UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

වලස්ගල පුණ්ණජි මයුරවංශ නාහිමි

පස්වග මහණුන් වහන්සේලාගෙන් ආරම්භ වූ සම්බුද්ධ ශාසනයේ සඟ පරපුර, එදා මෙදා තුර පහළ වූ සිල්වත්, ගුණවත් හා දහම් දැනුමෙන් අග්‍ර බවට පත් වූ මහා යතිවරයාණන් වහන්සේලා නිසා සසුන් කෙත බැබළීමට පත්විය.

වත්මනෙහි එම ගමන් මග ඒකාලෝක කළ ඓතිහාසික මාතර පුරවරයේ වල්පල සිරිමංගල පිරිවෙන් විහාරස්ථානය, ධර්ම, විනයධර උගත් සංඝ පීතෘන් වහන්සේලා රැසක් බිහිකළ රුහුණේ පෞරාණික පින් බිමකි. මෙම සුද්ධභූමිය තුළින් සසුනට දායාද කළ, සුප්‍රසිද්ධ ග්‍රන්ථ රචක බහුශ්‍රැත මහා පඬිරුවනක් වන අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත ශ්‍රී ධර්මවංශ මා හිමිපාණන් වහන්සේ, මැද උයන්ගොඩ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ රාජකීය පණ්ඩිත බටුවිට නන්දාරාම අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු සංඝ පීතෘන් වහන්සේලා අතුරින් බිහි වූ විශිෂ්ට හිමිනමකි.2015 සැප්තැම්බර් මස 20 වන දින, 98 වන වියට පා තබන වලස්ගල පුණ්ණජි මයුරවංශ හිමිපාණන් වහන්සේ.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වලස්ගල දෙමටපිටිය ගම් පියසේදී සිටිනාමළුව ගුරුගේ හෙන්ද්‍රික් සහ තල්පෙ කංකානම්ගේ ජොසිහාමි යන දම්පතින් ගේ කනිටු පුත්‍ර රත්නයක් ලෙස 1918 අගෝස්තු මස 20 වන දින ජන්ම ලාභය ලත්, සිටිනාමළුව ගුරුගේ ස්ටිවන් නම් වූ මෙම පින්වත් කුමරු, දික්වැල්ල මොග්ගලිපුත්ත තිස්ස බෞද්ධ මිශ්‍ර පාසලෙන් අධ්‍යාපනය ලබමින් සිටින අවධියේ දී සසුන් ගතවීමේ ආශාව ඔහු තුළ දැඩි ලෙස බලපා තිබූයෙන්, දෙමාපියන්ගේ අවසරය ඇතිව සිරිමංගල පිරිවෙන වෙත පැමිණ ගිහි ශිෂ්‍යයෙකු ලෙස, පිරිවෙනේ ගුරු හිමිපාණන් වහන්සේලාගේ ගුරූපදේශ මත තම ධර්ම ඤාණය, ධර්මාවබෝධය හා බහුශ්‍රැත දැනුම ප්‍රගුණ කර ගත්හ.

පැවිදි භූමියට ඇතුළත් වන අවස්ථාව වන විට භික්ෂූවකගේ ජීවිතයේ තිබිය යුතු දැනුම, ආකල්ප හා කුසලතාවයන්ගෙන් උප සෝභිත වූ මෙම ගිහි සිසුවා, 1932 සැප්තැම්බර් මස 12 වන දින රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ නා හිමිපාණන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස වලස්ගල පුණ්ණජි මයුරවංශ නමින් ප්‍රවෘජ්‍යා භූමියට පිවිසි මුන් වහන්සේ 1940 මැයි මස 04 උපසම්පදාව ලැබූහ. උපසම්පදා දිවියට ඇතුළත් වූ උන්වහන්සේ බුදු සසුනට හා පොදු සමාජයට ඉටුවිය යුතු සේවාවන් ඉටු කිරීම අරඹන ලද විහාරස්ථානයේ සිරිමංගල දහම් පාසල අද ප්‍රදේශයේ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකින් යුක්ත ප්‍රබල දහම් පාසලක් ලෙස ජනපි‍්‍රයත්වයට පත්ව ඇත. ප්‍රදේශයේ දානපති පින්වතුන්ගේ ආධාර උපකාර ලබා ගනිමින් විහාරස්ථානයට යාබද ඉඩම මිලයට ගත් පූජ්‍ය මයුරවංශ හිමිපාණන් එහි අංග සම්පූර්ණ භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කරන ලදී.

