ප්‍රධාන
සංඝනායක,
කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති,
ගල්කිස්ස
බෞද්ධායතනාධිපති,
දිවියාගහ යසස්සි නා හිමි
බුදුපියාණෝ විශාලා මහනුවර කූඨාගාර ශාලාවෙහි පස්වන වස වැඩසිටියහ. මේ
අවස්ථාවෙහි මහාප්‍රජාපතී ගෝතමිය රෝහිණී නදිය අසල දී පැවිද්ද ලබාගත්
කුමාරවරුන්ගේ භාර්යාවන් පන්සියයක් සමඟ හිස් මුඩුකොට කසාවත් හැඳ
බුදුරදුන් වැඩ සිටි කූඨාගාර ශාලාව වෙත පැමිණියා ය. පනස් එක් යොදුනක්
තරම් වූ දීර්ඝ මාර්ගය ගෙවා අධික වෙහෙසට පත් ඒ සැමදෙනා ඉදිමුන පා ඇතිව,
දූවිලි වැකුණු ශරීරයන්ගෙන් යුක්තව පැමිණ සිටීම දුටුවන්ගේ හද කම්පා කරන
සුළු විය. මේ අවස්ථාවෙහි එතැනට පැමිණි ආනන්ද හිමියෝ මහාප්‍රජාපතී
ගෝතමිය ප්‍රධාන කාන්තාවන් පැවිද්ද ලබා ගැනීමේ ආශාවෙන් දුර මග ගෙවා
කඳුළු සලමින් දුක්බරව පැමිණි පුවත අසා දැනගත්හ. අනතුරුව මේ පිළිබඳව
බුදුරදුන්ට දැන් වූ නමුත් මුලදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් ආනන්ද
හිමි නැවතත් කරුණු දැක්වීය. පෙර බුදුවරුන් මේ ප්‍රශ්නය කවර ආකාරයෙන්
විසඳුවේද යි බුදු නුවණින් සලකා බැලූ උන්වහන්සේ ඒ අනුව අෂ්ට ගරු ධර්ම
පිළිගැනීමෙන් කාන්තාවන්ට පැවිද්ද ලබා ගැනීමට අවසර දුන්හ.
ස ාසන ඉතිහාසය විමසිලිමත්ව බලන විට කාන්තාවන්ට ශාසනයට ඇතුළු වීමට ඉඩකඩ
මුල දී නොදීමට හේතු කිහිපයක් තිබූ බව පෙනී යයි. එයින් ප්‍රධාන කරුණක්
වූයේ සසුන්ගත වූ පසු භාවනාදියෙහි යෙදෙමින් වනගතව හෝ විවේකස්ථානවල
හුදෙකලාව වාසය කිරීම තුළින් සුචරිතවත් බව රැක ගැනීමට ඔවුනට අපහසුවීම
එක් කරුණකි. එසේම මහාප්‍රජාපතී ගෝතමිය සමඟ පැවිද්ද ඉල්ලා රෝහිණී නදිය
අසබඩින් පැමිණි කාන්තාවන් පන්සියය සම්පූර්ණයෙන් ශාසනික ප්‍රතිපදාව අනුව
කටයුතු කිරීමේ සැදැහැවත් චේතනාවක් ඔවුන් තුළ නොතිබුණි. මෙයට ටික කලකට
පෙර බුදුරදුන් රෝහිණි නදිය අසබඩට පැමිණි වේලෙහි මේ කාන්තාවන්ගේ
ස්වාමිපුරුෂයෝ පැවිද්ද ලබාගෙන බුදුරදුන් හා වැඩම කළහ. එසේ ගිය ස්වාමි
පුරුෂයන් සිවුරු හරවාගෙන ඒමේ චේතනාවක් පැවිද්ද ලබා ගැනීමට පැමිණි සමහර
කාන්තාවන්ට තිබුණ පැවිද්ද ලබා ගැනීමේ අපහසුතාව කාන්තාවන්ට අවබෝධ කර
දීමට අවශ්‍ය නිසාත් භික්ෂුණී ශාසනය ඇති කිරීම, පමා කළා විය හැකිය.
අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන් කාන්තාවන්ට මහණ උපසම්පදාව ලබා ගැනීමට
අවස්ථාව උදාකළ බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. විමසිලිමත්ව බලන විට
මේ අෂ්ට ගරු ධර්ම වශයෙන් දැක්වෙන කරුණු අට බුදුරදුන් විසින් පනවන ලදැයි
පිළිගැනීමට සමහර විචාරකයෝ මැළි වෙති. එයට හේතු කීපයකි. බුදුරදුන්
විසින් විනය නීති පැනවීම ආරම්භ කරන ලද්දේ බුද්ධත්වයෙන් විසිවන වර්ෂයේ
සිට ය. එසේ තිබියදී විනය හා සම්බන්ධ වූ භික්ෂූන් විසින් පොහොය විචාරීම,
උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කිරීම, ගරු ඇවතකට පත් භික්ෂුණිය උභතෝ සංඝයා
ඉදිරියේ මානත් පිරීම යන කරුණු අෂ්ට ගරු ධර්ම අතර සඳහන් වෙතත් විනය
ශික්ෂා පනවා නොමැති නිසා ක්‍රියාත්මක කිරීම අපහසු කාර්යයකි. එසේම ගරු
ධර්ම අතුරෙන් හය වැන්නෙන් දැක්වෙන්නේ දෙ වසරක් කඩ නොකොට ශිෂ්‍ය මානාවකව
කටයුතු කිරීමෙන් අනතුරුව උභතෝ සංඝයා ඉදිරියේ උපසම්පදා කළ යුතු බවයි.
මහාප්‍රජාපතී ගෝතමිය සමඟ පැමිණි කාන්තාවන් එදිනම පැවිදිකොට උපසම්පදා
කිරීමෙන් බුද්ධ නියමය එදිනම කඩකළ බවක් පෙනේ. භික්ෂුණීයකට බලපාන අන්දමකට
භික්ෂු නමක් කවර අන්දමේ වැරැදි ක්‍රියාවක් කළත් ඒ පිළිබඳව කිසියම්
චෝදනාවක් කිරීමට භික්ෂුණියකට නොහැකි බව හත්වන ගරු ධර්මයෙන් කියවෙයි.
සදාචාර සම්පන්න සමාජයක් තුළ මෙවැනි නීති බුදුරදුන් පනවනු ලබත් දැයි
සාධාරණ සැකයක් ඇති වෙයි. මේ අනුව බුදුරදුන් පනවන ලදැයි ධර්ම
ග්‍රන්ථයන්හි සඳහන් වන අෂ්ට ගරු ධර්ම පිළිබඳව විශේෂයෙන් පරීක්ෂා කළ
යුතු බවක් පෙනේ. මහාප්‍රජාපතී ගෝතමියගෙන් ආරම්භ වූ භික්ෂුණී ශාසනය
රෝහිණී නදිය ප්‍රදේශයෙන් පැමිණි කාන්තාවන් පන්සියයක් පැවිදි කිරීමත්
සමඟ වර්ධනය වන්නට විය. රාජ වංශික කාන්තාවන් එක් පැත්තකින් පැවිද්ද
ලැබීමත්, මාර්ගඵල ලැබීමට තරම් පූර්වකෘත පුණ්‍ය මහිමය ඇති බොහෝ
කාන්තාවන් පැවිදි වීමත්, දුක් කම්කටොලු ආදියෙන් පීඩාවට පත් අය සසර
කළකිරීමට පත්ව පැවිදිවීමත් වැනි කාරණා හේතුකොටගෙන භික්ෂුණී ශාසනය
වේගයෙන් වර්ධනය වන්නට වූ බව පෙනේ. එක් පැත්තකින් මහාප්‍රජාපතී, ඛේමා
