අවබෝධ කළයුතු
නිරුද්ධ කළයුතු
ලෝකය
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ලොවෙහි මුදුනට ම පත් වූ නිසා අපගේ බුදුරජාණන් වහන්සේව “අග්ගප්පත්ත”
නමින් හඳුන්වනු ලබනවා. ඒ අනන්ත සම්බුදු නුවණින් තිලොව ම එළිය කළ නිසා
“පභාස්කර” කියාත් බුදුරජාණන් වහන්සේ හඳුන්වනු ලබනවා. මේ සියලු ලෝකයන්ම
ඇතැඹුලක් සේ අවබෝධ කරගෙනයි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ. සියලු
දිව්‍යලෝක, සියලු බ්‍රහ්මලෝක, මේ මිනිස් ලෝකය, සතර අපාය ආදී සියලු
ලෝකයන්ගේ යථා ස්වභාවය උන්වහන්සේ අවබෝධ කොට වදාළා. එමෙන්ම ඒ හැම
ලෝකයකින්ම නිදහස් වෙලයි සම්බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ.
පින්වත් මහණෙනි, මුළුමහත් ලෝකයම තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින්
අවබෝධ කරනු ලැබුවා. එනිසාම තථාගතයන් වහන්සේ කිසිදු ලෝකයක් සමඟ
එක්නොවීයි වාසය කරන්නේ. පින්වත් මහණෙනි, මේ ලෝකය හටගන්නා අයුරුත්
තථාගතයන් වහන්සේ ඉතා හොඳින් අවබෝධ කරනු ලැබුවා. ලෝකය හට ගැනීම තථාගතයන්
වහන්සේ තුළ ප්‍රහාණය වෙලයි තිබෙන්නේ. පින්වත් මහණෙ- නි, ලෝකයේ
නිරුද්ධවීමත් තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කරනු ලැබුවා.
ලෝකයේ නිරුද්ධවීම තථාගතයන් වහන්සේ සාක්ෂාත් කොට වදාළා. එමෙන්ම පින්වත්
මහණෙනි, ලෝකය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ
විසින් ඉතා හොඳින් අවබෝධ කරනු ලැබුවා. ලෝකය නිරුද්ධවීම පිණිස පවතින
ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් ප්‍රගුණ කොට වදාළා.
සම්බුදු නුවණින් මේ ලෝකය ගැන ඇතිකරගෙන තිබූ වැටහීම මේ ලෝකයේ වෙන කිසිම
කෙනෙකුට ඇතිකර ගන්නට බැහැ. සම්බුදු නුවණ අසමසම යි. ඒ සම්බුදු නුවණින්
ලෝකය දුටු අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා දී වදාළේ ලෝකය ගැන සිතීම
අචින්තනීය විෂයක් බවයි. ඒ කියන්නේ සිතා නිම කළ නොහැකි දෙයක්. ඒ කරුණ
නොදන්නා නො පිළිගන්නා වර්තමාන ඇතැම් මිනිසුන්, නොයෙකුත් නවීනයැයි කියා
ගන්නා යන්ත්‍රෝපකරණ උපයෝගි කරගනිමින් ජීවිත කාලය පුරාම වෙහෙසමින් ලෝකය
ගැන සෙවීමට ගන්නා වෑයම කෙතරම් හරසුන් දෙයක් ද?
ලෝකය ගැන වඩාත්ම හරවත් විග්‍රහයක් මේ දෙව් මිනිසුන්හට පෙන්වා දුන්නේ
සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි. අද අප ඉගෙන ගන්නේ එබඳු අපූරු
විග්‍රහයක්. මේ දෙසුමට පසුබිම වුණේ "රෝහිතස්ස" නම් වූ දිව්‍ය පුතයෙකුගේ
ප්‍රශ්නයක්. මේ දිව්‍ය පුත්‍රයා ලෝකයේ කෙළවරක් සොයා ගන්නට මහන්සි වුණ
කෙනෙක්. ඔහුගේ වෑයම අසාර්ථක වූ බැවින් ඒ දිව්‍ය පුත්‍රයා සම්මා
සම්බුදුරජාණන් වහන්සේ සොයා පැමිණීමට තීරණය කළා.
ඒ දිනවල අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර
ජේතවනාරාමයේ. මේ රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා රැය පහන් වෙන වෙලාවේ
මුළුමහත් ජේතවන-යම ඒකාලෝක කරගෙන භග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණුනා.
වන්දනා කොට එකත් පසෙක සිට ගත්තා.
එකත්පසෙක සිටි රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම
කිව්වා.
