UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍යය

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍යය

කාර්තික පෙරහර මංගල්‍යය

මානව ඉතිහාසයේ මුල සිටම වාගේ අග්නි පූජාව විශේෂ වැදගත්කමකින් යුතුව සලකා ඇත. අග්නි පූජාව තුළින් උපන් ප්‍රදීප පූජාව, දඹදිව උපත ලැබූ බුදු සමයෙහි ද ආමිෂ පූජාවක් වශයෙන් ප්‍රධාන තැනක් ගන්නා පූජාවකි. අසු හාර දහසක් ධර්මස්කන්ධය සංකේතවත්කොට අසූ හාර දහසක් පහන් පූජා පින්කම් පැවැත්වීම බෞද්ධයන් අතර බහුලව සිදුවන්නකි.

කුරු රට ධනංජය රජු ඉල් මාසයේදී කාර්තික නම් සැණකෙළියක් පැවැත්වු වග කුරු ධම්ම ජාතක කථාවෙහි සඳහන් වේ. ලක්දිව අනුරපුර පණ්ඩුකාභය රජු සමයෙහි චිත්‍රරාජ හා කාලවේල යක්ෂ නායකයන් උදෙසා කාර්තික පූජාව පැවැත්වූ බව සෙනරත් පරණවිතාන සූරීන් සඳහන් කරයි. කුරුණෑගල යුගයේ රචිත දළදා සිරිතේ හත්වන පිරිසිඳෙහි ව්‍යවස්ථාගතව ඇති අයුරු “අවුරුද්දේ කාත්තියේ රජ දරුවනට පඬුරු පානා නොයෙක් ධුරයෙන් පළමුවැ දළදා පඬුරු පැ පසුව රජ දරුවනට පඬුරු පානා ඉසා” , යනුයෙන්, පළමුව දළදා වහන්සේට පඬුරු පූජාකොට දෙවනුව රජතුමාට පඬුරු පිළිගැන්විය යුතු බව පවසයි.

මහනුවර යුගයේදී දෙවන රාජසිංහ රජතුමාගේ සමයෙහි ද ප්‍රදීප පූජා – කාර්තික උත්සවය පැවති බව රොබට් නොක්ස්ගේ වාර්තාවෙහි සඳහන් වේ.

කන්ද උඩරට නායක්කාර වංශික රජදරුවන් යටතේ කාර්තිකයෙහි , ප්‍රදීප පූජෝත්සවය පැවැත්වීම වඩාත් ප්‍රචලිත වූවායැයි සිතිය හැකිය. මහාවංශයේ සඳහන් වන අයුරින් ශ්‍රී විජය රාජසිංහ රජතුමා” “ස්වකීය පුරයෙහි ද රටවල ද ඒ ඒ තැන චෛත්‍යයන්හි එක දවසින්ම පහන් පුද කෙරෙත්වායි ආඥා කොට ,එක රෑම ජන සමූහය රැස් කරවා එක් ලක්ෂ අනූදහස් සත් සියයක් පහනින් පූජාවක්ද කළේය. මෙසේ එකල් හි රජ තෙමේ ලංකාද්වීප භූමිය උස්ව බබළන පහනින් තාරකාවන් විසින් ගැවසුණු අහස සේ කළේය යනුවෙන් විචිත්‍ර ප්‍රදීප පූජාවක් පැවැත්වූ බව කියැවේ.

මෙසේ කලින් කලට රජ වූ ඒ ඒ රජදරුවන් විසින් ඉෂ්ට සිද්ධ කළා වූ දිනපතා, සතිපතා, මාසික හා වාර්ෂික විවිධ බුද්ධෝපස්ථාන, වත් පිළිවෙත් පූජා චාරිත්‍ර රාශියක් චිරාගත සම්ප්‍රදායික ඉපැරණි චාරිත්‍ර වශයෙන් අදත් පවතී. පසුභාගයේ පත්වූ දියවඩන නිලමේතුමන් විසින් ද අඛණ්ඩව එම පුද සිරිත් පවත්වාගෙන ඒම, අපේ ආගමික ජාතික සංස්කෘතික උරුමයන් වඩ වඩාත් ඔපවත් කොට ආරක්ෂා කරගැනීමට ඉවහල් විය. සිංහලේ අවසන් රාජධානිය වූ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින අති උත්තම ශ්‍රී දළදා වහන්සේ උදෙසා පූජා චාරිත්‍ර වශයෙන් පැවැත්වෙන වාර්ෂික ප්‍රධාන මංගල්‍යයන් සතරකි. වසරේ පළමු මාසය වන ජනවාරි මාසයේදී අලුත් සහල් මංගල්‍යයත්,අපේ‍්‍රල් මාසයේදී අලුත් අවුුරුදු මංගල්‍යයත්, ජූලි

/අගෝස්තු මාසයන්හි ඇසළ පෙරහර මංගල්‍යයත් , වර්ෂයේ අවසාන භාගයේ කාර්තික පෙරහර මංගල්‍යයත් චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත්වෙන එම සතර මංගල්‍යයන් වේ.