ආදී රාජවංශික කාන්තාවන් ද තවත් පැත්තකින් පුණ්ණා, පටාචාරා, කිසාගෝතමී
ආදී සාමාන්‍ය පන්තියේ කාන්තාවන්ද කිසිදු බාධාවකින් තොරව බුදු සසුනට
ඇතුළුවීම සුවිශේෂ සිදුවීම් ය. ඉතා ඈත කාලයේ සිට කිසිම ශක්තියක් හෝ
බලයක් නැතැයි යන අර්ථය ගෙන දෙන ‘අබලා’ නම ලැබූ කාන්තාවන්ට බුදු සසුනට
ඇතුළු වීමට අවස්ථාව ලබාදීම තදබල විස්මිත කරුණකි. එපමණක් නොව කුල භේදයක්
නොසලකා සසුන්ගත කිරීම තවත් විප්ලවීය කරුණකි. එයින් නොනැවතුන බුදුහු
භික්ෂූන්ට මෙන්ම භික්ෂුණීන්ට ද අග්‍රශ්‍රාවිකා ආදී තනතුරු පිරිනැමීම
හේතුකොටගෙන සිදුවූ සමාජ පරිවර්තනය සුළු නොවේ.
ඇසළ මස අව පෑළවිය දිනයෙහි භික්ෂූන් වස් එළඹීමෙන් පසු බිනර පොහෝදා වන
විට දෙමසක් කල් ඉකුත් වී ඇත. පොදුවේ කරුණු සලකන විට ගිහි පැවිදි සෑම
දෙනාම වඩාත් පිළිවෙත්හි යෙදීමේ ලක්ෂණ මේ කාලය තුළ ප්‍රකට වෙයි.
භික්ෂූන් වහන්සේ කමටහන් හදාරා වඩාත් භාවනාවට යොමුවීම මෙකල පොදු
ලක්ෂණයයි. එසේම මේ කාලය තුළ කළ යුතු කාර්යය ගැන බුදුරදුන් දුන් උපදෙස්
අපේ ධර්ම ග්‍රන්ථයන්හි මෙසේ දැක්වේ.
ගිහීනමුප කරොන්තානං
නිච්චමාමිස දානතො
කරොථ ධම්ම දානෙන
තෙසං පච්චුපකාරකං
භික්ෂූන්ට සිව්පසයෙන් උපස්ථාන කරන සැදැහැවත් දායකයන් ශ්‍රද්ධාදී
ගුණධර්මයන්හි පිහිටුවා ඔවුනට ද මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා අනුශාසනා
කළ යුතුය යන්න බුද්ධ නියමයයි. එසේ නම් සසුන්ගත වූ සියලු භික්ෂූන් තමන්
පමණක් නිවන් අවබෝධ කරගැනීමේ පරමාර්ථයෙන් මිදී හුදෙකලාව භාවනා කරමින්
පසුවීම සමඟ කළ යුතු කාර්ය කීපයකි. තමා උතුම් පිළිවෙත් හි යෙදෙන ගමන්
සිව්පසයෙන් උපස්ථාන කරන, ආරාම ආදිය ගොඩනඟමින් අනුග්‍රහ දක්වන, තම
හිතවත් සැදැහැති දායක පිරිසට ද ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්හි පිහිටුවා
දෙව්මිනිස් නිවන් යන ත්‍රිවර්ග සම්පත් ලබාදීමට භික්ෂූන් විසින් ක්‍රියා
කළ යුතු ප්‍රධාන කරුණ වෙයි. බිනර පොහොය වැනි දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ
ආරාමයන්හි භික්ෂූන් අපමණ වෙහෙසක් ගෙන විවිධ කුසල ක්‍රියාවන් සඳහා තම
දායක පිරිස යොදවමින් සිදු කරනුයේ ඉහත සඳහන් බුදුරදුන්ගේ අවවාදය
ක්‍රියාත්මක කිරීමයි. |