UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යයයි හෙළ සංස්කෘතික අභිමානයයි

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යයයි හෙළ සංස්කෘතික අභිමානයයි

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සකල ලෝක සත්වයා කෙරෙහි පතළා වූ මහකරුණාවෙන් පන්සාළිස් වසක් පුරාවට දේශනා කොට වදාළා වූ, සුවාසූදහසක් සදහම්කද පහස ලැබුවා වූ, ජීවමාන බුදුන් හා සමකොට සැලකෙන පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාරය දැක්වීම, ශ්‍රී නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිවුමහාදෙවියන් කෙරෙහි භක්ති ප්‍රණාමය දැක්වීම හා කලට වැසි ලැබ රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය සාධනය කර ගැනීම යනාදී අරමුණු ඉටුකරගනු වස් පැවැත්වෙන සෙංකඩගලපුර දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය තරම් අතිපූජනීය වූත්, ජාතික, ආගමික, සාමාජික හා සංස්කෘතික වූත්, චිරාගත සම්ප්‍රදායානුකූල බුද්ධ පූජාමය මංගලෝත්සවයක් තවත් ලොව නැති තරම්ය.

සෙංකඩගලපුර ඇසළ පෙරහර ආගමික පූජා මංගලෝත්සවයක් පමණක් නොව, ජාතියේ, සංස්කෘතියේ උදාරත්වය හා අභිමානය ලොවට හඬගා කියාපාන මහා සංස්කෘතික මංගලෝත්සවයක් ද වේ. බුදුදහම තුළින්ම උරුම වූ හැදියාව, හැඩගැස්ම, සදාචාරය, ගුණධර්ම, චාරිත්‍ර වාරිත්‍ර, කලාශිල්ප, නිර්මාණ හා ඥානය ආදි සියල්ල ඇතුළත් හෙළ සංස්කෘතියේ හා ශිෂ්ටාචාරයේ හරපද්ධතීන් පිළිබඳ යථාස්වභා-වය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කෙරෙන, මංගලෝත්සවයක් වශයෙන්ද සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය මුල්තැනක් ගනී. රාජ්‍ය උරුමයේ සංකේතය වශයෙන් දළදා වහන්සේ-ගෙන් උරුම වූ චිරාගත සාම්ප්‍රදායික බුද්ධපූජාමය පුදසිරිත් හා රාජපූජිත පුදසිරිත් සංකලනය වී, සාමාජික හැඩගැස්ම, ඇදහිලි හා විශ්වාස, නිර්මාණ කුසලතාවය හා සෞන්දර්යකාමීත්වය ආදී සියල්ල එක්තැන්කොට දක්වන සෙංකඩගලපුර අසිරිමත් ඇසළ පෙරහර මංගලෝත්සවය දෙස් විදෙස් සියලු නරඹන්නන්ගේ නෙත් සිත් මහත් අමන්දානන්දයට පත්කරවයි.

මහාවංශයට අනුව සිංහල ජාතියේ සමාරම්භකයා යැයි සැලකෙන විජය කුමරු ලක්දිව රාජ්‍යාභිෂේකය ලැබීම හා පඬි රජු දූ කුමරිය අගමෙහෙසි තනතුරට පත්කර ගැනීම මුල්කොට පැවැත් වූ පෙරහර ලක්දිව පෙරහර සංස්කෘතියේ ආරම්භය සනිටුහන් කරයි. ශ්‍රී සම්බුද්ධ වර්ෂයෙන් 236 වැන්නේ මහින්දාගමනයත් සමඟ විහාරාරාම, දාගැබ්, පෙතිපිළිම, සිතුවම්, නර්තන, වාදන, ගායන ආදී සියල්ල ඇතුළත් හෙළ සංස්කෘතිකාංග රැසක්ම සිරිලක තුළ තහවුරු විය. මහින්ද මහරහතන්වහන්සේගේ උපදෙසින්, ධර්මාශෝක මහාධිරාජයාගේ මෙහෙයවීමෙන්, දඹදිව සිට සඟමිත් මහතෙරණින් වහන්සේ, ශ්‍රී මහාබෝධියෙහි දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩමකිරීමේදී, ගොඩබට දඹකොළපටුනේ සිට මහපෙරහරින් අනුරපුර මහමෙව්නාවට බෝධිය වැඩමවූ කතාපුවත බෝධිවංශයෙන් මනාව විස්තර වෙයි.

