UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තරුණ වියේ වටිනාකම

තරුණ වියේ වටිනාකම

තරුණවියෙහි ජීවත්වන පිරිමි හැඳින්වීම සඳහා තරුණයා, ගැටයා, ගැටවරයා යෞවනයා, මානවකයා, කොල්ලා යනාදි ව්‍යවහාර ද, ගැහැනුන් හැඳින්වීම සඳහා තරුණිය, යෞවනිය, මානවිකාව, කෙල්ල යනාදී නම් ද වහරනු ලැබේ. මෙම සියලු පර්යාය පදවල අර්ථමය වශයෙන් ඔවුන්ගේ ගති ලක්ෂණ සමඟ කිසියම් සම්බන්ධයක් දක්නට ලැබේ. කායික ජවසම්පන්නභාවය (ජවො), පෙනුම (රූපවා), නව්‍ය බව (යොබ්බඤ්ඤං), ධෛර්ය සම්පන්න බව (ධිතිමා), ක්‍රියාශීලීත්වය හා කාර්යශූරත්වය (සූරො) මෙම වයසේ සිටින පුද්ගලයන්ට උපරිමයෙන් හිමිවී ඇත. මෙම නිසා ලෝකයෙහි කවදත් තරුණයන් සහ තරුණියන් විෂයෙහි විවිධ ක්ෂේත්‍රවල වැඩි ඉල්ලුමක් පවතී. ස්වකීය ගෘහයෙහි දී පමණක් නොව විවාහය, අධ්‍යාපනය, රාජ්‍ය හා පෞද්ගලික ආයතනයන්හි ද, ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ද තරුණයන් විෂයෙහි දක්වන ඉල්ලුම ප්‍රබල වේ.

ඔවුන්ගේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය තියුණු වීම මෙයට හේතුවයි. එහෙයින්ම තරුණ විය ඉක්මයාම මානසික කනස්සල්ලකට හේතුවන බැවින් වයස්ගත පුද්ගලයෝ ද තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමට විවිධ උත්සාහයන් දැරීම සමාජයේ සුලබව දක්නට ලැබෙන කරුණකි. එයින් ඇඟවෙන්නේ සමාජය තුළ භෞතිකත්වයට වටිනාකම් ලබාදෙන ජීවන රටාවක් නිර්මාණය වන විට වයස් සීමාවන් විසින් මනුෂ්‍යත්වයේ වටිනාකම ද තීරණය කරන බවයි. මේ නිසා තරුණයෙකු හෝ තරුණියක හෝ තම යෞවන විය සහ එහි වටිනාකම පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතුව සිටීම අතිශය ප්‍රයෝජනවත් වේ. තරුණ ප්‍රජාව යනු නව්‍යකරණය උදෙසා අදහස් මතු කරන උල්පත බවත්, ඔවුන් අද දවසේ චින්තකයන් බවත්, අර්බුද විසඳන්නන් බවත්, සාමයේ උත්ප්‍රේරකයන් බවත් පිළිගන්නා යුනෙස්කො සංවිධානය තරුණ විය සම්බන්ධයෙන් වයස් සීමාවක් දක්වතත් වැදගත්ම කාරණය වන්නේ ඔවුන් තුළ පවතින කායික මානසික සෞඛ්‍යයයි. කුමක් නිසාද යත් තරුණ වියෙහි සිටින ඇතැම් අය මහල්ලන් මෙන් අක්‍රිය තත්ත්වයෙන් ද තරුණ විය ඉක්මගිය, මුහුකුරාගිය වයසෙහි සිටින ඇතැම් අය තරුණයන් මෙන් ජවසම්පන්නව, සමහරවිට ස්වකීය බුද්ධිමය හා ශ්‍රමික දායකත්වය මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා කැපකරවන හෙයිනි. තරුණ විය රටක් වෙනුවෙන් ඵලදායක මෙහෙවරක් කළ හැකි වටිනා කාලයක් වුවද බොහෝ රටවල තරුණ ප්‍රජාව පිළිබඳ මෙතෙක් විධිමත් ප්‍රතිපත්ති හෝ ප්‍රඥප්ති හෝ සැකසී නැත. එසේම තරුණ ප්‍රජාව මුහුණපාන දැවෙන අභියෝග හා ගැටලු පිළිබඳ අවධානයක් යොමු වී ද නැත.