භාවනා කුටි පනස් හයකින් යුත් මෙම භාවනා මධ්‍යස්ථානය තුළින් තම චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගනිමින්, අධ්‍යාත්මික සැනසීම සලසා ගත් හා සලසා ගන්නා, සමාජයේ විවිධ තල නියෝජනය කරන සැදැහැවතුන් රාශියක් මේ වන විට මේ හා සම්බන්ධව සිටිති. මාතර මහ රෝහලට අඩුවක් පැවති බුදු මැදුරක්, දර්ශනීය ලෙස ඉදිකරවා දුන් මුන් වහන්සේ, මහරගම භික්ෂු මධ්‍යස්ථානයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළ අවධියේ දී මහරගම පිළිකා රෝහලේ රෝගීන් සඳහා ගිලන් වැඩ සටහනක් ආරම්භ කර ක්‍රියාත්මක කරමින්, එහි ද අංග සම්පූර්ණ දැකුම් කලු බුදු මැදුරක් පින්වතුන්ගේ දායකත්වය ලබා ගනිමින් තනවා දෙන ලදී.

ග්‍රන්ථකරණයට පිවිසි පුණ්ණජී මයුරවංශ හිමිපාණෝ දැනට ධර්ම පුස්තක එකොළහක් සහ “ධම්ම චින්තා” “නිවන් මඟ” හා “සිත් සුව සේවය” යන මාතෘකාවන් යටතේ කාණ්ඩ වශයෙන් ධර්ම පත්‍රිකා රැසක් එළි දක්වමින් කරන ලද ධර්ම දානමය පුණ්‍ය කර්මය උන්වහන්සේගේ භව ගමන කෙළවර කර ගැනීමට පහුරක් වනු ඇත.

සමාජ සේවයට යොමු වූ ස්වාමීන් වහන්සේ, 1962 වසරේ දී මාතර ආරෝග්‍ය සේවා සංගමය ආරම්භ කරමින්, මාතර මහ රෝහලේ නේවාසික රෝගීන් සඳහා සෑම මසකම පසළොස්වක පොහොයදින වල ආහාරපාන ලබා දෙමින් හා ගිලානෝපස්ථාන සහ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබති.

දෙමාපිය රැකවරණය අහිමි වයස අවුරුදු 5 – 10 අතර පිරිමි දරුවන්ට රැකවරණය සැලසීම සඳහා ආරම්භ කරන ලද, කීර්ති කුමාර ළමා නිවාසය ආදර්ශවත් ළමා නිවාසයක් ලෙස අසරණ දරුවන් රැසකට නිසි රැකවරණය හා අනිකුත් සෑම සියලු අවශ්‍යතාවයන් සපයනු ලබන ජනාදරයට පත් ආයතනයක් ලෙස ස්ථාපිත කර ඇත. ළමා නිවාසයට යාබද නිවස ඉඩම මිලයට ගත් උන්වහන්සේ, එම නිවස වැඩිහිටි විශ්‍රාමිකාගාරයක තිබිය යුතු සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ප්‍රතිසංස්කරණය කරවන ලදී. ජීවිතයේ අවසන් කාලය ගත කරත් නිසි හව්හරණක් නොමැති අහිංසක වයෝවෘද්ධ වැඩිහිටියන් සඳහා “සුව සෙවන” නමින් එහි වැඩිහිටි නේවාසිකාගාරයක් ආරම්භ කරන ලදී. දැනට මෙහි වැඩිහිටියන් 12 ක් නතරව සිටින අතර, ආහාර පාන, වෛද්‍ය පහසුකම්, රැකබලා ගැනීම් ආදී අවශ්‍ය සියලු අවශ්‍යතාවයන් ඉටු කරමින් කරනු ලබන මෙම සමාජ මෙහෙවර මහානිසංස ලැබෙන පින්කමකි.