මෙසේ ඇරඹුණු බෞද්ධ පෙරහර සංස්කෘතිය වාර්ෂිකව වඩාත් උත්කර්ෂවත් ලෙස සංවිධානය වූයේ හතරවන සියවසේ කිත්සිරිමෙවන් (රා.ව. 301 – 328 ) මහරජු දවස රාජ්‍ය වර්ෂ 310 වැන්නේ දී, හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩමවීමත් සමඟ ය. එසේ වැඩම කරවූ දළදා වහන්සේ වඩා හිඳුවා තැන්පත්කොට තැබුයේ ලක්දිව පළමු දළදා මාළිගාව සේ සැලකෙන දාඨාධාතුඝරය හෙවත් ධම්මචක්කගේහය නම් වූ දළදා මාළිගාවේය. චීන දේශ සංචාරක හියුං සියෑං භික්ෂුවගේ වාර්තාවට අනුව අඩි සිය ගණනක් උස් වූ දුර්ලභ මැණිකෙන් බබළන මෙම මැදුරේ කොත මුදුන විශාල පද්මරාග මාණික්‍යයෙන් සරසා තිබුණේ ය. එයින් විහිදුන ආලෝකය දිවා රෑ දෙකේහි බොහෝ දුර සිටත් දැකිය හැකි විය. දුර සිට බලන අයට තාරකාවක් මෙන් දිස් විය. සත්රුවනින් කරවූ මෙම මනහර මන්දිරයෙන් එවකට දළදාව හා බැඳුණු සිහල ගොඩනැගිලි නිර්මාණකරුවන්ගේ කුසලතාවය මැනවින් විදහා දක්වයි.

රාජ්‍ය උරුමයේ සංකේතය වශයෙන් රාජධානිය මාරු වූ සෑම තැන්හිම ගොඩනැඟුණු දළදා මාළිගා අතර පොළොන්නරුවේ අටදාගෙය, වටදාගෙය, හැටදාගෙන නටබුන්ව ඇති නමුත් අදටත් එහි පැවති අභිරමණීයත්වය හා මහර්ඝත්වය මතු වී දිස්වේ. දඹදෙණියේ විජේසුන්දරාරාමය, යාපහුවේ දළදා මැදුර අතීතයේ පැවති ශ්‍රී ශෝභාවය අදටත් මොනවට කියාපාන්නේ ය. මහාවංශයේ විස්තර වන කුරුණෑගල දළදා මැදුර, “රාජාංගනයේ බිතුවම්න් හා සිතුවමින් මනරම් වූ රන් තොරණින් හා රන්බාවෙන් සිත්කලු වූ තුන්මහල් දළදා මැදුරක් බවත්, පටපිළියෙන් වියන් බැඳ රන්රිදී මුතු මාලා එල්ලා සරසා තිබුණූ බවත් විස්තරකොට දැක්වීමෙන් එහි සිරි අසිරිය කෙබඳුදැයි සිහි- ගන්වනු ලැබේ. ගඟසිරිපුර ගම්පොළ දළදා වහන්සේ තැන්පත්කොට තිබූ මන්දිරය නියම්ගම්පාය රජමහාවිහාරයයි. එය ද අතීත ගොඩනැගිලි ශිල්පීන්ගේ කුසලතාවය අදටත් ශේෂ කොට ප්‍රදර්ශනය කරවන්නේ ය. කෝට්ටේ යුගයේ රන්රුවනින් විසිතුරු වූ දළදා මැදුරක් පැවති බව සංදේශ කාව්‍යයන්ගෙන් මනාව විස්තර වේ. සීතාවක රාජධානියේ දී දෙල්ගමු රජමහාවිහාරයේ රමණීය බුද්ධ මන්දිරයේ කුරහන් ගලක් තුළ තැන්පත් කොට රැකගත් දළදා වහන්සේ, රාජ්‍ය වර්ෂ 1592 වැන්නේ සෙංකඩගලපුර පළමුවන විමලධර්මසූරිය (රා.ව. 1592 – 1604 ) රජු දවස සෙංකඩගලපුරට වඩමවා, අලංකාර ලෙස ගොඩනැඟූ දළදා මැදුරෙහි තැන්පත් කළ බව මූලාශ්‍රයන්ගෙන් හෙළි වේ. ඒ පළමු දළදා මැදුර පෘතුගීසීන් විසින් විනාශ කළෙන් දෙවන රාජසිංහ රජතුමා (රා.ව. 1635 – 1687) දෙවන දළදා මැදුරත්, එය ලන්දේසීන් විසින් විනාශ කළ කල්හි, තෙවනුව දෙවන විමලධර්මසූරිය රජතුමා (රා.ව. 1687 – 1707 ) ගොඩනැඟූ තෙමහල් දළදා මාළිගාව දිරාපත්ව පැවතියෙන්, ඔහු පුත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ( රා. ව. 1707 – 1739) විසින් වර්තමානයේ ජීවමානව දක්නා ලැබෙන අතිපූජනීය වූත්, ඓතිහාසික වූත්, පුරාවිද්‍යාත්මක වූත්, අලංකාර දෙමහල් දළදා මැදුර ගොඩනංවනු ලැබිය. මෙකී දළදා මාළිගා සියල්ල හෙළ වාස්තු විද්‍යාවේ අනන්‍යතාවය ලොවට කියාපාන ජීවමාන සාධකයෝය. මෙම ජීවමාන වාස්තු විද්‍යාත්මක සාධකයන් මත ගොඩනැඟුණු පෙරහර සංස්කෘතිය සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යයට ආවේණික වූ සෞන්දර්යාත්මක කලා නිර්මාණ රැසක් බිහිකර ගැනීමට හේතුසාධක වී ඇත.