"ස්වාමිනි, යම් තැනක උපදින්නේ නැතිනම් දිරන්නේ නැතිනම්, මැරෙන්නේ
නැතිනම් චුත වෙන්නේ නැතිනම්, යළි උපදින්නේ නැතිනම් ස්වාමිනි ලෝකයේ
කෙළවර වූ ඒ තැනට පයින් යන්න පුළුවන්ද?"
සියල්ල පරිපූර්ණ ලෙස අවබෝධ කළ අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.
ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නේ නැතිනම්, දිරන්නේ නැතිනම්, මැරෙන්නේ
නැතිනම්, චුතවෙන්නේ නැතිනම් යළි උපදින්නේ නැතිනම් ඒ ලෝකයේ කෙළවරට පා
ගමනින් ගිහින් දැනගන්න, දැකගන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ.
තමාගේ ප්‍රශ්නයට ලැබුණු සෘජු පිළිතුර ගැන රෝහිතස්ස දිව්‍යපුත්‍රයා
පුදුමයටත්, සතුටටත් පත්වුණා. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා.
ස්වාමිනි ආශ්චර්යය යි. ස්වාමිනි අද්භූතයි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ
කොයිතරම් ඇත්තක්ද වදාළේ. ආයුෂ්මතුනි, යම් තැනෙක උපදින්නේ නැත්නම්
දිරන්නේ නැත්නම් මැරෙන්නේ නැත්නම් චුත වෙන්නේ නැත්නම් යළි උපදින්නේ
නැත්නම් ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දකින්න් පුළුවන් කියලා.
දැනගන්න පුළුවන් කියලා. පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ
කියලා.
ස්වාමිනි, මේක ඉස්සර සිදු වූ දෙයක්. මම භෝජපුත්‍ර වූ රෝහිතස්ස කියන
නමින්, සෘද්ධිමත් අහසින් යන්න පුළුවන් ඉසිවරයෙක් වෙලා හිටියා. ස්වාමිනි
මට ඒ කාලේ මේ විදිහේ ශක්තියක් තිබුණා. හොඳට පුහුණුවුණ හොඳට පුරුදුවුණ
තරග කරලා ජයගත්තු ශිල්ප දැක්වූ අතිශයින්ම දක්ෂ දුනුවායෙක් සැහැල්ලු
ඊතලයකින් වේලිච්චි තල් කොළයක් පලාගෙන යන ආකාරයට විඳිනවා වගේ. මටත් අන්න
ඒ වගේම ශක්තිමත් බවක් තිබුණා.
එතකොට ස්වාමිනි මට පුළුවන්කම තිබුණා නැගෙනහිර මුහුදට එක පයක් තියලා
අනෙක් පය බටහිර මුහුදට තියන තරමේ දුරක් පා තබා යන්න. ඉතින් ස්වාමිනි ඒ
මට මෙන්න මේ විදිහේ ආශාවක් ඇතිවුණා. ඇත්තටම මම පා ගමනින්ම ලෝකයේ
කෙළවරකට එන්න ඕන කියලා. එතකොට ස්වාමිනි මට පුළුන්කම තිබුණා නැගෙනහිර
මුහුදට එක පයක් තියලා අනිත් පය බටහිර මුහුදට තියෙන තරමේ දුරක් පා තබා
යන්න. ඉතින් ස්වාමිනි ඒ මට මෙන්න මේ ආකාරයේ ආශාවක් ඇතිවුණා. ඇත්තටම මම
පා ගමනින්ම ලෝකයේ කෙළවරකට එන්න ඕන කියලා.
ස්වාමිනි, මේ තරම් වේගයක් තිබුණු මේ තරම් වේගයෙන් ගමන් කරන්න
පුළුවන්කමක් තිබුණු මම අවුරුදු සියයක් ජීවත්වෙමින් කනබොන වෙලාව හැර,
වැසිකිලි කැසිකිළි කරන වෙලාව හැර නිදියන හා මහන්සි අරින වෙලාව හැර
අවුරුදු සීයක්ම ඇවිදලත් ලෝකයේ කෙළවරකට එන්න බැරුව, අතරමඟදීම මිය පරලොව
ගියා.