තාරුණ්‍යයේ වටිනාකම

සැබැවින්ම ලෝකයෙහි වඩාත් ආකර්ෂණීය වන්නේත් වැඩිම ඉල්ලුමක් පවතින්නේත් තරුණයන් විෂයෙහිය. තරුණ ප්‍රජාව අඳින පළඳින, සිතන පතන හා කරන කියන දේ සමාජයේ විශේෂ අවධානයට පාත්‍ර වන අතර, ඔවුන්ගේ රුචිකත්වයන් හා ක්‍රියාකාරකම් විෂයෙහි ඇගයීම් සිදු කෙරේ. නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි ඇඳුම් පැළඳුම්, ගේදොර, යානවාහන ආදියේ විවිධ විලාසිතා වෙළෙඳ පොළ ආක්‍රමණය කරනුයේ තාරුණ්‍යයේ රුචිකත්වය හා චින්තන ශක්තියේ මහිමය නිසාය. එසේම විලාසිතා සහිත ලෝකය මොහොතින් මොහොත නවීකරණය වන්නේ තරුණ ප්‍රජාව ඉලක්ක කරගෙනය. එහෙයින්ම ලෝකයේ සියලු දේ සජීවී, අත්‍යවශ්‍ය හා වැදගත් දේ බවට පත් කෙරේ. මේ නිසා එක් අතකින් ලෝකය යනු කායික මානසික සෞඛ්‍යයෙන් යුතු තරුණ ප්‍රජාවගේ උරුමයකි.

ථේරවාද බෞද්ධ මූලාශ්‍රයන්හි සුපුෂ්පිත යෞවනත්වයක් ගොඩනැඟීමට අවශ්‍ය කරුණු ගොඩගැසී ඇතත් අවාසනාවකට මෙන් තවමත් ඒවා බොහොමයක් සැඟවී ඇත. බුදුන් වහන්සේ ආගමික ශාස්තෘවරයෙකු වශයෙන් පමණක් නොව සමාජ විශ්ලේෂකයෙකු හා මනෝවිද්‍යාඥයෙකු වශයෙන් ද තාරුණ්‍යයේ ප්‍රභුත්වය, ශක්තිය, අපේක්ෂා, හැඟීම්, ආවේග යනාදිය කෙරේ දැඩි අවධානය යොමුකොට ඇත.

චින්තන විප්ලවයකට තුඩුදුන් බුදුදහම භාරතය තුළ ස්ථාවර කිරීම සඳහා බුදුරදුන් විසින් එකතු කරගත් පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රමාණයක් තරුණයන් හා තරුණියන් ය. ප්‍රථම භික්ෂූන් හැටනම අතර දෙතුන් දෙනෙකු හැරුණු විට අනෙක් සියල්ලෝම නිසැක වශයෙන්ම තරුණයෝ ය. යසකුල පුත්‍රයා සහ ඔහුගේ මිත්‍රයන් පනස් එක් දෙනෙකු එක්වර සසුනට ඇතුළත් වූහ. බුදුරදුන් කෙරෙහි පැහැදුණු තුන්බෑ ජටිලයන් ඇතුළු පිරිස එක්දහස් දෙසිය පනහක් වීම ඊට එක් නිදසුනකි. බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා මෙම යොවුන් ප්‍රජාව දුන් දායකත්වය අප්‍රමාණ වේ. ක්‍රි.පූ. 6 සියවස ආගමික ක්ෂේත්‍රය තුළ නව හැරවුම්කරුවෙකු ලෙස අන්‍යාගමික නායකයින්ගේ ද අවධානයට බුදුන් වහන්සේ කෙරෙහි යොමුවීමට කරුණු රාශියක් බලපෑ අතර උන්වහන්සේ තුළ පැවති යොවුන් බව ද ප්‍රධාන කරුණකි. බ්‍රාහ්මණ ආගමික නායකයෙකු වන කූටදත්ත විශාල අනුගාමිකයන් පිරිසකගේ විරෝධතාව ද නොසලකා බුදුන් වහන්සේ බැහැදැකීමට යාම සඳහා තීරණය කරන ලද්දේ උන්වහන්සේ තරුණ ආගමික නායකයෙකු වීම ද සැලකිල්ලට ගැනීමෙනි. ශ්‍රී ලංකාවේ දැවැන්ත සංස්කෘතික ප්‍රතිසංස්කරණයක් සිදුකළ මිහිඳු මා හිමියන් සියලු ක්‍රියාදාමයන් සිදු කළේ භද්‍ර යෞවනයේදී බව අපි දනිමු. රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් ආක්‍රමණය කරමින් සිය නාමය ස්ථාපිත කළ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ජීවිත කාලය වයස අවුරුදු තිස් දෙකකින් නිමාවට පත්විය. එබැවින් තරුණවිය නිකරුණේ මලානික වීමට ඉඩදීම දුර්වල මිනිසෙකුගේ ලක්ෂණයක් බව පෙනේ.