මයුරවංශ හිමිපාණන් දැනට දශක හතරකට පෙර ආරම්භ කරන ලද ශීල සමාධි වැඩසටහන් මාලාව සෑම පුර පසළොස්වක පොහොය දිනකම නියමිත කාල සටහනකට අනුව ක්‍රමාණුකූලව අද දක්වා පවත්වාගෙන යන අතර, බෞද්ධ සැදැහැවතුන් ගේ අධ්‍යාත්මික ගුණ වගාව වර්ධනය කර ගැනීමට හා සසර ගමන කෙළවර කර ගැනීමට මේ තුළින් ලැබෙන පිටිවහල අසීමිතය.

දහම් පාසල් දරුවන්ටත්, ප්‍රදේශවාසී බෞද්ධ පින්වතුන්ටත්, තම දහම් දැනුම ලබා ගැනීම සහ දැනුම වර්ධනය කර ගැනීම සඳහා පූජ්‍ය මයුරවංශ හිමිපාණන් රචිත ධර්ම පුස්තක ඇතුළු වටිනා පොත් පත් සඟරා ආදියෙන් යුත් පුස්තකාලයක් ශ්‍රී මංගල පුස්තකාලය නමින් ආරම්භ කරන ලදී. එහි පොත් පත් පරිශීලනය කරන පාඨකයින් රැසක් විවිධ දහම් ගැටලු නිරාකරණය කර ගැනීමට මෙම පුස්තකාලය උපයෝගි කර ගන්නා අන්දම දැකගත හැකිය. මෙම ආගමික හා සමාජයීය සේවාවන් කිරීමේ දී පුණ්ණජි මයුරවංශ හිමිපාණන් ගේ කැපකිරීම, මඟ පෙන්වීම, අධීක්ෂණය හා නිවැරදි තීරණ එඩිතරව ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැනනගින ලද අභියෝග ඉදිරියේ නොසැළී එඩිතරව ක්‍රියා කිරීම, මෙවන් විශාල ශාසනික හා සමාජ මෙහෙවරක් ඉටු කිරීමටත් උන්වහන්සේට හැකි වූ බව ගෞරව පූර්වකව සටහන් කරමි.

ශ්‍රී සම්බුද්ධ ශාසනයටත්, බෞද්ධ සමාජයටත් කරන ලද උදාර සේවාවන් අගය කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මහා සංඝ සභාව. “සිරි ධම්මවංශාලංකාර පටිපත්ති ශාසන ශෝභන කම්මට්ඨාන විශාරද” යන ගෞරව නාමයද 2014 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක නා පාන පේමසිරි මහා නායක හිමිපාණන් විසින් මහෝපාධ්‍ය කම්මට්ඨාන විශාරද ධර්ම කීර්ති ශ්‍රී ශාසන ධර්ම ශිරෝමනී යන සම්මාන උපාධියෙන්ද පුදනු ලැබූහ.