අනුරපුර කිත්සිරිමෙවන් රජු (රා.ව. 301 – 328 ) දවස සිට වසර එක්දහස් සතසිය පස්වස-රක් පුරාවට ආගමික, ජාතික, සංස්කෘතික අඛණ්ඩ ජීවමාන ඉතිහාසයක් අපට උරුම කර දුන් දළදා වහන්සේ විෂයෙහි පවත්වන වාර්ෂික පූජෝපහාර මංගල්‍යයක් වූ සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය නරඹන, එහි සිරි අසිරිය විඳින ජන සන්තානය තුළ ජනිතවන්නේ ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව මුසු බුද්ධාලම්භන පී‍්‍රතියයි. එම ප්‍රඥාවේ අරමුණ නිවන කෙළවර කොට ඇත්තේ ය. සෞන්දර්යාත්මක, දර්ශනීය කලාමංගල්‍යයක් ලෙස සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය හැඳින්විය හැකිය. මෙය සංකේතවත්කොට ඊටම ආවේණික වූ සාහිත්‍යයක්, කලානිර්මාණ සම්ප්‍රදායක්, නිර්මාණ රැසක් බිහිව තිබීම දෙස් විදෙස් සැමගේ සිත් තුළ නිරාමිෂ පී‍්‍රතියක් ජනිත කරවීමට සමත් වී ඇත.

ඇසළ පෙරහර මංගල්‍යයේ අමිල වූ වටිනාකමක් ඇති ශ්‍රේෂ්ඨතම පූජනීයම වස්තුව වූ සර්වඥ ධාතුන් වහන්සේ වඩාහිඳුවා ඇති පෙරහර කරඬුව පූජනීයත්වය හා උදාරත්වය ඉස්මතු කරමින් වැඩමවීම සිදුකරනුයේ පෙරහර මංගල්‍යයේ දී මහාමේඝය සංකේතවත් කොට දක්වන, උඩුවියන් පාවාඩ මතින්, දෙපස මුරායුධ, සේසත් ඇතිව, පංචතූර්ය නාදයෙන් සමන්විතව ගමන් ගන්නා මංගල හස්තිරාජයාය. මංගල හස්තිරාජයාගේ පිටමත රන්සිරිගෙයි වැඩමවන පෙරහර කරඬුවෙහි රාජ්‍ය වර්ෂ 1828 දක්වා දළදා වහන්සේ වැඩමවීම සිදුකර ඇති නමුත්, ඉන් පසු අද වන විට පෙරහරේ වැඩමවනු ලබන්නේ සධාතුක ධාතුන් වහන්සේලා තැන්පත් කළ පෙරහර කරඬුවයි. (වර්තමානයේ ආරක්ෂක හේතුන් මහ පෙරහරේ දළදා වහන්සෙ වැඩමවීමක් සිදුවන්නේ නැත.) කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා 1773 දී රනින් නිමවා, සිය අගමෙහෙසියගේ මාල පළඳනාවන්ගෙන් සැරසූ පෙරහර කරඬුවත්, රන්සිරිගෙයත් මෙම උතුම් පෙරහර මංගල්‍යය සඳහා පූජාකොට ඇත.

