UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සොබා දහම හා භික්ෂුව

 සොබා දහම හා භික්ෂුව

සොබා දහම හා භික්ෂුව පිළිබඳව කරුණු ගවේෂණය කිරීමට පෙර බුදුරජාණන් වහන්සේ පරිසරය පිළිබඳව දැක් වූ ආකල්පය මුඛ්‍ය වශයෙන් කැපී පෙනෙන අවස්ථා සොයා බැලීම ඉතා සප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් ම උන්වහන්සේගේ චරිතය අධ්‍යයනය කොට බැලීමේ දී පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ උන්වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන අවස්ථා පරිසරයත් සමඟ බැඳී ඇති බවයි. ගසක් යට ඉපිද, ගසක් යට ස්වයම්භූඥානයෙන් ධර්මය අවබෝධ කරගෙන ගසක් යටම ජීවිත ගමන අවසන් කළ පරිසර හිතකාමී ශාස්තෘවරයෙක් වේ නම් ඒ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම වෙති. මේ තුළින් ම පැහැදිලි වන්නේ සොබා දහමත් බුදු දහමත් අතර අවියෝජනීය සම්බන්ධයක් පවතින බව යි.

එදා බුදුන්වහන්සේ පාරමී ධර්ම පුරා තම අභිමතාර්ථ මුදුන් පත් කර ගැනීමට මිනිස් දරුවෙකු වශයෙන් මෙලොව උප්පත්තිය ලැබුවේ ලුම්බිනි සාල වනෝද්‍යානයේ ය. තවද අභිඤ්ඤෙය්‍ය වූ ධර්මයන් අවබෝධ කොටගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ ද මහ වනයක් මැද ඇසතු වෘක්ෂයක් මුල දී ය. බුදුන්වහන්සේ පිරිනිවන් පානා සමය වන විට මහරජවරුන් විසින්, සිටුවරුන් විසින් ඉදි කර දුන් සුඛෝපභෝගී මහා විහාර පැවතුන මුත් තමන් වහන්සේගේ පරිනිර්වාණය වෙනුවෙන් තෝරා ගත්තේ උපවර්තන සාලවනයේ සල් රුක් දෙකක් අතර ය. තව ද බුදුන්වහන්සේ බොහෝ අවස්ථාවන්හි දී විවේකය සොයා නොයෙක් තැන්වලට වැඩම කොට තිබේ. වරෙක භික්ෂූන් අතර ධර්ම විනය පිළිබඳ ගැටලුවක් ඇති වූ විට උන්වහන්සේ විවේකය සොයා වැඩම කරනුයේ පාරිල්‍යෙක වනයට ය. තවද උන්වහන්සේ සීත වනය තපෝතකන්දරාව (පරවියන් සිටින තැන) කලන්දකනිවාපය (ලෙහෙනුන් සිටි තැන) වේළුවනය (උණ වනය) ප්‍රථම ධර්ම දේශනාව කළ ඉසිපතන මිගදාය (මුවන්ට අභය භූමියක් වූ උයන) ආදී බොහෝ තැන් පිවිතුරු පරිසරය සොබාදහම හා සම්බන්ධ වූ ස්ථානය. මේ තුළින් උන්වහන්සේ තුළ වූ පරිසර ලෝලිත්වය හඳුනාගත හැකි ය.

තවද බෝසතාණන් වහන්සේ නිවන සොයමින් උරුවෙලායෙහි සේනානි ගමට පැමිණෙති. එහි ඇති සුන්දර පරිසරය දකින්නේ රමණීය භූමිභාගය, පැහැදීම ඇති කරවන වන ළැහැබ, ගලා බස්නා නදිය, සුදු වැලි තලා ඇති මනා තොටු ඇති, හාත්පස ගොදුරුගම ද ඇත යනුවෙනි. ප්‍රධන් කිරීමට කැමැති කුලපුත්‍රයකුට ප්‍රධන වීර්යය සඳහා මෙය සුදුසුමය යනුවෙන් සිතා එහි නිතර වූහ.

තව ද ධර්මයේ ගැඹුරු තැන් විස්තර කිරීමට පරිසර උදාහරණ ගත් අවස්ථා ද හමුවේ. වරෙක ඇට්ටේරියා වනයේ දී ඇට්ටේරිය කොළ ටිකක් අතට ගන්නා බුදුන් වහන්සේ ‘තමන් වහන්සේ අතට ගත් කොළ ටික ද වැඩි නොමැති නම් ඇට්ටේරිය රුක්මතුයෙහි කොළ ද ඉතා වැඩි යනුවෙන් විමසා එමෙන් ම තමන් වහන්සේ විශේෂයෙන් යමක් දැන නො කියන ලද්දේ ද එයම ඉතා වැඩි බවත් කියන ලද්ද ඉතා අඩු බවත් පෙන්වා දුන්හ.’

