UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මගේ බණ කීම සුන්දර නම් ඒකට ප්‍රාණවායුව දුන්නෙ අම්මා

මගේ බණ කීම සුන්දර නම් ඒකට ප්‍රාණවායුව දුන්නෙ අම්මා

ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි

උන්වහන්සේ දශක ගණනාවක් පුරා මෙරට සිටින අංක එකේ විචිත්‍ර ධර්ම කථිකයෙකි. ඉතාම නිරවුල්ව පැහැදිලිව අසන්නාට පුදුම අවබෝධයක් ලබාදෙන්නට තරම් ව්‍යක්තව කරන මේ දේශනා හැකියාව උන්වහන්සේ ලබාගන්නේ තම ආදරණීය අම්මාගෙන් බව ඒ අම්මාගේ මතක සටහන් අතරට පිවිසෙන මට නිබඳව වැටහෙයි. මම ඒ ආදරණීය මෑණියන් පිළිබඳ අරුත් නිරුත් කියන්නට නොවෙහෙසෙමි. ඒ හිමියන්ගේ දෙසුම ඒ මව පිළිබඳ සැබෑ චිත්‍රය ඔබේ හිතේ මෝදු කරන්නට සමත් යැයි සිතමි. ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් දැන් මා අබිමුවය.

ජ ඇළ ඉඳලා මිනුවන්ගොඩ කුරුණෑගල පාරේ 16 වැනි සැතැපුම් කණුව පිහිටි ප්‍රදේශය අපේ ගම් පළාත වන කොටුගොඩයි. ගඟෙන් මෙහා ඒ කියන්නේ අත්තනගලු ඔයෙන් මෙපිට අපේ ගම තිබෙන්නෙ. දඬුගමින් මුහුදට වැටෙනතුරු මේ ගඟ දුවනවා. එගොඩ පිහිටියේ රද්දොළුව උදම්විට වගේ ගම්. කොටුගොඩ ඒ නම ලැබුයේ පෘතුගීසීන්ගේ කුඩා බළකොටුවක් අතීතයේ එහි පිහිටි නිසයි. කුඹුරු , ලඳු, වෙල් පිහිටි මේ ගම ඉතා සුන්දරයි. ගමේ කාටත් හරක් 15 – 20 ක් පමණ හිටියා. අපේ ගෙදරත් එහෙමයි. මගේ පියතුමා ඇඳ විතාරණගේ හරමානිස් රුද්රිගු. ජන ශ්‍රැතිය අනුව නුවර මහ රජතුමාගේ සිට සීතාවක රාජසිංහ යුගය දක්වා රජගෙදර කටයුතු කළ පරම්පරාවකින් පියා පැවැත එන්නේ. ඇඳ විතාරන කියන්නේ පසුවයි. පළමුව ඒ පරම්පරාව හැඳින්වුණේ ඇඳ විචාරණ යන නමින්. මේක රජතුමාගේ රහස් තනතුරක්, දේශීය මෙන්ම විදේශීය කුමන්ත්‍රණ නිතරම රජවරුනට තිබූ නිසා රජ්ජුරුවෝ රාත්‍රියේ එක් තැනක නිදාගන්නේ නෑ. පළමුව එක කාමරයකත් මධ්‍යම රාත්‍රියෙහි තවත් කාමරයකත් උදේ වන විට තවත් තැනකත් නිදා හිටියේ, පරසතුරන්ට රජු සිටින තැන සොයා ගැනීමට අපහසු වන පරිද්දෙන්. ඒ වෙලාවට රජුගේ සයනය හා කුටියේ කටයුතු සොයා බලන්නේ මේ පරම්පරාවයි. රජුට හිතවත් රහස් සේවයක් සැපයූ පිරිසක්. අපේ පියතුමාට කුඩා අක්කර 2 – 3 ක් තිබුණා. එතුමා කළේ වැවිලි කර්මාන්තය. රබර් හා ගොවිතැන් කටයුතුත් කළා. අපේ මව්තුමියගේ නම සෙලෙස්තිනා රුද්රිගු . ගමේ කිට්ටු අය කතා කළේ සෙලෙස්තිනක්කා කියලයි.