පැරණියේ සිට පෙරහර මංගල්‍යයේ සියලු කටයුතු ආරම්භ කරනුයේ සුබ නැකැත් මුහුර්තීන්ට අනුවය. එතුළින් ජන විශ්වාස-යන්වලට අනුව මෙම මංගල්‍යය සංවිධානය වූ අයුරු සිතාගත හැකිය. හෙළ සංස්කෘතියේ හැඩගැස්මට මෙම ජන විශ්වාසයන් බොහෝ සෙයින් බලපා තිබේ.

සමස්ත මානව වර්ගයාගේම හැඟීම් එක්තැන් කර ගැනීමට සමත්වන පෙරදිග සංගීතයේ ගාම්භීර වූ ආතත, විතත, විතතාත, ඝන, සුසිර යන පංචතූර්ය නාදය ප්‍රධානකොට ගත් හේවිසි කණ්ඩායමේ වාදන නාද රිද්මය, සියලු කලාකරුවන්ගේ පමණක් නොව අලිඇතුන්ගේ පවා ගමන කිසියම් රිද්මයකට අනුව මුල සිට අග දක්වාම එකම ආකාරයකට පවත්වාගෙන යෑමට මග සලසයි. සෙංකඩගලපුර වීදි පුරා නැඟෙන මෙම හේවිසි නාදය අසන දකින කාගේ වුවද සිත් ශ්‍රද්ධා භක්තියෙන් හා පී‍්‍රතිප්‍රමෝදයෙන් පහන් කිරීමට සමත් වෙයි. සෙංකඩගලපුර පෙරහර තරම් සෞන්දර්යාත්මක චින්තනයක් මනස තුළ ජනිත කරවන වෙනත් කිසිම මංගල්‍යයක් නොමැති තරම්ය.

පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආවා වූ උඩරට නර්තන කලාවේ විශිෂ්ටත්වය ලොවට ප්‍රදර්ශනය කරන මහා වේදිකාවක් බඳු ඇසළ පෙරහර මංගල්‍යය හෙළ නැටුම්, ගැයුම්, වැයුම් යන ත්‍රිවිධාංග පෝෂණයට හා චිරපැවැත්මට අතිශයින් හේතුකාරක වී ඇත. නරඹන්නන්ගේ රසවින්දනය පමණක් නොව අසන දකින සැමගේ සිත් තුළ උදාරත්වය ද අභිමානය ද ස්වකීය චිරාගත සාම්ප්‍රදායික සිරිත් විරිත් පිළිබඳ අධ්‍යයනයට තව තවත් පෙළඹවීමක් හා නැමියාවක් ඇති කෙරෙයි.

