ධම්මපදට්ඨ කථාවෙන් 30
බොරු රහත් බවට අභියෝග කළ පිණ්ඩෝල
භාරද්වාජ තෙරණුවෝ
කොළඹ විශ්ව විද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශ ප්‍රධාන මහාචාර්ය
අගලකඩ සිරි සුමන හිමි
රජගහනුවර සිටුවරයා ජල ක්‍රීඩා සඳහා ගංගාවට පැමිණිවිට ආරක්ෂාව පිණිස ගඟ
පහළින් දැලක් බැඳීම සිරිතක් කොට පැවතුණි.මේ අතරෙහි ගඟ ඉහළින් ඉවුරේ
තිබු රන් සඳුන් ගසක මුලක් ජල රළ නිසා ඔපමට්ටම් වී පාත්‍රයක් මෙන් සැකසී
දිය සෙවෙල බැඳී පා වී පැමිණ ආරක්ෂක දැලෙහි රැඳුණි. සිටුවරයා මෙය රත්
හඳුන් ලී ගැටයක් බව හඳුනා ගෙන එයින් මනරම් පාත්‍රයක් සකසා නගරය
මධ්‍යයෙහි උස ලීයක් සිටුවා එය මුදුනෙහි පාත්‍රය රඳවා යම් කිසි රහත්
වූවෙක් වෙත් නම් පැමිණ මේ පාත්‍රය ගන්නැයි අභියෝගයක් කළේය. යමෙකු එසේ
කළේ නම් තම දූ දරුවන් ද සමඟ ඔහු සරණ යන්නෙමුයි ද අධිෂ්ඨාන කළේය.
එදා රජගහනුවර බොහෝ දෙනා රහතන් වහන්සේලා යැයි ප්‍රසිද්ධව සිටියහ.
සිටුවරයා මේ අභියෝගය කළේ ඔවුන් උදෙසාය. වංචාකාරි රහතන් වහන්සේ ලෙස පෙනී
සිටි මේ බොහෝ පිරිස් සිටුවරයා වංචාකොට පාත්‍රය ගන්නට කල්පනා කළහ.මේ
අතරෙහි ෂට් ශාස්තෘන් වහන්සේලා මෙම පාත්‍රය ඔවුන්ට ලබා දෙන ලෙස
සිටුවරයාගෙන් ඉල්ලා සිටියහ. එහෙත් සිටුවරයා ප්‍රකාශ කළේ අහසින් පැමිණ
ලබා ගත යුතු බවයි. මේ සඳහා නිගණ්ඨනාථපුත්ත ඉදිරිපත් විය.
ඔහු තම අනුගාමිකයන් කැඳවා කීවේ තමන් මෙම ගස ළඟට පැමිණ අතක් පයක් ඔසවා
අහසට නැගෙන ලෙසට අඟවන්නෙමි. එවිට තෙපි පැමිණ මට ඊට ඉඩ නොදී ලී
පාත්‍රයකට අර්හත්වය පාවා නොදෙන්නැයි ඉල්ලා මා අතින් පයින් අල්වා බිම
දමන්නැයි කීය. නිගන්ඨනාථ පුත්ත සිටුවරයා වෙතට ගොස් තමන් පාත්‍රය ගන්නට
අහසට නගින බව කියා ගස මුලට ගොස් අත පය දිග්කරන විටම ඔහුගේ අතවැස්සෝ
පැමිණ නතර කළහ. එවිට නාථපුත්ත සිටුවරයා වෙතට ගොස් තමන් අහසට නැග
පාත්‍රය ගන්නට උත්සාහ කළ විට තමන්ගේ අර්හත්වය ලී පාත්‍රයකට පාවා
නොදෙන්නැයි අතවැස්සෝ කියති. මට අහසට නගින්නට ඉඩ නොදෙති. එබැවින්
පාත්‍රය තමන්ටම දෙවයි ඉල්ලා සිටියේය. එහෙත් සිටුවරයා කීවේ අහසට නැගී
අර්හත්වය පෙන්වා පාත්‍රය ලබා ගන්නා ලෙසයි. දින හයක් පුරා විවිධ
තීර්ථකයෝ පාත්‍රය ලබන්නට උත්සාහ කළ ද ඔවුනට නොහැකි විය.
මේ අතර සිටුවරයාගේ අභියෝගය බාර ගැනීමට කිසිවකු නොවු හෙයින් රහතුන්
වහන්සේලා මේ නගරයේ නැතැයි බොහෝ දෙනා කතිකා කරන්නට වූහ. දිනක් පිඩුසිඟා
වඩින මුගලන් තෙරුන්ට හා පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්ට මෙය ආරංචි විය.
මෙවන් අදහසක් පැතිර යාම බුදුසසුනට නිග්‍රහයක් බව දුටු උන්වහන්සේලා මේ
අභියෝගය භාර ගෙන ලොව උතුම් රහතන් වහන්සේලා ඇති බව පෙන්වීමට අදිටන් කළහ.
