බුදුදහම හා මාර සංකල්පය 19
සේලා භික්ෂුණියගේ යොවුන් බව වර්ණනා කළ මාරයා
ශාස්ත්‍රපති
රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
පසුගිය අධි ඇසළ පුර අටවක පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ
සංයුත්ත නිකායේ භික්ඛුණී සංයුත්තයට අයත් ‘උප්පලවණ්ණා’ සූත්‍රය විමසා
බැලීමටය. එහි ඇතුළත් වූයේ අන්ධ වනයෙහි හුදකලාව බවුන් වඩමින් සිටි
උප්පලවණ්ණා භික්ෂුණිය හමුවට මාරයා පැමිණ උත්තමාවියගේ යොවුන් බව වර්ණනා
කළ අවස්ථාවකි. අද දින අප ඉදිරිපත් කරන්නේ අන්ධ වනයෙහි හුදකලාව බවුන්
වඩමින් සිටි සේලා භික්ෂුණිය හමුවට පැමිණි මාරයා එතුමියගෙන් සත්වයාගේ
හටගැනීමට හේතු කවරේද? එය කරන්නේ කවුද? ආදී වශයෙන් ප්‍රශ්න කළ
අවස්ථාවකි.
අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයේ
උප්පලවණ්ණා භික්ෂුණිය මෙන් සේලා භික්ෂුණියද පෙරවරු කාලයේ පිඬු පිණිස
සැවැත් නුවර හැසිර පස්වරු කාලයේ පිණ්ඩපාතයෙන් වැළකී දිවා විවේකය පිණිස
අන්ධ වනයට වැඩම කොටගසක් මුල වැඩසිට සමාධි සුවයෙන් කල් ගෙවූ සේක.
එකල සේලා භික්ෂුණිය අන්ධ වනයෙහි හුදකලාව වැඩ සිටින බව දැනගත් පාපී
මාරයා සේලා භික්ෂුණියට බිය ඇති කරනු පිණිස ලොමු දැහැගනු පිණිස,
සමාධියෙන් වළක්වනු පිණිස සේලා භික්ෂුණිය වැඩසිටි අන්ධ වනයට පැමිණ ඒ
උත්තමාවියට ඇසෙනු පිණිස මෙසේ කීය.
මේ ආත්මභාවය කවරෙකු විසින් උපදවන ලද්දක් ද, මේ ආත්මභාවය කවුරුන් විසින්
කරන ලද්දක්ද? මේ ආත්මභාවය කුමක් නිසා හට ගත්තේද? මේ ආත්මභාවය කුමන තැනක
නිරුද්ධ වීමක් හෙවත් නැතිවීමක් වන්නේ ද?
මෙය ඇසුණු සේලා භික්ෂුණිය, මෙසේ මහ වන මැදට වී හුදකලාව සිටින මා හට බිය
ඇති කරනු පිණිස, ලොමු දැහැගනු පිණිස, සමාධියෙන් වළක්වනු පිණිස කවරෙක්
නම් බාධා කරන්නේ ද, ඔහු මිනිසෙක් ද නොමිනිසෙක් දැයි විමසනුයේ, ඒ
වෙනකෙකු නොව පාපී මාරයාම බව දැනගත්තේ ය. ඉන්පසු ඔහුට පිළිතුරු වශයෙන්
සේලා භික්ෂුණිය මෙසේ වදාළහ.
‘නයිදං අත්තකතං බිම්බං,
නයිදං පරකතං අඝං,
හෙතුං පටිච්ච සම්භූතං,
හෙතුහඩ්ගා නිරුජ්ඣති’
‘යථා අඤ්ඤතරං බීජං,
ඛෙත්තෙ වුත්තං විරුහා
පථවීරසඤ්චාගම්ම,
සිනෙහඤ්ච තදුහයං’
‘එවං බන්ධා ච ධාතුයො,
ඡ ච ආයතනා ඉමෙ,
හෙතුං පටිච්ච සම්භූතා,
හෙතුහඩ්ගා නිරුජ්ඣප්ති
මේ ආත්මභාවය තමා විසින් කරන ලද්දක් නොවේ. දුක මුල්කොට ඇති මේ ආත්මභාවය
අනුන් විසින් කරන ලද්දක් ද නොවේ. මෙය හේතුව නිසා හටගත් එකකි. හේතුව
විරුද්ධ වීමෙන් හෙවත් නැතිවීමෙන් මෙය නිරුද්ධ වේ. හෙවත් නැති වේ.
යම් සේ කිසියම් බීජයක් කෙතෙහි වපුරන ලද්දේද? පෘථිවියේ රසය හා ජලය නිසා
පැළ වේ ද, එපරිද්දෙන්ම ස්කන්ධ ධාතු ආයත යන හේතු ප්‍රත්‍යයන් නිසා
හටගත්තේ වෙයි. ඒ හේතු ප්‍රත්‍යයන්ගේ නිරුද්ධවීමෙන් හෙවත් නැතිවීමෙන්
නැතිවෙයි.