තවද බුදු දහමට අනුව සලකා බලන විට පැහැදිලි වන්නේ මිනිසා හා පරිසරය අතර අවියෝජනීය සම්බන්ධයක් ඇති බවයි. ඒ අනුව මිනිසා ද පරිසරයේ ම කොටසකි. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පියතිස්ස රජුට පෙන්වා දෙන්නේ ‘රජතුමනි, ඔබ මේ රටේ පාලකයා මිස අයිතිකරු නොවේ’ යනුවෙනි. මෙය මුළු මහත් ලෝකයට ම පරිසරය පිළිබඳව ප්‍රඥප්තියක් පැනවීමට අවශ්‍ය මූලිකම සංකල්පය ගොඩනැගීමක් වශයෙන් සැලකිය හැකි ය.

නමුත් වර්තමාන සමාජයේ බොහෝ දෙනා සිතා සිටින්නේ පරිසරය තම ප්‍රයෝජනය පිණිස දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද්දක් යනුවෙනි. මේ නිර්මාණවාදී චින්තනයත් සමඟම තමා වෙනුවෙන් නිර්මාණය කළේ යැයි සිතීමත් සමඟ සිතන්නේ ‘පරිසරය තම පාලනයට යටත් කර ගත යුතුය’ යනුවෙනි.

මේ සොබා දහම සැබැවින් ම සුන්දරය. නමුත් බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ සුන්දරත්වය මිනිසා කෙරෙහි ඇති සුන්දරත්වයෙන් සොළොස් වැනි කලාවෙන් එක් කලාවකුත් නො වටින බවය. එයින් පරිසර රමණීයත්වය පහත් නො කළ අතර ඒ පරිසර සුන්දරත්වය විඳ ගැනීමට මනුෂ්‍ය චිත්ත සන්තානයෙහි සුන්දරත්වය අවශ්‍ය බව අවධාරණය වේ.

තවද, අප පරිසරය දැකිය යුත්තේ කෙසේ ද? එය කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේ ද? යන්න බුදු දහමෙහි මැනැවින් උගන්වා තිබේ. භික්ෂු විනයෙහි පචිති අතර ‘භූතගාම පාතව්‍යතාය පාචිත්තය’න්ති යනුවෙන් භූතගාම ශික්ෂා පදය සම්බන්ධයෙන් සඳහන් වේ. මෙහි භූතගාම යනු කහ, ඉඟුරු, ඇහැටු ආදී බීජ වර්ගය. බීජයෙහි බීජ සංඥා ඇතිව සිඳීම, සිදුවීම, බිඳීම, බිදුවීම ආදියත් කරන්නේ නම් පචිති ඇවැත් වන බව දක්වා තිබේ. තවද කසීභාරද්වාජ සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට කසීභාරද්වාජ බමුණා බුදුරදුන්ට කිරිපිඬු පූජාවක් කරයි. එවිට බුදුන්වහන්සේ අභිගායනයෙන් හෙවත් ගාථාභිගීත වූ කිරිබත තමන් වහන්සේට වැළදීමට නුසුදුසු බව වදාරති. එවිට බමුණා මම මේ පායාසය කාට නම් දෙම් දැයි විචාරයි. බුදුන්වහන්සේ එය නිල්තණ නැති බිමෙක හෝ එයින් විනාශවන ප්‍රාණීන් රහිත ජලයෙහි දමන ලෙස පා කරවන ලෙස වදාරති’ මෙහිදී ද වැදගත් වන්නේ බුදුන්වහන්සේ පරිසරය පිළිබඳව දැක් වූ ආකල්පයයි.

බුදු දහම ලොව සියල්ල සිදුවන නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කොට තිබේ. නමුත් අන්‍ය සමයන්හි මෙහි දී බ්‍රාහ්මණ දහමේ ‘බ්‍රහ්මකල්විදං සත්‍යං’ – බ්‍රහ්මයා සියලු සත්‍ය ය. ඔහු විසින් මේ ලෝකයේ සියල්ල ඇති කරන, නැති කරන, සියල්ලෙහි විචිත්‍රභාවය පිළිබඳව තීන්දු තීරණ ගනියි. තවද අනෙක් දේවවාදී ආගම්වල ද දෙවියන් වහන්සේද ලොවෙහි පරිපාලන කටයුත්ත සිදු කරති. නමුත් බුදු දහමේ ඉගැන්වෙන්නේ උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම, කම්ම නියාම යන නියාම ධර්ම පහ මත ලොවෙහි පැවැත් ම සිදුවන මුත් බුදුන්වහන්සේ හෝ එවැනි බලවත් දෙවියෙක් ලොව නො මෙහෙයවයි. මෙම නියාම ධර්ම පහෙන් චිත්ත නියාම හා කම්ම නියාම යන නියාම දෙක හැරුණු විට අන් නියාම තුන ම පරිසරය හා සම්බන්ධ වේ.