යෞවන මදය

මිනිසුන්ට ඇති වන මද රාශියක් පිළිබඳව බුද්ධ දේශනාවල සඳහන් වේ. ජාතිමදය, ගෝත්‍රමදය, ආරෝග්‍යමදය ආදී අනේකවිධ මද අතර යොබ්බනමදය ද එකකි. තරුණ වියෙහි සිටින සෑම පුද්ගලයෙකුටම ඇති වන පදනම් විරහිත මානසික තත්ත්වයක් ලෙස බුදුදහම යෞවනමදය (යොබ්බනමද) හඳුනාගනී. මෙම වයසේ දී සාමාන්‍ය වශයෙන් සෑම පුද්ගලයෙකු තුළම හිතුවක්කාර නැතහොත් දඟකාර අදහස් ඇතිවේ. ඇතැම් අය තුළ කායික සංයමයක් සහිත හිතුවක්කාරකම් ද ඇතැම් අය තුළ කායික සංයමයක් රහිත හිතුවක්කාරකම් ද පවතී. කෙසේ වුවත් මෙම මානසික වියරුවෙන් සිටින අය අඩුවැඩි වශයෙන් කායික වාචසික මානසික දුශ්චරිතවල පෙළඹෙති.

මම තවම තරුණය, එහෙයින් පින් කිරීම අවශ්‍ය නැත, ඊට තවම කල් ඇත යනුවෙන් ඇතැම් අය සිතනුයේ මෙම මදය හෙවත් තරුණ බවින් මත්වීම නිසාය. මත් වූ හස්තියෙකු විලංගු දැමීමෙන් වුවද වලංගු නොවන්නාක් මෙන් මෙම තරුණයෝ ද වලංගු නොවෙති. තමන් සියල්ල දන්නාක් මෙන් මෙකල ඔවුහු උපකල්පනය කරති. වැඩිහිටියන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් දක්වන ඔවදන්, උපදේශ ඔවුහු පිළිගැනීමට රුචියක් නො දක්වති. මෙබඳු තරුණයන් දතයුතු වටිනාම දෙය නම් සියල්ල දැනගැනීමට තරම් තවමත් ඔවුන් තරුණ නොවන බවයි.

ආගමෙන් ධර්මයෙන් පලක් නැත. සාම්ප්‍රදායික ඥානයෙන් වගතුවක් නැත. ආචාරධර්ම නිසරු දේය. වැඩිහිටියන් යල් පැනගිය අදහස් ඇත්තෝය. අල්ලස් ගැනීම කූටක්‍රම අනුගමනය කිරීමෙන් වුව මුදල් ඉපයීම කළ යුතු ය. අන්‍යයන් විපතට පත්කිරීම, අක්‍රමිකතා මඟින් දියුණුවීම, ලිංගික පහස උදෙසා ආගමික සමාජ නීති උල්ලංඝනය කිරීම, අසත්‍යයෙන් සත්‍යය යටපත් කිරීම, දුම්වැටි මත්පැන් ආදියෙන් පෞරුෂත්වය සොයායාම වැනි මානසික තත්ත්වයන් ඇතැම් තරුණයෝ අප සමාජයේ බහුලව වෙසෙති. ශිෂ්ට සම්පන්න ලෝකයේ මොවුන් සැලකෙනුයේ සමාජ දූෂකයන් වශයෙනි. භෞතිකත්වය විෂයෙහි විශේෂ ඇගයීම් සැපයෙන ආර්ථික දේශපාලනික ආගමික හා සාමාජික පසුබිම් සහිත ලෝකයක එබඳු සමාජ දූෂකයන් බහුල වන අතර එයින් සමස්ත සමාජය පුරා පැතිර යන පිළිලයක් සැකසෙන අයුරු බෞද්ධ ඉගැන්වීම්වලින් තහවුරු කොට ඇත.

තරුණවිය හා යහගුණ

සැබැවින්ම තරුණයෙකු නම් වෙනස් ලෙස සිතන්නෙකු විය යුතු ය. අලුත් නිර්මාණ විෂයෙහි උද්‍යෝගයක් තිබිය යුතු ය. වෙනත් විධියකින් කිවහොත් විවර නොවූ මග විවෘත කරන්නෙකු විය යුතු ය. බුදුදහම අලෞකිකත්වය අගයන දහමක් වුවද තරුණ වියේ දී ගිහියෙකු වශයෙන් කෙළි සෙල්ලම් කිරීම, විනෝදවීම, ආදරය කිරීම, විවාහවීම, දරුවන් බිහි කිරීම, වෘත්තීය කටයුතුවල යෙදීම, ධනය ඉපයීම යනාදි ලෞකික වින්දනයන් පහත් ක්‍රියාවන් ලෙස පරිභවයට ලක්කොට නැත. තරුණ වියෙහි දී ලෞකික දියුණුව සලසා ගැනීම අවශ්‍යතාවක් ලෙස බුදුදහම පිළිගනී. එහිලා පසුගාමී වීම පශ්චාත්තාපයට කරුණක් ලෙස ද බුදුදහම දක්වා ඇත.