මව්පියන් දෙදෙනාගේ එකතුවෙන් හා හේතුප්‍රත්‍ය සමවායෙන් හට ගත් මේ ශරීරය
වරක් බුදුරජාණන් වහන්සේ තුඹසකට උපමා කළ අවස්ථාවක් මජ්ක්‍ධිම නිකායේ එන
චම්මිික සූත්‍රයෙන් පැහැදිළි වෙයි. එය හුදෙක් සාමාන්‍ය තුඹසක් නොව
රාත්‍රියට දුම් දමන දහවල් කාලයේ ගිනිගන්නා වූ තුඹසක් ලෙසය. බුදුරදුන්
පෙන්වා දී ඇත්තේ.
චමමිකො’ති ඛො, භික්ඛු ඉමස්සෙතං වාතුමහාභූතිකස්ස කායස්ස අධිවචනං,
මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුචිඡාද – පරිමද්දනභෙදන –
විද්ධංසන ධම්මස්ස, යං ඛො, භික්ඛු දිවා කඬමන්තෙ ආරඛහ රත්තිං
අනුවිතක්කෙති අනුවිචාරෙති – අයං රත්තිං ධූමායනා. යං ඛො, භික්ඛු රත්තිං,
අනුචිතක්කෙත්වා අනුවිචාරෙත්වා දිවා කම්මන්තෙ පයොජෙති කායෙන වාචාය
‘මනසා’ අයං දිවා පජ්ජලනා.
කුමාර කාශ්‍යපය, තුඹස යනු මව්පිය දෙදෙනා නිසා පහළ වූ ආහාර පානයෙන්
වැඩුණා වූ, අනිත්‍ය වූ, සුවඳ ගැල්වීම් පිරිමැදීම් ආදිය කළ යුතු වූ,
කැඩී බිඳී යන සුළු වූ, සතර මහා භූතයන්ගෙන් හටගත් මේ ශරීරයට නමකි. දහවල්
කළ යුතු ගොවිතැන්, වෙළඳාම් ආදී කටයුතු සම්බන්ධයෙන් රාත්‍රී කාලයෙහි
නැවත නැවත කල්පනා කරයි. සලකා බලයි. මෙය රාත්‍රියෙහි දුම් දැමීමය. යමක්
රාත්‍රියෙහි කල්පනාකර සලකා බලා, දහවල් ගොවිතැන් වෙළෙඳාම් ආදියත් කයින්
හෝ වචනයෙන් හෝ කරයිද මේ දහවල් ඇවිලීමය.
මෙයින් පැහැදිලි වන්නේ ශරීරයේ හටගැනීම හුදෙක් දුකක්ම සඳහා හේතු වන බවත්
එය කිසිවෙකුගේ ක්‍රියාකාරීත්වයක් නොව හා සතර මහා භූතයන්ගේ සංකලනයෙන්
නිම වූ හේතු ප්‍රත්‍ය සමවායෙන් හටගත් හේතුප්‍රත්‍ය නිරුද්ධ වීමෙන්
නිරුද්ධ වන එකැතැන් වීමක් බවයි. පාපී මාරයා සේලා භික්ෂුණිය සමීපයට
පැමිණ අසන මේ ප්‍රශ්න ගැඹුරු ප්‍රශ්නයකි.
මේ ආත්මභාවය කවරෙකු විසින් උපදවන ලද්දක්ද,? මේ ආත්මභාවය කවුරුන් විසින්
කරන ලද්දක්ද? මේ ආත්මභාවය කුමක් නිසා හටගත්තේ ද? මේ ආත්මභාවය කුමන තැනක
නිරුද්ධ වීමක් හෙවත් නැතිවීමක් වන්නේ ද?
එයට යථාර්ථවාදීව පිළිතුරු සපයන සේලා භික්ෂුණිය මාරයාට අත්කර දෙන්නේ
පරාජයයි.
මේ ආත්මභාවය තමා විසින් කරන ලද්දක් ද නොවේ. දුක මුල්කොට ඇති මේ
ආත්මභාවය අනුන් විසින් කරන ලද්දක් ද නොවේ. මෙය හේතුව නිසා හටගත් එකකි.
හේතුව නිරුද්ධවීමෙන් හෙවත් නැතිවීමෙන් මෙය නිරුද්ධ වේ හෙවත් නැති වේ.
යම් සේ කිසියම් බීජයක් කෙතෙහි වපුරන ලද්දේ පෘථිවියේ රසය හා ජලය නිසා
පැළ වේද එපරිද්දෙන්ම ස්කන්ධ ධාතු ආයත යන මේ හේතු ප්‍රත්‍යයන් නිසා
හටගත්තේ වෙයි. ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් නිරුද්ධවීමෙන් හෙවත් නැතිවීමෙන්
නැතිවෙයි. මෙයින් පරාජය පිළිගන්නා මාරයා සේලා භික්ෂුණිය මා හඳුනා ගත්තේ
යැයි අසතුටු සිතින් යුතුව වහා එයින් පළා යයි.
මතු සම්බන්ධයි
|