අපේ අම්මා හරිම අනලස් කාන්තාවක්. උදේම නැගිටලා (වත්තේ වැවූ) කෝපි කලින් වේලපු කෝපි බැදලා කොටලා අපට බොන්ට සූදානම් කරනවා. වැඩිහිටියෝ උදේ දොවාපු එළකිරිත් ඒකට මුසු කරනවා. පුදුම සුවඳක්. පුදුම රසයක්. ඒත් මං ඒ රසය තවත් වැඩිකරන්ට තවත් දෙයක් කරනවා. අර අම්මගේ කෝපි කෝප්පය පමණක් ඉල්ලාගෙන වත්ත පහළට දුවලා කළු වැස්සිගේ බුරුල්ල යටට රිංගනවා. දුම් දමන කෝපි කෝප්පයේ රශ්මියට අර තන බුරුල්ල උණුසුම් වෙනකොට එයාටත් හරි ආසයි. ඒ ගමන්ම උණුකිරි ටිකක් කෝප්පයට දොවා ගන්නවා. බලන්ට එපායැ. ඒ රසය ලෝකෙ කොහෙදිවත් මේ රසය මං ඊට පස්සෙ විඳ නෑ. අම්මගෙ බැදපු කෝපි කුඩු සුවඳ තමයි ඒ රසය මැව්වෙ. අපේ පවුලෙ දරුවන් හත් දෙනයි. මං තමයි බාලයා. බඩපිස්සා. අද මට අවුරුදු 82 ක් වෙනවා. මට ඉහළ කිසිම කෙනෙක් අපේ පවුලෙ අය ජීවතුන් අතර නෑ. පියා කුඩා ඉඩම් හිමි වැවිලිකරුවෙක්. අම්මා මොනිටර් ගුරුවරියක්. ඇය ඉතාම නිරවුල්ව, ව්‍යක්තව යමක් පැහැදිලි කරන්නේ. ඇයට ලැබුණු පඩිය සිලිම් 5 යි. සිලිමක් අද ශත 50 ක් විතර. ඒ කියන්නේ රුපියල් 2.50 ට සේවය කළේ. ඒත් අපේ රැකබලාගැනීම පිණිසම ඇය මොනිටර් ගුරුකමට ටික කලෙකින්ම ආයුබෝවන් කියලා ගෙදර නැවතුණා. අපේ අම්මයි තාත්තයි ජීවත්වුණේ යාළුවො වගේ. තාත්තාට ටිකක් තරහා ගිහින් කතා කළොත් සෙනඟක් ඉදිරිපිට හරි ඇය කට කොණකින් හිනාවෙලා එතැනින් යනවා. අම්මට තරහා ගිය වෙලාවට තාත්තා එතැනින් මාරුවෙනවා.

අපේ තාත්තා හරිම සංවේදියි. එයාව රවටාගෙන අපේ ඉඩමක් කට්ටියක් ලියාගෙන තිබුණා. අම්මා මේකට හරහට හිටියා. එයා අවුරුදු 12 ක් නඩු කිව්වා. නඩුවෙන් අම්මා දිනුවා. එදා තමාගේ පැත්ත වෙනුවෙන් තනියම කතා කළේ අම්මා. ඒ පැත්තේ දක්ෂ නීතිඥවරුන් උත්සාහ කරලා තියෙනවා. තාත්තා විවාහයට පෙර නරක කෙනෙක්ය. එයා කැමැත්තෙන් ඉඩම් ලීවාය කියා ඔප්පු කරන්ඩ. ඒත් අම්මා කතා කරලා තියෙන්නෙ මට ඒ බව වලංගු වන්නෙ විවාහයෙන් පස්සේ. විවාහයට පෙර දේවල් කොහොමටත් මට අදාළ නෑ. එයා සංවේදී නිසා කියා රවටාගෙන මෙයා ලියාගෙන කියලා. විනිසුරුතුමා තමන්ගේ විවාහයත් බේරාගෙන නඩුවත් කතා කරන අම්මා ගැන සතුටුවෙලා ප්‍රසාදයත් පළ කරලා කලින් ඉඩම නැවත පවරන්න නීතිමය තත්ත්වය හදා දීල තියෙනවා. මං පොඩි එකා කාලෙ ටිකක් ඉස්කෝලෙ යන්න කම්මැළියි. සිකුරාදා වගෙ දවසට මං කට්ටි පනිනවා. පියාත් ඉතින් කියනවා අද සිකුරාදානේ ඔන්න ඔහේ හිටපුවාවෙ කියලා. ඒත් අම්මා සැරයි. එයාගෙන් ඉඩ ලැබුණෙ නෑ.

