UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 51

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 51

රන් හිණිමගෙන් වැඩ බුදු රැස් විහිදවූ සංකස්ස පුරය

අපි දැන් බුද්ධ භුමි වන්දනා තුළින් අද සංකස්ස පුරය වන්දනා කරමු. අප භාග්‍යවතුන් වහන්සේ දෙව්ලොවට වැඩම කොට මාතෘ දිව්‍ය රාජයාට ධර්මය දේශනා කොට ආපසු සංකස්ස පුරය වෙත වැඩම කළ අයුරු සිහියට නංවා ගනිමු.

සැවැත් නුවර සිට ලක්නව් නගරය හරහා කිලෝ මීටර් 428 ඇති අතර උත්තර ප්‍රාන්තයට අයත් සංකස්ස පුරවරය ෆරුකාබද් දිස්ත්‍රික්කයට අයත්ය. වර්තමානයේ “සංඛිසා” නමින් හඳුන්වයි. මෙය ඉතා වැදගත් අවිජහිත (බුදුවරුන් අත්නොහරින පුද භූමියකි) සංකස්ස පුදබිම.

බුද්ධ කාලීන පසු බිම

සත්වන වස් කාලය සඳහා භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම වන ලදී. ඒ තමන් වහන්සේ ඉපදී දින හතකින් පරලොව සැපත්ව දෙව්ලොව ඉපදී සිටින මව් දෙවියන්ට ධර්ම දේශනා කිරීම සඳහායි. තව්තිසා භවනයෙහි වස් විසූ භාග්‍යවතුන් වහන්සේ එහි තුන් මසෙහි නිතර දම් දෙසූ සේක. ඒ දේශනා කළ පරිදි භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාත කාලය වන තෙක් ම දම් දෙසා ඉක්බිති තමන් වහන්සේ වැනිම බුදුරුවක් මවා මා එන තෙක් මෙතෙක් ධර්මය දෙසා වායි අධිෂ්ඨාන කොට හිමාලයට වඩිනා සේක.

එහි අනෝතත්ත විල ළග හිඳ දන් වළඳන සේක. ඒ වේලාවේදී සැරියුත් තෙරණුවෝ එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේට වත් පිළිවෙත් කරති. වළදා අවසානයෙහි සාරිපුත්තයෙනි, අද මම මෙතෙක් බණ කීමි. එය තමන් ඇසුරු කරන භික්ෂුනට උගන්වවුයි උපදෙස් දී තව්තිසා භවනට වැඩ නිර්මිත බුදුරුව අතුරුදහන් කොට ඒ බුදුරුව වදාළ තැන් සිට දහම් දෙසන සේක. මේ නියායෙන් බුදුරජාණන් වහන්සේ ඒ තුන් මස ගත කළ සේක.

ධර්ම දේශනාව තුන් මසෙකින් අවසන් විය. දේශනාවසානයේදී මව් දෙව් පුත් සෝවාන් ඵලයෙහි පිහිටියේය. අසූ කෝටියක් දෙවිවරුද මාර්ග ඵල ලැබූහ.

පවාරණයට සත් දවසක් කලින් මුගලන් තෙරණුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ කවර දා වඩින සේක්’දැයි ඇසූහ. ඉන් සත් වන දා සංකස්ස නගරද්වාරයට තව්තිසායෙන් වඩිනා බවත්, තමන් වහන්සේ දක්නා කැමැත්තෙන් එහි ඉඳිය යුතු බවත් වදාළ සේක. සැවැත් නුවර සිට සංකස්ස නගරයට දුර යොදුන් තිසක් වුවත්, ඒ සැවැත් පුර රැස්ව සිටි පිරිසට එහි යෑම සමීප විහාරයකට යන ගමනක් මෙන් ඉතා ඉක්මන්ද පහසුද විය. භාග්‍යවතුන් වහන්සේ වප් මස මැදි පෝදා පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි දීම වස් පවරා එදාම ශක්‍ර බ්‍රහ්මාදීන්ගේ පූජෝත්සවයෙන් ගෞරව ලබමින් මහ පෙරහරින් සංකස්ස නගර ද්වාරයට වැඩම කළ සේක.