මෙසේ රාජධානියෙන් රාජධානියට, පරපුරෙන් පරපුරට පවත්වාගෙන එනු ලබන මෙම විශිෂ්ට සංස්කෘතික දායාදයන් අනාගතය උදෙසා සුරක්ෂිතකොට අභිවර්ධනය කරගැනීමට බොහෝ සෙයින් දායක වනුයේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයයි. වාර්ෂිකව පැවැත්වෙන සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය, මෙම විශිෂ්ට පූජා මහෝත්සවයේ අභිමානය දෙස් විදෙස් නරඹන්නන් ඉදිරියේ දිගහැරෙන විචිත්‍රවත් වේදිකාවක් බඳුය. බෞද්ධ ආගමික බුද්ධෝපස්ථාන වතාවත් හා රාජ්‍යත්වය සමඟ බැඳී වර්ධනය වූ වත්පිළිවෙත් ඉස්මතුකොට දැක්වෙන ඇසළ පෙරහර මංගල්‍යය යනු හුදු විනෝදය පිණිස පවත්වන්නක් නොවේ. මෙය හෙළ කලාවේ උදාරත්වය කියාපාන උඩරට නැටුම්, වැයුම්, ගැයුම් කලා ශිල්පීන්ගේ ආදීන කලා කුසලතාවය ලොවට ප්‍රදර්ශනය කරනු ලබන මහා කලා මංගල්‍යයක්ද වේ.

වර්තමාන ඇසළ පෙරහර මංගල්‍යය සංවිධානය කෙරෙනුයේ මල්වතු අස්ගිරි උභයමහාවිහාරයන්හි අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදය මත, ගිහිභාරකාර දියවඩන නිලමේතුමන්ගේ උපදෙසින් ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල ලවා සකසනු ලබන සුබ නැකැත්පත්‍රයකට අනුවය. ඉන් අනතුරුව පළමුව සිරිත් පරිදි සුබ නැකතින් පේකොට තබන ලද පණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිවුමහාදේවාලයත් ප්‍රධානකොට ඇති සියලු විහාර දේවාලයන් පූර්වාභිමත්ව ඇසළ කප්සිටුවීමෙන් පෙරහර ආරම්භ කෙරේ. එදින සිට අභ්‍යන්තර පෙරහර පහක් ද, වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද, රන්දෝලි පෙරහර පහක් ද, දියකැපුම්, පෙරහරක් ද දහවල් පෙරහරක් ද, වළියක් නැටුම ද පැවැත්වීමෙන් පෙරහර සමාප්ත වේ.

වත්මන් ඇසළ පෙරහරේ සියලු සංස්කෘතිකාංග පෙළගැස්ම තුළින් අතීතයේ සිට එහි පැවති ආගමික චාරිත්‍ර හා රාජකීය පිළිවෙත් පිළිබිඹු කරයි. පෙරහරේ පළමුවෙන් ගමන් කරනුයේ කසකරුවෝය. මෙම සිරිත මුලින් පැවතියේ රජුන් කෙරෙහිය. කසකරුවන්ට අනතුරුව ගිනිබෝලකරුවන්, බෞද්ධ කොඩි රැගත් අය, දිසාකොඩි රැගත් අය, කඩු ගෙනයන්නෝ, පෙරමුණේ රාල, හේවිසිකරුවෝ, ගජනායක නිලමේ, හොරණෑ වාදකයෝ, චාමර, නැටුම, ලීකෙළිකරුවෝ, පන්තේරු නැටුම, තාලම් හවඩිදඟය, නෛයියන්ඩි කණ්ඩායම, අත්රබන්, කණ්ඩායම, වේවැල් නැටුම, උඩැක්කි නැටුම, තම්මැට්ටම් වාදකයෝ හා පතුරු නැටුම් කණ්ඩායම, වෙස් නැට්ටුවෝ, කාරියකරවන කෝරාළ, නාගසිංහම් වයන්නෝ, උඩුවියන් සහිතව පාවාඩ මඟින් කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා, දෑලේ ඇතුන්, බෞද්ධ කොඩි, කවිකාරකම මඩුව, මල් පහන් ගෙනයන්නෝ, දියවඩන නිලමේතුමා පිරිවරාගත් විදානේවරුන් ආදී කලාකරුවෝ හා රාජකාරීකරුවෝ මාළිගාවේ පෙරහරෙහි ගමන් කරති. අලි ඇතුන්, කොඩි, චාමර ගත්තවුන්, පන්දම්කරුවන් හා කඩුගත්තවුන් මෙම පෙරහරේ ගමන් කිරීම සුවිශේෂී සංස්කෘතික ලක්ෂණයකි. මාලිගාවේ පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිවුමහාදේවාල පෙරහර අනුපිළිවෙළින් ගමන් කිරීම සිදුවේ.

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]