ඉතින් ස්වාමිනි ආශ්චර්යයයි. ස්වාමිනි අද්භූතයි. ඔබවහන්සේ විසින් යමක්
පැවසු සේක්ද ආයුෂ්මතුනි, යම් තැනෙක උපදින්නේ නැතිනම් දිරන්නේ නැතිනම්,
මැරෙන්නේ නැතිනම්, චුත වෙන්නේ නැතිනම්, යළි උපදින්නේ නැතිනම් අන්න ඒ
ලෝකයේ කෙලවර පා ගමනින් ගිහිල්ල දැනගන්න දැකගන්න පුළුවන් බවක් පැමිණෙන්න
පුළුවන් බවක් මම කියන්නේ නැහැ කියලා ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ් වදාළේ
කෙතරම් සත්‍යයක් ද?
පහසුවෙන්ම කරුණු වටහා දිය හැකි මේ නුවණැති දිව්‍ය පුත්‍රයාගේ ප්‍රකාශය
ගැන භාග්‍යවතුන් වහන්සේ තුළ නිරාමිස සතුටක් උපදින්නට ඇති. ඒ නිසාම
උන්වහන්සේ ඒ දිව්‍ය පුත්‍රයාහට තවදුරටත් කරුණු පහදා දෙමින් මෙසේ වදාළා.
ආයුෂ්මතුනි, එසේ වුණේ ලෝකයේ කෙළවරකට එන්නේ නැතුව මේ දුක කෙළවර කරන්න
පුළුවන් කියලා මම කියන්නේ නැහැ. එහෙම වුණත් ආයුෂ්මතුනි, මේ සඤ්ඤා සහිත
සිත සහිත වූ බඹයක් විතර ප්‍රමාණයේ වූ මේ ශරීරයේම තමා ලෝකයත් ලෝකයේ
හටගැනීමත්, ලෝකයේ නිරුද්ධවීමත්, ලෝකය නිරුද්ධවීමේ ප්‍රතිපදාවත්
තිබෙන්නේ කියලයි මම කියන්නේ.
සැබැවින්ම ලෝකය කියන්නේ කුමක්ද? කියා මේ සසර ගමනේ යන සත්ත්වයින්ට මනාව
පෙන්වා දුන්නේ බුදුරජාණන් වහන්සේම පමණයි. අපට උපතින්ම ලැබුණු ඇස, කන,
නාසය, දිව හා කය සහිත මේ බඹයකට නොඅඩු ශරීරයත්, සිතත් නොවේද සැබෑම ලෝකය.
අප මේ බාහිර ලෝකය ගැන කොතරම් හාරාඅවුස්සමින් සොය සොයා සිටියත් ඉතාම
කෙටි කලෙකින් අයුෂ ගෙවී ගොස් අපේම ලෝකය අපට අහිමිවී යන්නේ නොවේද?
වර්තමානයේ මිනිසා වගේම අතීතයේත් මේ බාහිර ලෝකය ගැනම වෙහෙසුණ අය සිටියා.
නමුත් ඔවුන් නිරර්ථක වෑයමකින් පසු මරණයට පත්වී මේ ලෝකයෙන් යන්නට ගියා.
එදා මේ රෝහිතස්ස දෙවියාට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර අදටත් කොතරම්
ගැලපෙනවා ද? මේ අර්ථවත් දෙසුම අවසානයේ භාග්‍යවතුන් වහන්සේ මිහිරි සරින්
මේ ගාථාව වදාළා.
ගමනේන න පත්තබ්බෝ
ලෝකස්සන්තෝ කුදාචනං
න ච අජත්වා ලෝකන්තං
දුක්ඛා අත්ථි පමෝචනං
කවදාවත් පයින් ගිහිල්ලා නම් මේ ලෝකයේ කෙළවරකට යන්න බැහැ. හැබැයි ලෝකයේ
කෙළවරකට එන්නේ නැතුව දුකින් නිදහස් වීමකුත් නැහැ.
තස්මා හවේ ලෝකවිදු සුමේධෝ
ලෝකන්තගූ වුසිත බ්‍රහ්මචරියෝ
ලෝකස්ස අන්තං සම්තාවී ඤත්වා
නාසිසෙති ලෝකම්මං පරඤ්චාති
ඒ නිසා ලෝකය දන්න ප්‍රඥාවන්ත වූ ලෝකයේ කෙළවරට ගිය බ්‍රහ්චාරී ජීවිතය
සම්පූර්ණ කළ පාපය සිඳබිඳ දැමීම ඒ උතුම් පුද්ගලයා ලෝකයේ කෙළවර දැනගෙන
මෙලොවත්, පරලොවත් පතන්නේ නැහැ.
අපටත් මේ ජීවිතය නම් වූ ලෝකයේ අවබෝධ කරගන්න ගෞතම බුදුරජුන්ගේ ධර්මය
පිහිට කර ගැනීමේ වාසනාව ලැබේවා.
නයනා නිල්මිණි |