ඒ දුටු සැරියුත් තෙරණුවෝ බුදුරදුන් වැඳ එවැනි බුද්ධ ශ්‍රීයක් ඉන් පෙරැ තමන් නොදුටු බව ආදිය කී කළ එය අරභයා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවක් කළ සේක. එය ඇසූ දෙවියන් ඇතුළු මහා පිරිසකට ධර්මාභිසමය විය. සැරියුත් තෙරුන්ගේ සද්ධි විහාරික පන්සියයක් පමණ භික්ෂූහු රහත් වූහ.මෙහිදී බුදුරජාණන් වහන්සේ ඒ ඒ තැනැත්තාට විෂය වු ප්‍රශ්න පෘථග්ජන, සෝවාන් ආදීන්ගෙන් පිළිවෙළින් අසා අන්තිමේදි මේ සස්නෙහි මහා ප්‍රභූ වූ සැරියුත් තෙරුන්ගෙන් බුදුවරුන් විසින්ම විසඳිය හැකි ප්‍රශ්න විචාළ සේක. එය මුලදී උන්වහන්සේට නොහැකිවූ නමුත් ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ විසින් දෙන ලද උපදෙස් පරිදි විසඳිය හැකි විය. මෙයින් සැරියුත් තෙරුන් සෙසු සියල්ලටම වඩා නුවණින් අග තැන්පත් වූ බව පවසා භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර තනතුරු පිරිනමන ලදී.

මෙම දේවාරෝහණ උත්සවය දැක්මෙන් පැහැදුණු අප්‍රමාණ ජනයෝ බුදුබව පැතූහ. ලොව සෑම දෙනාම එකම හඩින් බුද්ධත්වය ප්‍රාර්ථනා කරන ලද පූජනීය බිම සංකස්ස පුද බිමයි.

මෛත්‍රී බෝසතුන් පැවිදි වීම

මෛත්‍රී බෝසතාණෝ භාග්‍යවතුන් වහන්සේගේත්, සැරියුත් තෙරණුවන්ගේත් අතරැ වූ ප්‍රශ්න විසර්ජන කථාව ඇසුවෝ එදාම පැහැදී පැවිදි වූහ. මේ මෛත්‍රී බෝසතාණෝ වනාහි මෙයින් සොළොස් අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකින් යටැ මතු බුදුවෙනු සඳහා නියත විවරණ සිරි ලැබුවෝ පෙරුම්දම් පුරමින් දෙව් මිනිස් දෙව් ලෝහි සරනුවෝ අප බුදුපියාණන් දවස දෙව් ලොවින් චුතව සැවැත්නුවරින් තිස්යොදුන් පමණ තන්හි සංකස්ස නුවර ගැහැවි මහසල් කුලෙක ‘සිරිවඩ්ඩ” නම් මහ කෙළෙඹියාට පුත්ව උපන්නෝය. සුව පෙරහරින් වැඩුණු එතුමෝ දිසාපාමොක් ඇදුරන් වෙත ඉගෙන ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙලවරට පැමිණ මාපියන් ඇවෑමෙන් කුටුම්බ ස්වාමීව මහ පිරිවර ජනයා සමඟ එදාම ගිහි සැප හැර දමා දහසක් පමණ පිරිවර ජනයා සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූහ. පැවිදි උපසපන් බව ලත් ආර්ය මෛත්‍රී බෝධිසත්ව භික්ෂූහු බුද්ධ වචනය මොහොතකට ඉගෙන නොයෙක් සිය ගණන් භික්ෂු සමූහයාට එය ඉගැන්වූහ.

මෛත්‍රි බෝසතුන් නියත විවරණ ගැනීම


ගරාවැටී ඇති සංකස්ස චෛත්‍යය

භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ අදහස දැක භික්ෂු සමූහයා මධ්‍යයෙහිදී එම භික්ෂූන් වහන්සේ පෙන්වා

මහණෙනි, උතුම් වස්ත්‍ර යුගලයෙකින් බුදුන් පිදූ මේ භික්ෂූහු බලවු. මේ තෙම මතු මහා භද්‍රා කල්පයෙහිම මෛත්‍රි නම් සම්‍යක් සම්බුද්ධත්වට පත් වන්නේය. මතු බරණැස් පුර “කේතුමතී” නම් රාජධානියෙක් වන්නේය. එහි “සංඛ” නම් සක්විති රජෙක් වන්නේය. ඔහු පුරෝහිත “සුබ්‍රහ්ම” නම් බමුණා “මෛත්‍රීය” බුදුන්ගේ පියා වන්නේය. එ පෙරෙ විහුගේ භාර්යා වූ “බ්‍රහ්මවතී” බැමිණි මව වන්නීය. “නා රුකෙක් ඒ බුදුන්ගේ “බෝ රුක” වන්නේ යැයි විවරණ සිරිදී වදාළ සේක.

තවත් කොටසක් නිකිණි අව අටවක පොහෝදා සැප්තැම්බර් 05 වනදා පත්‍රයේ

 


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 50

 

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]