වලස්ගල පුණ්ණජි මයුරවංශ හිමිපාණන් විසින් තම පැවිදි ජීවිතය තුළ සිරි මංගල පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන කරන ලද උදාර වූ ශාසනික හා සමාජ සේවාවන්, තම හැකියාවත්, කැප කිරීමෙන් යුතුව නිර්මාණශීලීව, ගුරු දේවයාණන්ගේ සිතැඟි පරිදි ඉටු කරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, මාතර කඩවත් සතර (බටහිර) ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී විචිත්‍ර ධර්ම දේශක ශාස්ත්‍රවේදී වලස්ගල පඤ්ඤාසිරි හිමිපාණන් සහ මෙම සේවාවන් කිරීමේ දී උන්වන්සේට පූර්ණ සහාය ලබා දෙන ශාස්ත්‍රපති කැලණියේ අජිත හිමිපාණන් වැනි ධර්මධර භික්ෂූන් වහන්සේලා සසුනට දායද කළ මයුරවංශ හිමිපාණන් වහන්සේ කරන ලද එම ශාසනික මෙහෙය අපමණය.

වලස්ගල පුණ්ණජි මයුරවංශ හිමිපාණන් වහන්සේ සිය 98 වියට පා තබන මෙම අවස්ථාවේ උන්වහන්සේට චිරාත් කාලයක් ශාසනයට හා සමාජයට තව තවත් සේවාවන් කිරීමට නිරෝගී බව හා ශක්තිය ලැබේවා! පතමින් උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි.


දිගනතැන්නේ සෝමානන්ද නා හිමි

බණ්ඩාරවෙල වැවතැන්න ප්‍රදේශයේ වැඩ වාසය කළ අතිශ්‍රේෂ්ඨ සංඝ පීතෘ ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්දාභිධාන බදුලු දිශාවේ ප්‍රධාන සංඝනායකව වැඩ සිටි මහෝපාධ්‍ය දිගනතැන්නේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් ඉදි කෙරුණු අංග සම්පූර්ණ විහාරස්ථානයකි වැවතැන්නේ ශ්‍රී සුමංගලාරාමය.

එම පුණ්‍ය භූමිය අධිපතිත්වය දරන නාහිමිපාණන් වෙත මල්වතු මහා විහාරයීය මහා නාහිමියන් ප්‍රධාන කාරක සංඝ සභාව විසින් ධර්ම “කීර්ති ශ්‍රී සුමංගල” යන ගෞරව නාමයද සහිතව බදුලු දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක පදවිය පත් කර ඇත්තාහ. එම තනතුරුවලින් පිදුම් ලැබූ දිගනතැන්නේ සෝමානන්ද නා හිමිපාණෝ ඌව පළාතේ බදුලු දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල නගර සභා ප්‍රදේශයට අයත් දිගනතැන්න ප්‍රදේශයම නිජබිම කරගෙන උපත ලද්දාහ.

“ඉඩමේ ගෙදර ලොකු ලියනගේ ගුණරත්න” පියාණන්ට දාව එයට නුදුරින් වූ “හපුතලේ ගම රාමනායක මුදියන්සෙලාගේ බණ්ඩාර මැණිකා” මෑණියන්ගේ සවැනි බිළිඳා ලෙස 1956 ඉල්මස 25වැනි දින මෙලොව එළිය දුටු පින්වත් කුමරා එදා ගොරඬිය කුඹුර විදුහල නමින් හැඳින්වූ අද ශ්‍රී සංඝබෝධී මහා විදුහල නමින් හැඳින්වෙන විදු පියසේ 5වැනි ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අධ්‍යාපනය ලබා සිටිද්දී මීට දෙවසරකට පෙර අපවත් වී වදාළ දිගනතැන්නේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ඇසුර ලැබීය. ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ආචාර්යත්වයත් ආශිර්වාදයත් ලබමින් 1969ඔක්තෝබර් 8 වැනි දින වැවතැන්නේ ශ්‍රී සුමංගලාරාමයේ දී ් පැවිදි දිවියට පා තබනු ලැබීය.