කෝටු පාර තට්ටමට දීල ඉස්කෝලෙ යවනවා. මං ගියේ කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලට. දැන් නම් ඒක ශ්‍රී රාහුල මහා විද්‍යාලයය. අම්මා අපව පන්සලට රැගෙන යන්නෙ කොටුගොඩ ශ්‍රී සුදර්ශනාරාමයට. සතර පෝයට නොගියත් අම්මා මහ පෝයට නම් පන්සලේ. හොඳට බණ දහම් දන්නවා. අම්මත් තාත්තගෙ පරම්පරාවෙ ඇවැස්ස නෑනා කෙනෙක්. එතුමියත් කොටුගොඩ. අපේ වත්තෙ තැන් තැන්වල අම්මා වැවූ කුඩා වගා බිම්. එළබටු, තිබ්බටු, තක්කාලි, මෑ, මිරිස් මේ හැම දේම වගේම සාරණ, නිවිති, මුකුණුවැන්න මේවා අම්මා වවා තිබෙනවා. වෙනම නාරං, ගස්ලබු, කෙසෙල් වර්ග, නන්නන්, ලොවි, උගුරැස්ස වගේ දේවල් වවාපු පලතුරු කුඩා උයනකුත් ඇයට තිබුණා. ඊට අමතරව කොස්, පොළොස් ඕනෑ තරම්. කොස්, අටු කොස්, දෙල් අටු කොස් ගෙදර පිරිලා. ගේ මුල්ලේ වැලි කොස් ඇට. අපේ අම්මා හදන කොහිල අල මාළුව මොන තරම් රසවත්ද?. අයියගේ යාළුවෝ මේක කන්ඩ නිතර ගෙදර ගැවසෙනවා. අඟහරුවාදා මාකවිට මහපොළක් තිබුණා. අම්මා වවා ගත් මඤ්ඤොක්කා, ගස්ලබු, කෙසෙල් වගේ දේවල් අරගෙන එදාට මාත් අම්මත් එක්ක පොළට යනවා. ඒ ටික විකුණලා ඇය ගන්නෙ ගෙදරට අවශ්‍ය දුරු මිරිස් ටික විතරයි. මට මතක හැටියට කහ, ලුණු, මිරිස්, රතුලූනු, රට ලූනු, වගේ දේවල්, ගෙදරට අවශ්‍ය කරවල ටික අනිවාර්යෙන් ගන්නවා. අම්මා මස් නම් අපට පිළිකුල් කළා. අප එහෙම දෙයක් කෑවා නම් ඒ කෑවේ මඟුල් ගෙදරකදී විතරයි. කෙහෙල් බැද්දර මාළු අබයියා අපට හොඳට මතකයි. ඔහු මාළු කද අරන් ගිය කෙනෙක්. උදේ රැයින් නැගිටලා මීගමු ගොහින් මාළු අරන් පමුණුගම හරහා කැලෑ මණ්ඩියේ ඇවිත් සීදුවේ රද්දොළුකන්ද නැගලා, බැහැලා මහ ගොරෝසු හඬින් ‘මාලෝ’ කීවාම අපේ කොටුගොඩ ගම පුරාම මේ හඬ ඇහෙනවා. මෙයා ගෙනෙන්නේ පණ ගහන මීගමු කලපු මාළු. නැත්නම් මුහුදු මාළු. ඒ කාලෙ පාලම් පාරවල් හරිහැටි නෑ. කැලෑ මැද්දෙන් තමයි ගමන. මේ මාළු අබයියගේ හඬ ඇහෙනකොට අම්මා ගිහින් අපට මුහුදු මාළු ගන්නා දවස් තියෙනවා. අම්මා දරුවන්ට සතියට කීප වතාවක් මැල්ලුම් මුට්ටියක් හදනවා. ඒ වගේම හොඳට පැහුණු ගස්ලබු ලියලා එක පාරක් මිරිකපු පොල් මිටි කිරි ඒකට දාලා සූදුරු කොත්තමල්ලි අත ගාලා ගස්ලබු, මැල්ලුමක් හදනවා. බත් ඕනෑ තරම් ඒකත් එක්ක විතරක් කන්ට පුළුවන්.