මෙම ප්‍රධාන සතර මංගල්‍යයට අමතරව මැයි මාසයේදී වෙසක් පෙරහර මංගල්‍යය ද ජුනි මාසයේදි පොසොන් පෙරහර මංගල්‍යයද, මැයි ,ජුනි මාස තුළ වාහල නාග, උපසම්පදා පෙරහර මංගල්‍යයද, වාර්ෂික පූජා මංගල්‍යයන් වශයෙන් අඛණ්ඩව පැවැත්වේ.

සතර මංගල්‍යයන් හා ඊට අමතර අනෙකුත් මංගල්‍යයන් නොකඩවා චිරාගත සම්ප්‍රදායානුකූලව උත්කර්ෂවත් ලෙස පැවැත්වීම දියවඩන නිලමේවරයා සතු කාර්ය භාරයන් අතර ඉතා වැදගත් තැනක් ගනී. මල්වතු අස්ගිරි උභය මහා විහාරිය අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේගේ හා තේවාවභාර නායක ස්වාමින්වහන්සේගේ අනුශාසනා ලබාගෙන පුදසිරිත් කඩ නොකර, මනාව සංවිධානය කොට, සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාව භක්තිය වැඩි වර්ධනය වන අයුරින් එම මංගලෝත්සව පැවැත්වීම දියවඩන නිලමේවරුන් විසින් මෙතෙක් අඛණ්ඩව ඉටු කිරීම කාගේත් බුද්ධාලම්බන පී‍්‍රතියට හේතුවේ.

ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල

විසින් සාදා දෙනු ලබන සුබ නැකැත් මුහුර්තිය අනුව (නොවැම්බර් මස) ඉල් පුර පසළොස්වක පෝය දිනයේදී ප්‍රදීප පූජා පැවැත්වීම හා පෙරහර මංගල්‍යය සිදුකිරීම

සාමාන්‍ය සිරිතය. ඉල්පෝය දිනට පෙර දින ගම් දහයේ විදානේවරු ලවා ශ්‍රී දළදා මාළිගාව සරසවනු ලැබේ. පුර පෝයදින සුබ මුහුර්තියට අනුව පහන් දල්වා මාළිගා චතුරශ්‍රය වටා කුඩා පෙරහරක් පැවැත්වීම මෙහිදී සිදුකෙරේ. මෙම පෙරහරේ දියවඩන නිලමේතුමා ගමන්

නොකරන අතර කාරිය කරවන කෝරාළ පෙරහරේ ගමන් කරයි. මේ දිනම කාර්තික වට්ටෝරුවේ සඳහන් අනෙකුත් විහාරස්ථාන හා දේවාලවල ද ප්‍රදීප පූජා පැවැත්වීම සිදුවේ.

කාර්තික මංගල්‍යය දින පහන් දැල්වීමට අවශ්‍ය තෙල් බෙදා දීම සිදුකෙරෙනුයේ ශ්‍රී දළදා මාළිගාවෙනි.

කාර්තිකේය දිනට දින දෙකකට පමණ පෙර පෙරහරකින් තෙල් නැලි 103 ක් පමණ ශී‍්‍ර දළදා මාළිගාවේ සිට නාථ දේවාල භූමියට රැගෙන ගොස් එහිදී කාරියකරවන කෝරාළ ඇතුළු නිලකරුවන් විසින් කාර්තික වට්ටෝරුව අනුව සතර දේවාලය ඇතුළු අනෙකුත් විහාරස්ථාන හා දේවාලවල ද ප්‍රදීප පූජා පැවැත්වීම සිදුවේ.

ඉහත සඳහන් සතර මංගල්‍යයට අමතරව වාර්ෂිකව පවත්වන වෙසක් පෙරහර මංගල්‍යය පොසොන් පෙරහර මංගල්‍යය ,වාහලනාග උපසම්පදා පෙරහර මංගල්‍යය තුන්සිංහලයේ අභිමානය ලෝකයා හමුවේ විදහා දක්වන මංගල්‍යයන් වශයෙන් සඳහන් කළ හැකිය.


මෙම ලිපියෙහි පළමු කොටස නිකිණි පුරපසළොස්වක පෝදා ද, දෙවන කොටස නිකිණි අව අටවක පෝදා ද පළවිය.

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]