අනතුරුව බෙලිහුල්ඔය කරගස්තලාව ශාන්ති නිකේතන මහා පිරිවෙනට අනුබද්ධව පැවති බණ්ඩාරවෙල අමුණුදෝව රත්නායක මුදලින්දරාමයේ පැවති පිරිවෙන් ආයතනය තුළින් සාමාන්‍ය පෙළ දක්වා මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ බණ්ඩාරවෙල ධර්මවිජය පුෂ්පරාම පිරිවෙන් ආයතනයෙන් ඉදිරිපත් වී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ අතර දකුණු කැබිල්ලෙවල සුදර්මෝදය මහ පිරිවෙනින් අධ්‍යාපනය ලබමින් අ.පො.ස. උසස් පෙළ සමත් වූ අතර පේරාදෙණිය සරසවියේ සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධියද සමත්වීමෙන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවටද පෙනී සිටීම නිසා අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු බවටද පත් වීමට තරම් වාසනාව ලද්දේ දියතලාවේ ශ්‍රී සුදර්මලංකාර විශ්වවිද්‍යාල පිරිවෙනින් ලද උසස් අධ්‍යාපනය නිසයි. මින් අනතුරුව මුළු දිවයිනටම සාම විනිසුරුවරෙයෙකු ලෙස පත් වූ උන්වහන්සේ වෙත 1989 මැයි මස 05 වන දින බණ්ඩාරවෙල අධ්‍යාපන දෙපාර්තමේන්තුවට උපාධිධාරී ගුරු පත්වීමක්ද ලැබුණි. මේ අනුව,

අඹේගොඩ ශ්‍රී සංඝෙබෝධි මහ විදුහල , මාතැටිල්ල මහ විදුහල , හාපත්ගමුව ගැමුණු විදුහල , ධර්මාශෝක මධ්‍ය මහා විදුහල , අඹේගොඩ ශ්‍රී සංඝබෝධි මහ විදුහල

යන අධයාපන ආයතන තුළදී ඌව පළාතේ දරු දැරියනට වසර 26ක් තුළ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස අතිමහත් සේවයක් කළ උන්වහන්සේ අඹේගොඩ ශ්‍රී සංඝබෝධි මහ විදුහලේ දරු දැරියනට ද මේ වන විට නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙසද මහඟු සේවයක් සිදු කරමින් සිටින්නාහ.

1977 මැයි මස 03වන දින මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී උපසම්පදාවට පත් වූ උන්වහන්සේ අනතුරුව වසර 47 ක් පුරා පැවිදි ජීවිතයේ වසර 39ක්ම අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා මහඟු සේවයක් සිදු කරමින් සිටී. 1986 සිට ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදෙස් අනුව මැතැටිල්ල පූර්වාරාම විහාරස්ථානය ගොඩ නගමින් එම පින් බිම අතිමහත් දියුණුවක් කරා පෙළ ගැස්වූ උන්වහන්සේ එම ප්‍රදේශවාසීන්ට මහඟු සේවයක් ඉටු කර ඇත්තාහ. 2013 දෙසැම්බර් මස 19වන දින රාජකීය පණ්ඩිත ශ්‍රී සුමංගල නාහිමියන් අපවත් වී වදාළෙන් උන්වහන්සේගේ මූලස්ථානය වූ ශ්‍රී සුමංගලාරාමයේ විහාරාධිපති පදවියට එහි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නය වූ දිගනතැන්නේ සෝමානන්ද නාහිමිපාණන් මල්වතු මහා විහාරය මඟින් පත්කොට වදාළහ. මල් වතු මහා විහාරයීය සංඝ සභාව මගින් පිරිනමන ලද අභිනව නායක පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය 2015 සැප්තැම්බර් මස 11වෙනි දින සවස 3ට මල්වතු මහා විහාරයීය මහානායක මාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව මඟින් මල්වතු මහා විහාරයේ දී සිදුකරනු ලබන අතර, අභිනව නාහිමියන් පිළිගැනීමේ මහා උත්සවය සැප්තැම්බර් මස 13වෙනි දින ප.ව. 2.30ට එම පළාතේ සියලු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල වැවතැන්න ශ්‍රී සුමංගලාරාමයේ දී පැවැත්වේ.

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]