අපේ අම්මා ඕනෑවට වඩා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පස්සෙ ගියේ නෑ. ඒත් අංජනම් බැලුවා. එක පාරක් ගෙදර හුරුතලේට හදපු බළලා අම්මගෙ කකුල දණහිස පල්ලෙහා පැන පැන කෑවා. දණහිසෙන් පහළ එකම ලේ ගංගාවක්. හොයලා බලනකොට ඉඩම් ආරවුලකට ගුරුකම් කරලා. අම්මත් මොනවා හරි කරලා ඒ ගුරුකමෙන් බේරුණා. මට ඒක මතක නෑ. ඒ කාලෙ ඔරලෝසු නෑ. දරුවෙක් උපදිනකොට කෙනෙක් ගේ ඉදිරිපිට කෙහෙල් ගහ කපනවා. ගොබය පීදෙන ඒ විධියට තමයි වෙලාව වේලපත්කඩය හදන්නෙ. මාත් හම්බවෙලා තියෙන්නෙ ගෙදර තිඹිරි ගෙයි. අපට ස්පිරිතාල නෑ. ඒවා ඈත තිබුණත් යන්ට පුරුද්දක් අපේ අම්මලාට තිබුණේ නෑ. කොටුගොඩ ප්‍රේමානන්ද හාමුදුරුවො සුදර්ශනාරාමයෙ හිටියෙ. උන්වහන්සේ ඉතාම සිල්වත්. උගත් හාමුදුරුනමක්. ගමේ අය ඉපදුණාම වේලපත්කඩය හදන්නේ උන්වහන්සේ. අපි වුණත් පුංචි කාලේ ගමේ කොල්ලො 20 – 30 ක් එක්ක බුද්ධ ගජ්ජෙ, ගණදෙවි හෑල්ල, සකස්කඩ, නාමාෂ්ට ශතකය වගෙ පොත් අපට උගැන්නුවෙ උන්වහන්සෙ. සිද්ධාර්ථ තෙල්, වාත තෙල් වගෙ දේවල් මේ පන්සලේ තිබුණා.