තවද ආරාම රෝපණය, වන රෝපණය සැමදා පින් වැඩෙන පින්කම් වේ. අශෝක අධිරාජ්‍යයා ධර්මාශෝක බවට පත්වී පරිසරය මිනිසුන්ට හිතදායී අයුරින් සැකසීමේ දී ගස් වැල් සිටුවයි. අශෝක ශිලා ලේඛනයන්හි සඳහන් වන ආකාරයට ‘අම්බඪික්‍යානි පලොපිතානි’ – අඹ පැළ සිටුවීය, කුමක් සඳහා ද? ‘උපභොගානං පසුපුරිසාය’ - සතුන්ට හා මිනිසුන්ට උපභෝග පරිභෝගය පිණිස ය. තමාගේ මුළුතැන්ගෙය වෙනුවෙන් කළ සිය ගණන් සත්ව ඝාතන නතර කළේය. තවද බෙහෙත් උයන් ආදී මිනිස් අවශ්‍යතාවන්ට අදාළ රුක් රෝපණය ඒ ඒ ප්‍රදේශවල සිදු කළේය.

‘වනං ජින්දථ’ – වනය සිදවූ කුමන වනයක් ද? කෙලෙස් වනය, කුමක් නිසා ද? යත් ‘වනතො ජායතී භයං’ - කෙලෙස් වනයෙන් බිය උපදියි එනිසා ය. නමුත් ‘මා රුක්ඛං’ – ගස් නොකපන්න. තවද ගස් වැල්, වනය කපා දමා තම ආරාම තැනීමට භික්ෂූන් උත්සාහ කරන විට එසේ නො කරන්න යැයි වදාළ බුදුරදහු එයට විරුද්ධ වූහ. එමෙන් ම භික්ෂුව ‘බඹරා මලෙහි වර්ණය හෝ සුවඳ නො නසමින් රොන් ගෙන යන්නා සේ කටයුතු කළ යුතුය.

ඒරකපත්තනාගරාජවත්ථුවෙහි’ සඳහන් වන ආකාරයට පෙර භික්ෂුවක් ගඟකින් එතෙර වීමට යන විට ඒරක පත්‍ර නම් කොළ ඇති අත්තක් අල්ලා සිටියි. නැව යන විට අත්ත කැඩී එයි. මෙය ඇවැතෙකි. උන්වහන්සේට අපවත් වන තුරු මෙම ඇවැතෙන් පිරිසුදු වීමට නො හැකි වූ අතර අපවත් වන මොහොතේ එය සිහිපත් වීය. ඒ කල්පනාවෙන් නාගරාජයෙකු වී උපත ලබයි. මෙය අකුසලයක් නො වන අතර විනය කැඩීමක් වේ. එතරම්ම දුරට බුදුරදුන් මේ පිළිබඳව විනය ශික්ෂා උගන්වා තිබේ. තවද සේඛියා තුළින් ද එය පැහැදිලි වේ. ධර්මධර විනයධර ගැටලුවේ දී එක් භික්ෂුවක් තමන් වච්ජකුටියෙන් හෙවත් වැසිකිළියෙන් එළියට වඩින විට භාජනයේ වතුර ඉතිරි කර පැමිණෙයි. විනයධරයන් එය විනයට විරුද්ධ බව පවසයි. අද වූව ද භාජනයක ජලය ඉතිරි කර පැමිණීමෙන් නොයෙක් රෝගකාරක සතුන් ඇති වේ. මෙලෙස භික්ෂූන් සුපසන් භික්ෂු පිරිසක් බවට පත් කිරීමට පරිසරයයට සංවේදී වීම විෂයෙහි විනයෙහි කාර්යය දැක ගත හැකිය.

බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුව හා ගිහියා පරිසරයට සංවේදී කිරීම වෙනුවෙන් කළ ඉගැන්වීම් පාදක කර ගනිමින් යමක් මේ සමාජය ග්‍රහණය කර ගත යුතුය. එනම් සියවස් ගණනාවක් තුළ සිදු වූ මේ ජෛව විවිධත්වය, සොඳුරු පරිසරය වත්මන වන විට විශාල වශයෙන් විනාශ වෙමින් පවතී. මේ විනාශ වන පරිසරය ස්වභාවිකත්වය යළි ස්ථාපිත කළ හැක්කේ කෙසේ ද? ස්වභාවිකව ගොඩනැඟිය යුතු දෑ අපට ගොඩනැඟිය නො හැකි ය.

බුදුරදුන් කිඹුල්වතට වැඩමවාගෙන ඒම පිණිස කාළුදායි ඇමැති ඇතුළු දහසක් පිරිස පිටත් කර හරියි. පැවිදි වූ කාළුදායි භික්ෂුව ගාථා හැටකින් වර්ණනාවක් කරයි. එහි පරිසර වර්ණනාවක් ඇතුළත් වේ.

ලක්දිව වුව රහතුන් දොළොස් දහස පහළොස් දහස වැඩ සිටි වනාන්තර තිබේ. ඒ සියල්ල පරිසරයත් සමඟ මනා සබඳතාවයක් පවතියි. ඒකවිහාරිය නම් රහතන් වහන්සේ නමක් වැඩ විසූ අතර උන්වහන්සේ තනිව විසීමට කැමැති වූහ. උන්වහන්සේ වදාළේ තමන් වහන්සේට ‘ඉදින් ඉදිරියෙහි හෝ පිටුපස වෙනත් අයෙක් නැති නම් එවිට තනිව වනයෙහි වසන තැනැත්තාට ඉතාම පහසු වන බව ය.

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]