‘යමෙක් තරුණ වියේ දී බඹසරත් නොහැසිරේ නම් ධනයත් නූපදවයි නම් ඔහු වයස්ගත වූ කල මසුන් නැති විලක් සමීපයෙහි තැවෙන කොස්වාළිහිණියෙකු මෙන් කල්පනා කරමින් සිටී’

තරුණයෙකුට තම ජීවිතයේ අභිවෘද්ධිය සාදා ගැනීමට ඉවහල් වන කරුණු හතක් බුදුන් වහන්සේ සංයුත්තනිකායෙහි දේශනා කොට ඇත. එනම් 1 කල්‍යාණමිත්තතා හෙවත් යහපත් මිත්‍රයන්ගේ ආශ්‍රය 2. සීලසම්පදා හෙවත් ගුණගරුක වීම. 3. ඡන්දසම්පදා හෙවත් කුසල් කිරීමට කැමති කෙනෙකුවීම. 4. අත්තසම්පදා හෙවත් මනා චිත්ත ශක්තියක් තිබීම. 5. දිට්ඨිසම්පදා හෙවත් ඥාන සම්පන්නවීම. 6. අප්පමාදසම්පදා කළයුතු දේ පිළිබඳ නිරන්තර අවදියෙන් සිටීම. 7. යොනිසො මනසිකාර සම්පදා හෙවත් උපාය ඥානයෙන් යුක්තවීම යනුවෙනි. එසේම අවේලාවෙහි වීථිසංචාරය, නාට්‍ය සංගීත සන්දර්ශන පසුපස හඹා යාම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, පාපී මිත්‍රයන් ඇසුර, ස්ත්‍රී ධූර්ත වීම යනාදි කරුණු රාශියක් පිරිහීමට තුඩු දෙන බව සිඟාලෝවාද, පරාභව වැනි සූත්‍ර දේශනාවල දක්වා ඇත.

තරුණ වියේ බොහෝ අයගේ දහම නම් ස්වාභිමතයට අනුව දිවි පැවැත්මයි.තවද ඔවුන් උපකල්පනය කරනුයේ ධාර්මික ජීවිතය මහලුවියේ දී ප්‍රායෝගිකව අත්විඳිය යුත්තක් බවයි. මෙය සපුරා වැරැදි උපකල්පනයකි. මෙම චින්තනය වර්තමානයට පමණක් පොදු වූවක් නොවේ.

අතීතයේ ද මෙසේම ය. මෙය මිනිසුන්ට පමණක් නොව දෙවියන් වැනි සත්ත්ව විශේෂයන්ට ද පොදු දැක්මක් වූ බවට සාධක පෙළෙහි විද්‍යාමාන වේ. වරක් එක් දෙවඟනක් තරුණ භික්ෂුවක් වෙත පැමිණ “ශ්‍රමණය ඔබ පැවිද්දෙකි. තරුණය. කළු කෙස් ඇත්තේ ය. භද්‍ර යෞවනයේ සිටින කෙනෙකි. ප්‍රථම වයසෙහි සිටිහි. කම් සුව නොවිඳි කෙනෙකි. එහෙයින් මානුෂික වූ කම්සැප විඳින්න. පෙනෙන දේ අතහැර නොපෙනෙන දෙයක් පසුපස නොයන්න” යැයි කරන ලද ඇරයුමක් ගැන සංයුත්තනිකායේ සඳහන් වේ. තරුණකම හුදෙක් රාගයට නිවාසයක් බවත් එහිදී කළයුතු නොකළයුතු දේ පිළිබඳ උදාසීන වීම මිහිපිට කවරෙකුට වුව සිදුවිය හැක්කක් වුවත් දෙමාපියන්ට උවටැන් කිරීම වැනි යහගුණ සඳහා එය බාධාවක් නොවන බව කිවයුතු ය.

 

   අධි ඇසළ පුර පසළොස්වක පෝය

අධි ඇසළ පුර පසළොස්වක පෝය ජූලි මස 01 වැනිදා බදාදා පූර්වභාග 9.30 ට ලබයි. 02 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 7.49 දක්වා පෝය පවති. සිල් සමාදන් වීම ජූලි මස 01 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 08 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]