අපේ ගම්වල විදුලිබලය නෑ. මහ අඳුරෙ කුප්පි ලාම්පු එළියෙන් අපි පාඩම් කළේ. රාත්‍රියට පවුලෙ දරුවො වාඩිවෙලා සාමීචියෙ යෙදෙනවා. අම්මා ඒ වෙලාවට මහ වීරයා. ඇය චෝර කතා, ජාතක කතා, වීර කතා, ගමේ කතා, අපට කියන්නෙ. ඉතාම නිරවුල්ව කියනවා. තවමත් මතක ඒකයි. අම්මා කී කතා දෙක තුනක් සැකෙවින් කියන්නම්. අපේ සුදර්ශනාරාම පන්සලේ කලකට පෙර පාණදුරාවාදය පැවැති කාලයේ හිටියා හිමිනමක්. ඒ හිමියන් තැන් කීපයක වැඩ හිටි බවත් කියනවා. උඩුගම්පළ උන්නාන්සේ කියලා කියන්නේ. මහා බලගතු වෙද හෙදකම් යන්ත්‍ර මන්ත්‍ර දැන සිටියාලු. ගමේ හොරුනට හොරකම් කරන්ඩ බෑ. මේ හාමුදුරුවො මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ඒවා වළකනවා. හොරු ටික කතා කරගෙන හේනක පැලක මැස්සක් උඩ ලෙඩෙක් වගේ හොරෙකු තියලා පන්සලට ඇවිත් මෙහෙම කිව්වාලු. අනේ හාමුදුරුවනේ ලෙඩා අද දවසෙත් ජීවත්වේවිද දන්නෙ නෑ. ගේන්ටත් බෑ. ඔබ වහන්සෙ වඩින්ට කරුණාකරලා මේ ලෙඩා බේරාගන්ඩ කියලා මේ අය හාමුදුරුවන්ට කරදර කරනවාලු. මීට අවුරුදු 130 කට විතර ඉස්සර මේ සිද්ධිය වුණේ. හාමුදුරුවන්ටත් ඒ කාලෙ ඇවිදින්ට බෑ. පුටුවක හිටියෙ. හාමුදුරුවන් කතා කරන විදියට අම්මා ගොරෝසුවට උච්චාරණය කරනවා. බොල, මොකද, මේ රෑ යන්ට පුළුවන්ද? දැන් 12 ත් පහුවෙලා. උන්වහන්සේ එහෙම කීවත් අපි ඔබ වහන්සේ පුටුව පිටින් ගෙනයන්නම් කියලා හොරු ටික හාමුදුරුවන් වැඩ සිටි පුටුව ඔසවා කරට ගත්තා.

දැන් මහ රෑ වෙලා, ඕවිට, කැලෑ මැදින් මේ හේනට ගෙන යනවා. දැන් හොරුන්ගේ සැලසුම මැස්ස උඩ අසාධ්‍යව ඉන්නා ලෙඩා හාමුදුරුවන් අසනීපය බලනකොටම නැඟිට හිමියන්ට පිහියෙන් අනින්ටයි. හොඳයි එතැනට ගියා කියමුකෝ. හාමුදුරුවො ලෙඩා පරීක්ෂා කළා. කිසිම හැලහොල්මනක් නෑ. නාඩි වැටෙන්නෙත් නෑ. ඇත්තටම ලෙඩා මැරිලා. හාමුදුරුවො එහෙම කියද්දී අර හොරු ටිකට තරු වීසි වුණා. දැන් පැයකට කලින් හොඳට නිරෝගීව හිටි මිනිහා. හොරු බියපත්ව කතාබහ නැතිව ආයිත් හාමුදුරුවන් පන්සලට ගෙනවිත් ඇරලුවා. හාමුදුරුවන් මේ වැඩ කළේ ආරක්ෂාවට යකුන් බැඳගෙන. ඒ යකෙක් හාමුදුරුවන්ට විපතක් බව දැනගෙන අර හොර ලෙඩාව මරා දැමූ බවයි ගමේ අය අදහන්නේ.