ඒ සඳහා පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ ඉදිරිපත් වීමට තීරණය කළහ. තමන් මෙම
පාත්‍රය ගන්නා බව සිටුවරයාට දැන්වූහ.මේ ප්‍රාතිහාර්ය නරඹන්නට විශාල
පිරිසක් එහි පැමිණියහ. දැහැන්ගත වු තෙරණුවෝ සුවිසල් කළු ගලක් තම
පාදාන්තයෙන් රැගෙන අහසෙහි පෙනී සිටියහ. මෙය තමන් හිස මතට වැටෙතියි
බියෙන් රැස්වූ පිරිස ආරක්ෂක ස්ථාන වෙත දුවන්නට විය. තමන් බේරා දෙන්නැයි
බොහෝ දෙනා තෙරුන්ගෙන් ආයාචනා කරන්ට වූහ. එවිට තෙරුන් වහන්සේ ගල පිහිටි
ස්ථානය වෙතටම දමාලූහ. මෙය දුටු සිටුවරයා තෙරුන්ට දණ්ඩ නමස්කාර කොට
පාත්‍රය රැගෙන බිමට බසින්නැයි ආරාධනා කළේය.
සිටුවරයා පාත්‍රය චතුමධුරයෙන් පුරවා තෙරුන් වහන්සේට පූජා කළේය. තෙරුන්
එයද රැගෙන විහාරයට වඩින විට තවත් බොහෝ පිරිස් නැවත නැවතත් ප්‍රාතිහාර්ය
දක්වා පෙන්වන්නැයි උන්වහන්සේ පසුපසින් මහා සෙනගත් ලෙසින් ඇදී එන්නට
විය.
ඔවුන්ගේ ඝෝෂාව මහත් වූයෙන් බුදුරදුන් අනඳ තෙරුන් වෙතින් ඒ ගැන විමසූ
අතර, අනඳ තෙරණුවෝ තෙරුන් කළ ක්‍රියාව බුදුරදුනට සැළ කර සිටියහ.
බුදුරදුන් තෙරුන් කැඳවා මෙය සත්‍යයක් දැයි විමසා සිටි අතර,තෙරණුවෝ
සිද්ධිය බුදුරදුනට පැහැදිලි කළහ.බුදුරදහු ඒ පිළිබඳ තෙරණුන්ට නිග්‍රහ
කොට ප්‍රාතිහාර්ය නොදක්වන්නට ශික්ෂාපදයක් ද පනවා වදාළහ. ඊට හේතුව බුද්ධ
ශ්‍රාවකයා විජ්ජාකාරයකු වනු දකින්නට බුදුරදුන් තුළ පැවැති අකැමැත්තයි.
කෙසේ වෙතත් බුදුරදුන් ශ්‍රාවකයන්ට ප්‍රාතිහාර්ය පෑම තහනම් කිරීමෙන්
වඩාත් සතුටට පත් වූයේ තීර්ථකයන්ය. නැවත ඔවුනට රහතුන් ලෙස පෙනී සිටීමට
අවස්ථාව ලැබෙන හෙයිනි. මේ නිසා තීර්ථකයෝ බුද්ධ ශ්‍රාවකයන්ට
ප්‍රාතිහාර්ය පාන්න එන්නැයි අභියෝග කළහ.
මේ පිළිබඳ දැනගත් බිම්සර රජහු මේ ගැන බුදුරදුන්ගෙන් විමසු විට
ශික්ෂාපදය ශ්‍රාවකයන්ට මිස තමන්ට නොවන බවත් තමන් වහන්සේ ප්‍රාතිහාර්යය
දැක්වීම කරන බවත්ය. ඒ අනුව රජතුමා ඇසළපෝදා දිනෙක සැවැත්නුවරදී ඊට
සූදානම් බව වදාළහ. මෙයින් මහත්සේ බියට පත් තීර්ථකයෝ කළ යුත්තේ
කුමක්දැයි කතිකා කරන්නට වූහ.
බුදුරදුන් කවර තැනෙක සිට ප්‍රාතිහාර්ය පාන්නේද ?යන්න සොයා බැලු
තීර්ථකයෝ අඹ ගසක් මුල සිට බව දැන සියලු අඹ ගස්, අඹ පැළ පවා
සැවැත්නුවරින් ගලවා අතුරුදන් කළහ. එහෙත් ගණ්ඩබ්බ නමින් සුවිසල් අඹ
වෘක්ෂයක්ම බුදුරදුන් වෙනුවෙන් හට ගත්තේය. එයම ප්‍රාතිහාර්යයක් විය. මහා
සුළඟක් තමා රැස්ව සිටි තීර්ථකයන්ගේ සිැරුර දූවිල්ලෙන් වැසි ගියේය.
අනතුරුව කුඩා වැහි බිඳු දූවිලි මත වැටී කබරයින්ගේ විලාස ගත්තේය. මෙය
ඉවසා ගත නොහී පූර්ණ කස්සප ලණුවකින් ගෙල සිරකොට දියට පැන දිවි නසා
ගත්තේය. අනෙක් අනෙක් අයද මෙසේ විනාශයට පත්වූහ. බුදුපියාණෝ ගණ්ඩබ්බ
මූලයෙහි ප්‍රාතිහාර්ය පා සියලු දෙනාගේ සැක දුරු කොට වදාළහ.
|