තවත් දවසක මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් පාණදුරාවාදයට සටන් කරන කාලේ මේ හිමියන් මූකලන්ගමුව ගම් මැදින් හැන්දෑ ජාමේ වඩිනවා. අඟුරුකාරමුල්ල හරියෙ වඩිනකොට රෑ බෝ වූ නිසා අන්‍යආගමික ජනතාවක් එහි තැනක නවතින්ඩ ආරාධනා කළා. උන්වහන්සේ මේ ඇරයුම පිළිගත්තා. රෑ කෑම දෙන්නට ලෑස්ති වෙනකොට උන්වහන්සේ කීවලු අපි රෑට ආහාර ගන්නෙ නෑ කියලා. ඒත් ඒ කට්ටිය හරක් මස් එහෙම හදලා රස කෑම මේසයක් ලෑස්තිකරලා. තවත් අඩුවැඩිය සමඟ කන්නට ඕනෑ කියලා හාමුදුරුවන්ට කියලා තියෙනවා. එහෙනම් බුදු පිළිමයක් තියලා වැඳ පුදලා ඊට පස්සෙ අප කෑම කමු කියලා. ඒ මිනිස්සු බුදු පිළිමවලට කැමැති නෑ. ඒ නිසා හාමුදුරුවො ආගමට සම්බන්ධ වෙනස් පිළිම වගයක් තියලා වැඳලා කෑම කමු කීවාලු. හාමුදුරුවො එහෙනම් වැඳගන්ට සියලු දෙනා කියලා. මොනවා හරි මතුරලා තියෙනවා. ඊට පස්සෙ උන්වහන්සේ වෙනත් තැනකට වැඩලා.උදේ එළිවෙන කොට අර මිනිස්සු වැඳගෙනම කිසි සිහිකල්පනාවක් නැතිව ඉන්නවලු. පස්සෙ හාමුදුරුවො පිරිත් වතුර ටිකක් එවලා ඔළුවල ගාන්න කියලා උදේම මේ අය සුවපත් කරවලත් තියෙනවා. මේ වගේ කතා දුසිම් ගණන් අම්මා කියනවා. උණවටුනේ ධම්මපාල හාමුදුරුවො මගෙ ගුරු හාමුදුරුවො කොටුගොඩ විමලරතන හාමුදුරුවොයි මේ හාමුදුරුවොයි හොඳට හිතවත්. දෙන්නම එකට පිරිවෙන්වල හිටියෙ. ඒ විමලරතන හිමියන්ට කියලා තියෙනවා අපේ ගුරු හාමුදුරුවො මට මහණ කරන්න දරුවෙක් හොයා දෙන්න කියලා. ඒ අනුවයි මං ගල්කිස්ස ධර්මපාලරාමයට ආවේ. ගෙදරදිත් මා බණදහමට සිත් නැමුණු කෙනෙක්. එක් වතාවක් ගෙදර කළුවැස්සී නැතිවෙලා සවස් වරුවෙ මා ඌ සොයමින් වෙල් ඉපනැලි කුඹුරු මැද්දෙ ගාටනවා. ටිකක් හැතැප්ම 3/4 ක් පමණ ඈත අපේ වැස්සි දිය සිදුණු ඇළක් ළඟ පැටියෙක් දාලා. පැටියා නිසා ඇයට වෙනදා වගේ ගෙදර එන්ඩ බෑ. බලන්න, එතැනත් මව් සෙනෙහස. මට එතකොට අවුරුදු 14 යි. මේ පැටියා අත් දෙකට අරන් මා දැන් එනවා. ඔන්න! වැස්සිත් පස්සෙන්ම එනවා. වෙනදා වගේ මං ඒ දණ්ඩෙන් ආවෙත් නෑ. මොකද? වැස්සිට එන්ඩ බෑනේ. ඒ නිසා මං ඇළට බැහැලා ආවා. කෙළින්ම ගෙදර ඇවිත් පැටියා අම්මාට පෙනෙන්ට තිබ්බා. අම්මටත් සතුටුයි. පැටියා වට පිට බලලා වත්ත වටේ රවුම් දෙක තුනක් ගැහුවා. හරි කීකරුයි. මේ වගේ වැඩ කරන නිසා අම්මා මුලින් තරමක් අකමැති වෙලා මම මහණ වෙනවාට අවසර දුන්නා.

මට ඇත්තටම හොඳට බණ කියන්ට පුළුවන්නම් ඒ අම්මාගේ කතා විලාසයට. මා ආදරය කළ නිසා කියා හිතෙනවා. ගුවන්විදුලියෙ මා කළ දේශනා අහලා ඇය අසල්වැසියන්ට කියා තිබෙන්නෙ මගෙ පුතා මගෙ ආසාව ඉෂ්ඨ කළා කියලයි.

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]